කාලෙ කුප්පිය සුව කළ නොහැකි පිළිකාවක් කර නොගෙන වසංගතයක් ලෙස අවසන් කරමු

77

ලංකාවේ නිෂ්පාදනය කරන සියලූම මත්පැන් වර්ග මිලි ලීටර් 180 ක් වූ කාලේ කුප්පිවල අසුරා වෙළෙඳපොළට එවීම තහනම් කරමින් රජය පනවන්නට යන තහනම ගැන පසුගිය සතියේ ඇසූ මා අප‍්‍රමාණ සතුටට පත්වීමි.

එයට හේතුව කලක් තිස්සේ එය මාගේ ද ඉල්ලීමක් හා යෝජනාවක් ව තිබූ නිසාය. කාලේ කුප්පි භාවිතය ප‍්‍රචලිත වූ තැන් පටන් එමගින් සමාජය තුළ මත්පැන් භාවිතය වැඩි වී එමගින් පොදුජන සමාජයටත්, ජනතාවගේ සෞඛ්‍යයටත්, ඔවුන්ගේ ආර්ථිකයටත් පරිසරයටත් සිදුවන හානිය මෙබඳු ලිපි කීපයක් මගින් පෙන්වා දුන් මා රජයෙන් අපේක්‍ෂා කළේ කාලේ කුප්පි භාවිතය තහනම් කර දමන ලෙසයි.

එහෙත් ඒ ඉල්ලීම එදා අපේ රටේ සුරාබදු බලධාරීන්ට වගේ වගක් නැති එකක් බවට පත් විය. බීරි අලින්ට වීණා වයනවා මෙන් විය.

එහෙත් හිටිහැටියේම පසුගියදා රජය කාලේ කුප්පි භාවිතය තහනම් කරන්නට සලකා බලා තිබුණේ එමගින් පරිසරයට සිදුවන අපරිමිත පරිසර හානිය ගැන පරිසර අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය.

එහෙත් ඇත්තටම පරිසර හානිය සිදුවන්නේ ජනතාව වැඩි වැඩියෙන් කාලෙ කුප්පි මිලදී ගෙන භාවිතයෙන් පසුව අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීම තුළය. ඊට පෙර කාලෙ කුප්පි පාරිභෝගිකයන් ඒවායේ අඩංගු මත්පැන් කිසිදු ඉවක් බවක් ඉවසිල්ලක් නොමැතිව බෝතලය කඩා කටටම හලා ගැනීමට ඇබ්බැහි වීම තුළ ජනතාවගේ ශරීර සෞඛ්‍යයටත් ආර්ථිකයටත් සිදුවන හානිය කොතෙක් ද? රජය මූලිකව අවධානය යොමු කළ යුත්තේ අන්න ඒ ගැනය. මන්ද කාලෙ කුප්පි මගින් අධිසැර මත්පැන් ශරීරගතවීම හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ ඇති වකුගඩු, කුඩා අන්ත‍්‍රය, මහා අන්ත‍්‍රය වැනි අධි සංවේදී අවයවවලට සිදුවන හානිය සුළුපටු නැත. අවසානයේ එමගින් ඇතිවන උදරාබාධ හා සොයාගත නොහැකි බෝ නොවන රෝගවලට නොමිලයේ ප‍්‍රතිකාර කරන්නට සිදුවන්නේ ද රජයටමය.

කාලෙ කුප්පිය සුව කළ නොහැකි පිළිකාවක් කර නොගෙන වසංගතයක් ලෙස අවසන් කරමු

ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේ ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව ලංකාවේ කාලෙ කුප්පි භාවිතය නිසා ලොකුම හානිය සිදුව ඇත්තේ ද පරිසරයට නොව, මහජන සෞඛ්‍යයටය. දෙවනුව දුප්පත් අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකයට ය. තෙවනුව සමාජයටය. පරිසර හානිය සිදුවන්නේ ඉන් පසුවය.

කෙසේ වෙතත් රජය අනෙකුත් සියල්ල අමතක කර පරිසරය ගැන සිතා හෝ එබඳු තීරණයක් ගැනීමට සලකා බැලීමම පැසසිය යුත්තකි.

ශ‍්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ ස්කාගාර 25 ක් පමණ තිබේ. අද වන විට මේ අතරින් කිහිපයක් අක‍්‍රියව ඇති අතර සක‍්‍රීයව මත්පැන් නිෂ්පාදනය කරන ආයතන 21 කි. ඉනුත් 2 ක් බීර නිෂ්පාදකයෝ ය. සැර මත්පැන් නිෂ්පාදනය කළේ ආයතන 19 ක් පමණි.

මේ අතරිනුත් DCSL සමාගම හෙවත් රාජ්‍ය ස්කාගාර සංස්ථාව ලංකාවේ ප‍්‍රමුඛම මත්පැන් නිෂ්පාදකයා විය. නමට රාජ්‍ය වුවත් අද මේ ආයතනය ද ඇත්තේ පුද්ගලික අංශය සතුව බව දන්නෝ දනිති.

මීට වසර හත අටකට ඉහත මේ ආයතන සියල්ලටම මුහුණ දෙන්නට වූ පොදු ප‍්‍රශ්නයක් වූයේ තම ස්ථිර මත්පැන් පරිභෝජකයෝ තමන් නිපදවන නීත්‍යනුකූල සීල් මත්පැන් අතහැර මිල අඩු විකල්ප මත්පැන්වලට හුරුපුරුදු වීමය. රජයයන් නිරතුරුවම සුරා බදු ඉහළ දමා රජයට ආදායම් ගන්නට කල්පනා කිරීම තුළ මත්පැන් බෝතලයේ මිලද පාරිභෝගිකයාට දරාගත නොහැකි සේ ඉහළ යෑම ඊට හේතු විය. මත්පැන් බෝතලය රු. 1500 කි. කසිප්පු බෝතලය රු. 300 කි (එවකට).

දෛනිකව සැර මත්පැන් පරිභෝජනයට හුරු පුරුදු වී සිටින අය අතරින් වැඩිදෙනා අඩු ආදායම්ලාභීන් ය. දෛනික වැටුප්ලාභීන්ය. කම්කරුවෝ ය. ඔවුන්ට වැඩි මිලක් ගෙවා අරක්කු බෝතලයක් මිලදී ගැනීම ජීවත්වීම සම්බන්ධ බරපතළ ගැටලූවක් ඇත.

මත්පැන් නිෂ්පාදකයෝ මිලි ලීටර් 180 ක් වූ කාලෙ කුප්පි වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ මේ ප‍්‍රශ්නයට හොඳ විසඳුමක් ලෙසය. විසඳුම සාර්ථක විය.

අරක්කු බෝතලයක් ගෙන දෙන්න තුන්දෙනා බොනවා වෙනුවට රු. 300 ක් දී කාලක් ගෙන තනියම කස කස ගා ගසා දමන කාලෙ කුප්පි මත්පැන් සංස්කෘතියක් රටේ ඇති විය.

කාලෙ කුප්පි ගෙන බීම රටේ තව තවත් ජනප‍්‍රිය වීමත් සමගම රන්දෙනිගල, ඇක්මී, සිනර්ජි, හිඟුරාන, නිපොන් ලංකා, මෙන්ඩිස් වැනි සමාගම් කාලෙ කුප්පි තව තවත් ප‍්‍රවර්ධනය කරන්නට පටන් ගත්හ. අවසානයේ ඔවුන්ගේ වාර්ෂික මත්පැන් නිෂ්පාදනයෙන් 81% ක් පමණ වූයේ කාල කුප්පි මත්පැන් නිෂ්පාදනයයි. සමහර ආයතනවල මේ අගය 92 – 93% ද ඉක්මවා ගිය බව 2018 වසරේ සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා පවා පෙන්නුම් කර දෙයි.

අවසානයේ කාලෙ කුප්පි වෙළෙඳාම මොනතරම් ජනප‍්‍රිය වී ද යත් එතෙක් කාලෙ කුප්පි ප‍්‍රවර්ධනය නොකළ ෘක්‍ීඛ සමාගමට ද කාලෙ කුප්පි වෙළෙඳාමට අත නොගසා බැරි තත්ත්වයක් උදා විය.

කාලෙ කුප්පි ජනප‍්‍රිය වන්නට හේතු ගණනාවක් තිබිණි. එකක් මත් පාරිභෝගිකයාගේ ආදායමට එය හොඳින් ගැලපීමයි. රු. 300 සිට 500 දක්වා වූ විවිධ වර්ගවල කාලෙ කුප්පි බාර්වල ඇත.

සුරාබදු වාර්තාවලට අනුව 2018 වසරේ ලංකාවේ මත් පාරිභෝගිකයන් බී හමාර කළ මත්පැන් ලීටර් ප‍්‍රමාණය මිලියන 74,591,229 කි. ඉන් 52% ක් ම අලෙවි වී ඇත්තේ කාලෙ කුප්පිවලින්ය.

මේ 2018 වන විට අප රටේ තිබුණු තත්ත්වයයි. 2018 පසු උදා වූ අසීරු සමාජ වටපිටාව තුළ මේ තත්ත්වය තවත් උග‍්‍ර අතට හැරිණ. කාලෙ කුප්පි භාවිතය 2019 – 2020 – 2021 වන විට තව තවත් ඉහළ ගියේය.

කාලෙ කුප්පි ජනප‍්‍රියවන්නට හේතු රාශියකි. එය වෙළෙඳපොළෙන් ලබාගත් වහාම කටේ තබාගෙන උගුරට දෙකට බී දැමිය හැකිය. සැන්ඩි හෙවත් අනුපාන අනවශ්‍ය ය. බයිට් හෙවත් කටගැස්ම අනවශ්‍යය. කැමති නම් බාර් එකේම බී කුප්පිය මුල්ලකට දමා ගිය හැකිය. අවශ්‍ය නම් මගදී බොන්නට අමතර බෝතලයක් ඉනේ, සාක්කුවේ, බඩතුරේ සඟවා ගෙන ගිය හැකිය. උදේ දවල් ? ඕනෑම වෙලාවක සඟවාගෙන කාර්යාලයේ හෝ වැඩපළේ බීව හැකිය. සඟවාගෙන ගොස් බස්රියේ, දුම්රියේ, සිනමාහලේ, නාට්‍ය ශාලාවේ මේ ඕනෑම තැනක බී හිස් බෝතලය ආසනය යට දැමිය හැකිය. බස්රියෙන් හෝ දුම්රියෙන් එළියට වීසි කළ හැකිය. ගෙදර යන ගමන් බාර් එකේම කාලක් ගසා තවත් කාලක් ගෙදර යන ගමන් ගෙන ගොස් මගදී බී බෝතලය වෙලකට, ඇළකට, දොළකට, කාණුවකට දැමිය හැකිය. තවත් ඕනෑ නම් ගෙදරටම ගෙනගොස් බිරිඳට හොරෙන් කෑමට පෙර ෂොට් එකක් දමාගත හැකිය.

මේ අයුරින් කාලෙ කුප්පි සංස්කෘතිය අවසානයේ වසංගතයක්ම විය. පරිසරයට මහත් හානියක් වූයේ මෙසේ පාවිච්චියෙන් පසු ඉවත දමන කාලෙ කුප්පි පරිසරයේ තැන තැන ගොඩ ගැසෙන්නට වූ තැනය. ඇළ දොළවලට ජලාශවලට කාණුවලට අද කාලෙ කුප්පි ප්ලාස්ටික්වලටත් වඩා වසංගතයකි. ඉටිකොළවලටත් වඩා වධ දෙන, ඔඩුදුවන තුවාලයකි.

කාලෙ කුප්පිය සුව කළ නොහැකි පිළිකාවක් කර නොගෙන වසංගතයක් ලෙස අවසන් කරමු

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ මෑතකදී ඉදිරිපත් කර ඇති Casual model of Alcohol Consumption and Health outcome අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මේ මත්පැන් කුප්පි භාවිතය අද පරිසර වසංගතයකටත් වඩා බරපතළ සෞඛ්‍ය ගැටලූවක් වී ඇති බවයි.

මේ කුප්පි භාවිතය ප‍්‍රචලිත වීම හේතුවෙන් අපේ රටේ මත්පැන් පාරිභෝගිකයාට බරපතළ සෞඛ්‍ය ගැටලූ දෙකක් ඇතිවන බව මෙමගින් පෙන්වා දෙයි.

  1. භාවිත ක‍්‍රමය අනුව ඇතිවන ගැටලූ.
  2. භාවිත ප‍්‍රමාණය අනුව ඇතිවන ගැටලූ.

පළමු ගැටලූව ඇතිවන්නේ කිසිදු අනුපානයක්, කවලමක් නැතිව පාරිභෝගිකයා එකවර මත්පැන් කුප්පි කටේ හලාගෙන බී දැමීම තුළය. කාලේ කුප්පි නිපදවා ඇත්තේම ක්‍ෂණික භාවිතය පහසු කරවන ලෙස ය. කවලමක් නොමැතිව එකවර සැර මත්පැන් ශරීරගත වීම දීර්ඝකාලීනව සිදුවීම තුළ ශරීර අභ්‍යන්තර අවයවවලට දැඩි හානි සිදුකරවයි.

දෙවනුව එබඳු සැර මත්පැන් වැඩි ප‍්‍රමාණයක් එකවර ශරීරගත වීමම බලවත් ගැටලූවකි. කාලක් එකවර බීම යනු අභ්‍යන්තර ශරීර අවයවවලට දරාගත නොහැකි බරක්, පීඩනයක්, වධයක්, හානියක් බව බොහෝදෙනා සිතන්නේ නැත.

දීර්ඝ කාලීනව මෙසේ ශරීර අභ්‍යන්තර අවයවවලට වධදීම හා හානි පැමිණවීම තුළ ඇතිවන රෝගී තත්ත්වයන් බරපතළ හා භයානක බව එම වාර්තාව පවසයි.

කාලෙ කුප්පි කිසි විටෙකත් තැනක වාඩි වී විවේකීව අනුපානයක් සහිතව කටගැස්මක් සහිතව බීමට පොළඹවන භාණ්ඩයක් නම් නොවේ. අතට ගත් සැනින් කටේ හලා ගන්නට පාරිභෝගිකයා පොළඹවන භාණ්ඩයකි. එවන් භාණ්ඩයක් දිනපතාම දීර්ඝ කාලීනව පරිභෝජනය කිරීම කෙතරම් භයානක අන්තරාවක් ද?

මුළු මහත් ලෝකයේම මත්පැන් පරිභෝජනය පිළිබඳ දත්ත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව ලංකාවේ සමස්ත මත්පැන් පරිභෝජනය 95% කින් ඉහළ ගොස් තිබේ. අදාළ කාලය තුළ සමස්ත ලෝකයේ මත්පැන් භාවිතය ඉහළ යෑම 55% කි. එහෙත් ශ‍්‍රී ලංකාව 95% කින් එම අගය ඉහළ නංවාගෙන තිබීම අපේ රටට කොතරම් ලොකු නම්බුවක් ද?

එම වාර්තාවට අනුව අද ලංකාවේ මත්පැන් පානය කරන්නන්ගෙන් 90% ක් ම ඉන්නේ සැර මත්පැන් පානය කරන්නන් ය. බියර්, වයින් වැනි සැර අඩු මත්පැන් ගන්නෝ 9% ක ප‍්‍රතිශතයකි. ඇමරිකාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඔස්ටේ‍්‍රලියාව වැනි දියුණු රටවල මේ ප‍්‍රතිශතය ඇත්තේ අනිත් පැත්තටය. සැර මත්පැන් භාවිතය ඇත්තේ 10% – 15% අතරය. ඔවුන් වැඩිපුර බොන්නේ වයින් ය. නැත්නම් බියර් ය. වෙනස කෙබඳු ද?

සුරාබදු දෙපාර්තමේන්තු නිෂ්පාදන වාර්තාවලට අනුව 2019 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාව තුළ මසකට අලෙවි වන මත්පැන් කාලෙ කුප්පි සංඛ්‍යාව ලක්‍ෂ 90 – 100 ත් අතර ය. 2009 වසර හා සසඳා බලන විට මේ අගය වූ කලී 300% ක වැඩිවීමකි. එය මේ වන විට කෙබඳු වනු ඇති ද?

එබැවින් මත්පැන් කාලෙ කුප්පිය තහනම් කිරීම මේ රටේ ජනතාව එක අතක් නොව අත් දෙකම ඔසවා අනුමත කළ යුතු කාරණාවකි. එය පැසසිය යුත්තකි. අගය කළ යුත්තකි.

කෙසේ වෙතත් කාලෙ කුප්පිය යනු හුදෙක් පරිසර ගැටලූවකට වඩා භයානක සෞඛ්‍ය ගැටලූවක් බවට පත්වෙමින් තිබෙන වසංගතයකි. එය කිසි විටෙකත් සුව කළ නොහැකි පිළිකාවත් බවට පත්වන්නට ඉඩදිය යුතු නැති බව අපගේ හැඟීමය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment