කැනඩාවට ඉන්දීය වීසා තහනම්

2533

● ඉන්දු – කැනඩා රාජ්‍යතාන්ත්‍රික ගැටුම

කැනඩාව හා ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුම හදිසියේ ඇති වූවක් නොවේ. මේ මස මුලදී ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති G – 20 සමුළුවේදීද දෙපාර්ශ්වය අතර තිබූ නොහොඳ නෝක්කාඩුකම් බාහිරට පෙනෙන්නට තිබුණි. දිල්ලියට පැමිණි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මූනිච්චාවට කතා කළත් අනෙකුත් බටහිර නායකයන් මෙන් නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්නට ගියේ නැත. සමුළුව ආරම්භ වීමට පෙර සිටම නායකයන් දෙදෙනා අතර ප්‍රතිවිරෝධතා මතු වූ බව අසන්නට ලැබේ. ඉන්දීය වාර්තාවන්ට අනුව මෝදි මහතා විසින් කැනඩාවේ වෙසෙන අන්තවාදීන් සිදුකරනු ලබන ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ටෲඩෝ මහතා වෙත තම බරපතළ කනස්සල්ල පළ කර තිබේ.

ඉන්දියාව හා කැනඩාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවට බලපෑ හේතු දෙකක් ඇත. ඉන් ප්‍රමුඛ වන්නේ දෙරට අතර ඇති ද්විපාර්ශ්වික වෙළඳාමයි. අනෙක් කාරණය කැනඩාවේ වෙසෙන අතිවිශාල ඉන්දියානු ඩයස්පෝරාවයි. නමුත් මෑත කාලයේදී එකී සම්බන්ධතාව සෙමින් සෙමින් බිඳ වැටෙමින් පවතී. ඊටද හේතු දෙකක් බලපා ඇත. කැනඩා රජය සීක් බෙදුම්වාදී ව්‍යාපාරයට අනුකම්පාව දක්වන බව ඉන්දියාව චෝදනා කරයි. අනෙක් පසින් කැනඩාව චෝදනා කරන්නේ තම රටේ අභ්‍යන්තර දේශපාලනයට ඉන්දියාව ඇඟිලි ගසන බවයි.

● ටෲඩෝගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

කෙසේ නමුත් ඉන්දු – කැනඩා ඇයි හොඳයිය නැවත පිළිසකර කිරීමට බැරි තරමටම බිඳී ගියේ ටෲඩෝ මහතා කැනඩා පාර්ලිමේන්තුව ඉදිරියේ සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. පසුගිය ජුනි මාසයේදී කැනේඩියානු භූමිය තුළදීම ප්‍රමුඛ පෙළේ සීක් නායකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය විය. එකී ඝාතනය ඉන්දීය රජයේ නියෝජිතයන්ගේ අනුදැනුම මත සිදු වූ බවට කැනේඩියානු බුද්ධි අංශ විසින් එල්ල කරනු ලබන විශ්වාසනීය චෝදනාව බැහැර කළ නොහැකි බව ටෲඩෝ ප්‍රකාශ කළේය. තම පුරවැසියන් හා තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කැනඩා රජයේ ප්‍රමුඛතාව හිමිවන බවත් මෙකී ඝාතනයට සම්බන්ධ වූවන් නීතිය හමුවට රැගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු දැඩිව පැවසීය. එමතුදු නොව තම අගමැතිවරයාගේ ප්‍රකාශයට වහාම පසුව ජ්‍යෙෂ්ඨ ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු පිටුවහල් කිරීමටත් කැනඩාව කටයුතු කළේය. ඉන්දියාවද ඊට වහාම ප්‍රතිචාර දැක්වීය. නිජ්ජාර්ගේ මරණයට තම රජයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයිද ටෲඩෝ මහතාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද නවදිල්ලියෙන් ප්‍රකාශයක් නිකුත් විය. යම් රටක රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හැරීම යනු එකී රටට එල්ල කරනු ලබන බරපතළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයක් ලෙස සැලකේ. කැනඩාවේ ක්‍රියාවට එකට එක කරමින් ඉන්දියාවද දිල්ලියේ සේවය කළ කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු පිටුවහල් කළේය.

● ඉන්දියාව ප්‍රකෝප කරන සීක් ඩයස්පෝරාව

ඉන්දියාවෙන් පිටත විශාලතම සීක් ජනහහනය සිටින්නේ කැනඩාවේය. ප්‍රමාණයෙන් එය 770,000 කට ආසන්න වන අතර ප්‍රතිශතයක් වශයෙන් රටේ ජනගහනයෙන් 2.1.% කි. ඉන්දියාව තුළ සීක් නිජභූමියක් ඉල්ලා අරගල කරන කලිස්තාන් ව්‍යාපාරයට සහාය පළකරන සීක්වරුන් විශාල ප්‍රමාණයක්ද මේ අතර ඇත. ඉන්දු-කැනඩා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට මූලිකවම බලපා ඇත්තේ මෙකී බෙදුම්වාදීන් කැනඩා භූමිය තුළ ක්‍රියාත්මක වීමයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මීට පෙරද විරෝධතා එල්ල කර ඇත. දෙරටේ නිලධාරීන් අතර ආතතිය වැඩි වූයේ ටෲඩෝ මහතා බලයට පැමිණීමෙන් පසුවය. 2015 දී බලයට පත් වූ ටෲඩෝ තිස් දෙනකුගෙන් සමන්විත තම කැබිනට් මණ්ඩලයට සීක්වරුන් හතර දෙනකු පත්කළේය. මෙය ඉන්දියානු ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. කැනඩාවේ පිහිටි හින්දු කෝවිලක බිත්ති උර්දු භාෂාවෙන් “ඉන්දියාවට මරණය” හා “කලිස්තානය” යනුවෙන් සඳහන් බලි සටහන්වලින් විකෘති කර තිබුණි. තවද කැනඩාවේ වෙසෙන සීක්වරුන් ඉන්දියාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක්ද පවත්වා ඇත. ඒ සීක්වරුන් ජීවත්වන කලාපය ඉන්දියාවෙන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙනි.

2018 දී, ටෲඩෝගේ ඉන්දීය සංචාරය බෙහෙවින් විවේචනයට ලක් විය. ඔහුගේ දූත පිරිසට සීක්වරුන් කිහිප දෙනකුද ඇතුළත් විය. ඔවුන් ජස්පාල් අටවාල් නම් සීක් ජාතිකයෙකු හමු වී තිබුණි. කැනඩාවේ සංචාරය කළ ඉන්දීය කැබිනට් ඇමැතිවරයෙකු ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ජස්වාල්ට චෝදනා එල්ල වී තිබුණි. ජස්වාල් විසින් කැනඩා දූත පිරිසට නවදිල්ලියේ භෝජන සංග්‍රහයකටද ආරාධනය කර තිබුණි. නමුත් ඉන්දීය විරෝධය හමුවේ ජස්වාල්ගේ ආරාධනය නොසලකා හැරීමට කැනඩා නියෝජිතයන්ට සිදු විය.

● හර්දීප් සිං නිජ්ජාර්

පන්ජාබයේ ජලන්දාර්හි උපන් හර්දීප් තරුණ වියේදී කැනඩාවට සංක්‍රමණය වූවෙකි. ඉන් පසුව British Colombia පළාතේ වාසය කළ ඔහු සීක් ජාතිකයන් සඳහා වූ වෙනම නිජබිමක් නොහොත් කලිස්තානයක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රමුඛ පෙළේ දේශකයෙකු හා න්‍යායාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. ඉන්දියාව විසින් ඔහුව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ අතර පන්ජාබය තුළ නැඟී එන තහනම් සටන්කාමී සංවිධානයක් වන Khalistan Tiger Force (KTF) පිටුපස සිටි මහ මොළකරු ලෙසටද චෝදනා කරන ලදී. ඔහුගේ සමීපතමයන්ට අනුව කැනේඩියානු බුද්ධි අංශ විසින් ඔහුට ඇති ජීවිත අවදානම පිළිබඳව අනතුරු අඟවා තිබුණු බව පැවසේ.

● කලිස්තාන් ව්‍යාපාරය

ලෝකයේ ජනවාර්ගික විවිධත්වය අතින් ඉහළින්ම සිටින රට ඉන්දියාවයි. 1947දී ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු එහි පාලනය හින්දු ජාතිකයන් අතට පත්ව තිබුණි. ඉන්දීය ජනගහනයෙන් බහුතරය හින්දු ජාතිකයන් වුවත් සීක්වරුන් අතීතයේ සිටම බලවත් හා අභිමානවත් ජන කොටසක් ලෙස ජීවත් වීමට උත්සාහ දැරීය. සීක්වරුන්ගේ අතීත ශ්‍රී විභූතිය හා අහංකාරභාවය නිසාම ඔවුන්ගෙන් බහුතරය හින්දු ආධිපත්‍යය පිළිනොගන්නා ස්වභාවයක් දක්නට ඇත. සීක්වරුන් ඉන්දීය ජනගහනයෙන් 1.7%ක් වුවත් ඔවුන් බහුතරය උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ කේන්ද්‍රගතව ඇත. වෙනම සීක් රාජ්‍යයක් සඳහා සටන් කරන සීක් නිදහස් ව්‍යාපාරයේ බල කේන්ද්‍රයද පිහිටා ඇත්තේ මෙකී ප්‍රාන්තයේය.

1970 හා 1980 දශකවල සීක් නිදහස් ව්‍යාපාරය ලේ වැගිරුණු කැරැල්ලක් බවට පත්ව තිබුණි. කැරැල්ල දශකයකට වැඩි කාලයක් පැවති අතර 1984 දී ඉන්දීය රජය විසින් නිරනුකම්පිත ලෙස එය මර්දනය කරන ලදී. ප්‍රමුඛ සීක් නායකයන් ඇතුළු දහස් ගණනකට මියැදෙන්නට සිදුවිය. පොලිස් මෙහෙයුම් වලදී සිය ගණනක් සීක් තරුණයන්ට වෙඩි වැදුණු අතර බොහෝ දෙනකු රැඳවුම් භාරයේ සිටියදී මියගිය බවට පසුව මානව හිමිකම් සංවිධාන විසින් චෝදනා කරන ලදී. බෙදුම්වාදී කැරලිකරුවෝ ආරක්ෂාව පතා අම්රිත්සාර්හි පිහිටි සීක් ආගමිකයන්ගේ ශුද්ධ දේවස්ථානය වූ රන් දෙවොලට රැස්ව සිටියහ. ඉන්දීය හමුදා රන් දෙවොලට කඩා වැදුනේ එහි රැකවරණය ලබා සිටි කැරලිකරුවන් පලවා හැරීමට ය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව මෙම මෙහෙයුමෙන් පුද්ගලයන් 400 ක් පමණ මිය ගොස් ඇත. කෙසේ නමුත් සීක් කණ්ඩායම් පවසන්නේ රන් දෙවොලේදි දහස් ගණනක් මිය ගිය බවයි. මියගිය අය අතරට සන්නද්ධ කැරැල්ලට නායකත්වය දුන් සීක් සටන්කාමී නායක ජර්නයිල් සිං බින්ද්‍රන්වාලේ ද ඇතුළත් ය.

රන් දෙවොල වැටලීමට අණ දුන්නේ එවකට අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිය. 1984 ඔක්තෝබර් 31 වැනිදා අගමැතිනිය ඝාතනය කරන ලද්දේ ඇගේම ආරක්ෂාවට සිටි සීක් ජාතික භටයන් දෙදෙනකු විසිනි. ඇගේ මරණය සීක් විරෝධී කෝලාහල මාලාවක් ඇති කළ අතර, හින්දු මැරයෝ උතුරු ඉන්දියාව පුරා, විශේෂයෙන් නව දිල්ලිය හරහා ගෙයින් ගෙට ගොස්, සීක් ජාතිකයන් ඔවුන්ගේ නිවෙස්වලින් ඇද දමා, බොහෝ දෙනකු කපා කොටා හෝ පණපිටින් පුළුස්සා මරා දැමූහ.

කැනඩාවට ඉන්දීය වීසා තහනම්
හර්දීප් සිං නිජ්ජාර්

පසුකාලීනව පන්ජාබය තුළ හින්දු-සීක් ගැටුම් මඳක් සමනය විය.

ගාන්ධිවරුන්ගේ ඇවෑමෙන් බලයට පත් වූ කෘතහස්ත දේශපාලනඥයන් ගත් මධ්‍යස්ථ තීරණ මීට බොහෝ සෙයින් බලපා තිබුණි. විශේෂයෙන් නරසිම්හ රාවෝ මුදල් අමාත්‍යවරයා ලෙස සීක් ජාතික ආර්ථික විශේෂඥයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිංව පත්කළේය. ඒ වන විට ඉන්දියාව වැටී සිටි දරුණු ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට සිං මහතාට හැකිවිය. පසුව ඔහු ඉන්දියාවේ බිහි වූ පළමු සීක් ජාතික අගමැතිවරයා බවට තේරී පත්විය.

අද පන්ජාබය තුළ සක්‍රීය කැරැල්ලක් නොමැත. බොහෝ සීක් බෙදුම්වාදී ක්‍රියාකරුවෝ දේශපාලන සරණාගතයන් ලෙස බටහිර රටවලට සංක්‍රමණය වූහ. නමුත් බෙදුම්වාදී කලිස්තාන් ව්‍යාපාරය අළු යට ගිනි පුපුරු මෙන් පන්ජාබය තුළ හොල්මන් කරමින් ඇත. ඊට අමතරව ඉන්දියාවෙන් පිට සිටින සීක් ඩයස්පෝරාවේ බොහෝ පිරිසක් කලිස්තාන් ව්‍යාපාරයේ ආධාරකරුවන් වී සිටිති. කැනඩාව තුළද මෙයින් සැලකිය යුතු පිරිසක් ජීවත්වන බව රහසක් නැත. සීක් බෙදුම්වාදීන් නැවත හිස එසවීමට උත්සාහ දරන බවට ඉන්දියානු බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

● ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය

කැනඩාව හා ඉන්දියාව අතර මතභේද උග්‍ර වූයේ ආර්ථික හෝ දේශසීමා ගැටුම් නිසා නොවේ. හුදෙක් සීක් බෙදුම්වාදීන්ගේ ගැටලුව මුල් කරගෙනයි. කැනඩාව බහු වාර්ගික ප්‍රතිපත්තිය ඉහළින්ම අනුගමනය කරන රටකි. විවිධ රටවලින් සංක්‍රමණය වූ විවිධ ජන කොටස් වලින් කැනඩා සමාජය විචිත්‍රවත් වී ඇත. එහි දේශපාලනයේ හෝ රාජ්‍ය සේවයේ හෝ වෙනත් කුමන ක්ෂේත්‍රයක හෝ ඉගළට යෑමට තම ජාතිකත්වය බලපාන්නේ නැත. සමානාත්මතාව, භාෂණයේ නිදහස හා පෞද්ගලිකත්වය ආදී මානව හිමිකම්වලට ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවෙයි. සීක් ජාතිකයන්ද කැනඩාව තුළ උසස් ජීවන තත්ත්වයක් සහිතව ජීවත්වන බව ලියුම්කරු අත්දැකීමෙන් දනී.

ආසියානු කලාපය තුළ චීනය ලෝක ආර්ථික බලවතකු ලෙස නැඟී එද්දී ඉන්දියාවට මෙන්ම කැනඩාවටද ඒ ගැන නොසලකා සිටීමට අපහසුය. කැනඩාව සැම විටම ඇමෙරිකාව හා යුරෝපා සංගමය සමඟ එකම යුද දේශපාලනික සංවිධානයක සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය රජුගේ කිරීටය පිළිගන්නා දැවැන්තම ඉංග්‍රීසි රාජ්‍යය ලෙසද කටයුතු කරයි. ඉන්දියාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියට එළැඹීමත් සමඟම ඔවුන්ද රුසියානු කඳවුරෙන් මිදී බටහිර රටවල් සමඟ වඩා මිත්‍රශීලී සන්ධානයකට එළැඹ ඇත. මෑතක සිට ඉන්දියාව හා කැනඩාව අතර සබඳතා තීව්‍ර වූයේ මෙවැනි භූ දේශපාලනික කාරණා මතය. විශේෂයෙන්ම චීනය සම්බන්ධයෙන් දෙරටටම ඇති අභියෝග හමුවේ දෙරට අතර සහයෝගීතාවක් ඇති වී ඇත. ඊට අමතරව කැනඩාව තුළ ජීවත්වන විශාල ඉන්දියානු ජනප්‍රජාව ඉන්දු- කැනඩා හිත මිතුරුකම් වෙනුවෙන් විශාල දායකත්වයක් සපයා ඇත.

ටෲඩෝ මහතා බලයට පැමිණි පසුව ඔහු කැනඩා ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට උත්සාහ දැරුවේය. බොහෝ බටහිර බලවතුන් මෙන්ම කැනඩාවද ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය අනුගමනය කරමින් ඉන්දියාව තීරණාත්මක ආර්ථික හවුල්කරුවකු ලෙස සලකයි. ඉන්දීය හා පැසිෆික් සාගර මූලිකව ගොඩනැඟෙන මීළඟ දශකයේ ලෝක ආර්ථික බලකේන්ද්‍රය නොසලකා කටයුතු කිරීමට සම්ප්‍රදායික ලෝක බලවතුන්ට දැන් අපහසුය. විශේෂයෙන්ම ඉවසිලිවන්ත හා මැදහත් ආර්ථික බලවතකු ලෙස කටයුතු කරන කැනඩාවට ඉන්දීය වෙළෙඳපළ අතිශයින් වැදගත්ය. පසුගිය මැයි මාසය පමණ වන තෙක් මේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සුහදතාව සංයමයකින් දිගහැරෙමින් තිබුණි.

● කැනඩාව ප්‍රකෝප කළ ඝාතනය

ජූනි මස මුලදී දෙබරයට ගල් ගැසුවේ ඉන්දියානු පාර්ශ්වයෙනි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අනතුරු ඇඟවූයේ කැනඩාව සීක් බෙදුම්වාදීන්ට ඉඩ ලබා දීමෙන් දෙරට අතර සබඳතා පළුදු විය හැකි බවයි. ජූනි 4 වැනිදා ටොරොන්ටෝ අගනුවර බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේදී කලිස්තාන් බෙදුම්වාදීන් පෙළපාලියක් පවත්වා ඇත. මේ පිළිබඳව සඳහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ කලිස්තාන් බෙදුම්වාදීන් සම්බන්ධයෙන් කැනඩාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව දිගු කාලීන කනස්සල්ලක් ඇති බවයි. තම ඡන්ද බැංකුව තර කරගැනීමේ අදහසින් කැනඩා දේශපාලනඥයන් විසින් බෙදුම්වාදීන්ව සනසන බව ඔහුගේ ප්‍රකාශයේ අදහසයි. කැනඩාවේ වාර්ගික ජන කොටස්වල කැමැත්ත දිනාගැනීමේ උප්පරවැට්ටි මැතිවරණය ළඟාවන විට කොහොමත් දක්නට ලැබේ. මෑතකදී ටෲඩෝ මහතා එරට ජීවත්වන ලාංකික දමිළ ඩයස්පෝරාව සතුටු කිරීමේ ප්‍රකාශයක්ද කළ බව මෙහිදී සිහි කළ යුතුය. බහුතර සුදු ජාතිකයන් මෙන් නොව සංක්‍රමණික ජනකොටස් මැතිවරණයන්හිදී එවැනි ප්‍රකාශ මත තීන්දු ගන්නා බවට ඇති සාධක බැහැර කළ නොහැක.

ජයිශංකර්ගේ අනතුරු ඇඟවීම්වලින් දින දහයකට පසු, වැන්කුවර් හි ප්‍රසිද්ධ සීක් දේවස්ථානයකදී නිජ්ජාර් වෙඩි තබා ඝාතනය කර තිබුණි. තම භූමිය තුළ වෙනත් විදේශ බලවේග ක්‍රියාත්මක වන්නේනම් එය කැනඩාවට පමණක් නොව ලොව ඕනෑම කුඩා රාජ්‍යයක පැවැත්මට බරපතළ තර්ජනයකි. මේ වන විට කැනඩාව ඉන්දියාව සමඟ වූ වෙළෙඳ සාකච්ඡා පවා අත්හිටුවා ඇත. ඉන්දියාව පාර්ශ්වයෙන්ද පැවසෙන්නේ කැනඩාව භාෂණයේ නිදහස උපුටා දක්වමින් ඕනෑම අන්තවාදී අදහසකට ඉඩදෙන බවයි. සීක් බෙදුම්වාදී නායකයෙකු වූ අම්රිත්පාල් සිං පන්ජාබ් වෙත පැමිණීමත් සමඟ ඉන්දියාව තුළ සීක් නිජබිමක් සඳහා වූ අදහස් උද්දීපනය වී ඇත. කැනඩාව තුළ පමණක් නොව ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව තුළද සීක් බෙදුම්වාදී උද්ඝෝෂණ රැල්ලක් මතුවෙමින් ඇත.

● අර්බුදය විසඳීමට ඉහළම රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්

ජස්ටින් ටෲඩෝ මහතා රාජ්‍යතාන්ත්‍රික ගැටුම්වලට එළඹුණු පළමු අවස්ථාව මෙය නොවේ. කැනඩාවේ රඳවා සිටි හුවායි සමාගමේ විධායක නිලධාරියෙකු නිදහස් කර ගැනීමට පීඩනයක් එල්ල කරන බව ඔහු චීනයට චෝදනා එල්ල කළේය. සෞදි අරාබියේ රඳවා සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන්ට කැනඩා විදේශ අමාත්‍යවරයා විසින් සහයෝගය පළ කිරීම නිසා සෞදියද ටෲඩෝ සමඟ පැටළුණි. නමුත් ඉන්දියාව සමඟ ආරවුල මේ සියල්ලට වඩා තීරණාත්මකය. මේ හේතුවෙන් බටහිර මිත්‍ර සන්ධානය පවා යම් ආකාරයකින් සෙළවී ඇත. නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් තමන් සමඟ එක්ව ප්‍රසිද්ධියේ ඉන්දියාව හෙළා දකින මෙන් කැනඩාව ඇමෙරිකාව ඇතුළු තම මිත්‍ර පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව අදාළ නායකයන් අතර තිරය පිටුපස සාකච්ඡා පැවති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩි්‍රයන් වොට්සන් පැවසුවේ කැනේඩියානු චෝදනා පිළිබඳව ධවල මන්දිරය “දැඩි කනස්සල්ලට පත්ව සිටින” බවයි.” කැනඩාවේ විමර්ශනය ඉදිරියට ගෙනයෑම සහ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත්” යැයි වොට්සන් ඇඟ බේරාගෙන නිවේදනය කළේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම අර්බුදය කළමනාකරණය කරන අයුරු නිරීක්ෂණය කිරීම සිත්ගන්නා සුළු විය හැකිය. ඉන්දියාව හෝ කැනඩාව යන දෙරටින් එකකට හෝ වාසිදායක ප්‍රකාශයක් කිරීම පවා අනෙකා ප්‍රකෝප කරනු ඇත. ඉන්දු-පැසිෆික් උපායමාර්ගය හරහා චීනයට එරෙහිව කටයුතු කිරීමට නම් ඉන්දියාව තම පැත්තේ තබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. ඨ-20 සමුළුවේදී රුසියාවට එරෙහිව යෝජනාවන් සම්මත කිරීමට ඇමෙරිකාව උත්සාහ කළත් ඉන්දියාව ඊට එකඟ නොවීය. එසේ වූවා කියා ඉන්දියාවට බලපෑම් කිරීමේ හැකියාවක් මේ වන විට බටහිර බලවතුන්ට නැත. කුමන මිලක් ගෙවා හෝ ඉන්දියාව මිත්‍රයෙකු සේ තබා ගැනීම ඇමෙරිකානු භූ දේශපාලනික අභිප්‍රායයි.

කෙසේ නමුත් ඉන්දියාවටද කැනඩාව සමඟ හොඳ හිත පලුදු කරගෙන ඉදිරි ගමනක් නැත. කලිස්තාන් බෙදුම්වාදීන්ට කැනඩාව වැනි දැවැන්ත රාජ්‍යයක සෙවණ’ ලැබුණහොත් ඉන්දියානු උපාය මාර්ගයන්ට එය ඉමහත් බාධාවකි. ඉන්දියාවට කැනඩාවට එරෙහිව බලපෑම් කිරීමේ හැකියාවක්ද නැත. කැනඩාව පුරවැසි බලය හා මානව සංවර්ධනය මත පදනම්ව ප්‍රවේසම් සහගතව තම ඉලක්ක වෙත ගමන් කරන දැවැන්ත රාජ්‍යයකි. එසේම නිදා සිටින යෝධයෙකි. නවදිල්ලියේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව අඩු කිරීමෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමෙන් වන්නේ තත්ත්වය තව තවත් උග්‍රවීම පමණි. මේ නිසා මෑත කාලීන ලෝකයේ අපට දක්නට ලැබෙන ඉහළම රාජ්‍යතාන්ත්‍රික සමථකරණය ඉදිරි සති කිහිපයේදී ඇමෙරිකාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment