කැප්පෙටිපොළගේ අවසානය සියැසින් දුටු දොස්තර මාර්ෂල්

10264

මෙම ලේඛකයා කලකට පෙර ‘දිවයින’ ට එවන ලද ලිපියක් නැවත පළ කිරීමකි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමෙහිලා එවකට සුසැදි ඉංග්‍රීසීන්ගේ 89 වැනි රෙජිමේන්තුවේ පත්වීමක් ලැබූ දොස්තර හෙන්රි මාර්ෂල් 1808 දී ලංකාවට පැමිණියේය.

1814 දෙසැම්බර් 9 වැනි දින කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීම සඳහා පෙරමුණ ගත් මේජර් හුක්ගේ ප්‍රධානත්වයෙන් යුතු පළමුවැනි සේනාංකය සමඟ ගමන් ගත් ඔහුට 1818 සිට මහනුවර සිදුවූ ඓතිහාසික සිද්ධීන් රාශියක් ඇස්පනාපිට දැකගත හැකිවිය. එවක් පටන් 1821 දක්වා ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ යෙදෙමින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ඔහුගේ නිරීක්‍ෂණ පථයට හසුවූ කරුණු අගතියෙන් තොරව විදහා දක්වමින් ලංකාව හා එහි වැසියන් පිළිබඳ විස්තරය යන මැයෙන් යුතු කෘතියක් 1845 දී ප්‍රකාශ කොට නිකුත් කරන ලදී.

කැප්පෙටිපොළගේ අවසානය සියැසින් දුටු දොස්තර මාර්ෂල්

කතුවරයා විසින්ම සඳහන් කර ඇති පරිදි කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගැනීමේ සිට කරුණු ගොනු කොට ඉදිරිපත් කිරීමේදී ඔහුගේ පරමාර්ථය වී ඇත්තේ උක්ත කරුණු තත්ත්වාකාරයෙන් ලේඛනගත කිරීම විනා ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය හෝ ඒ සඳහා යොදන ලද උපක්‍රමවල හොඳ හෝ නරක විමසීම නොවේ. මෙම කෘතිය සම්පාදනයේදී සිවිල් සේවයේ නියුතුව කන්ද උඩරට ආදායම් පාලක කොමසාරිස් ධුරය දැරූ සයිමන් සෝයර්ස්ගේ නොමඳ සහාය ලැබී ඇත.

ප්‍රධාන කොටස් දෙකකින් යුතු දොස්තර හෙන්රි මාර්ෂල්ගේ කෘතියේ මුල් අදියර ලංකාවේ ස්වාභාවික සම්පත්, කෘෂිකර්මය, ජනතාව, රාජ්‍යය, නීතිය හා දඬුවම් යනාදිය ගෙන හැර දැක්වීම පිණිස මිඩංගු කොට තිබේ.

දෙවැනි කොටස පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රණවල තතු විදහා දැක්වීමට යොදාගෙන තිබේ. මෙහිදී 1815 න් පසු තතු සවිස්තර ලෙස තත්ත්වාකාරයෙන් ඉදිරිපත් කැරේ. ග්‍රන්ථයේ අගට එකතු කොටැති උප ග්‍රන්ථය කොටස් දහයකින් සමන්විත වෙයි. මෙහිදී ඔහු විසින් ඉදිරිපත් කොටැති ඓතිහාසික සාධක හා කරුණු නවතාවයකින් යුතු වන්නේ ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ලියන ලද හෙයිනි.

රාජකාරි වශයෙන් හා ඉන් පරිබාහිරව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ළඟින් ඇසුරු කරමින් කන්ද උඩරට ආක්‍රමණය මහනුවර රජු අල්ලා ගැනීම හා උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කිරීම ආදී ඓතිහාසික සිදුවීම්වලට සහභාගි වෙමින් නිහඬ නිරීක්‍ෂකයකු ලෙස සිටි දොස්තර හෙන්රි මාර්ෂල් කැප්පෙටිපොළ දිසාවගේ අවසානය පිළිබඳව සපයා ඇත්තේ ගත සිත වික්ෂෝප කරවන විස්තරයකි.

කැප්පෙට්පොළගේ අවසානය

“1815 දී ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට ප්‍රදේශ යටත් කරගත් පසු මොනරවිල යනුවෙන් කවුරුන් විසිනුත් හඳුන්වනු ලැබූ කැප්පෙටිපොළ ඌවේ දිසාව වශයෙන් පත් කරන ලදී. ඔහු 1817 දී කැරලිකරුවන්ට එක්වන තෙක්ම එම තනතුර දැරුවේය. හෙතෙම කන්ද උඩරට බලවත් පවුල්වලට සම්බන්ධ වූවකු විය. ඇහැළේපොළගේ සොහොයුරියගේ පුතෙක් වන ඔහු මහනුවරට පැමිණි විට ඇහැළේපොළ වලව්වේ වාසය කළේය. එසේ පැමිණි විට මෙය ලියන මා වෘත්තීය වශයෙන් ඔහු බැහැදැක ඇත. ඉංග්‍රීසීන්ගේ ඇසුරෙහිදී අනිකුත් නායකයන්ට වඩා කැප්පෙටිපොළගේ හැසිරීම අවංක ප්‍රසන්නතාවයකින් යුතු විය. සමාගමයෙහිදී ඔහු විශිෂ්ට විනීත පැවතුමකින් ගැවසුණි. කැප්පෙටිපොළ විශිෂට බුද්ධිමතකු නොවුවත් ඔහු කැරැල්ලේ නායකයා හැටියට ඉංග්‍රීසීන්ගේ විශේෂ අවධානයට ලක්විය. ව්‍යාජ රජුගේ මහ අදිකාරම් ධුරය දැරීමෙන් ඔහු බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ මූලික විරුද්ධකාරයා බව හෙළි වන්නේය.

1818 නොවැම්බර් 13 වැනි දින ඔහු යුද්ධාධිකරණ මණ්ඩලයක් හමුවට පමුණුවා බ්‍රිතාන්‍ය මහාරාජොත්තමයාණන් වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීම ගැන චෝදනා ඉදිරිපත් කොට මරණීය දණ්ඩනයට නියම කරන ලදී. මේ තීන්දුවෙන් පසු ඔහු බැහැදැකීමට සිරගෙට ගිය කිහිප වාරයකදී ඔහු මරණයට සූදානම් ව සිටි බවක් පෙනී ගියේය. මේ හැම විටකම ඔහු කල් ගෙවූයේ ශාන්ත පැවතුමකිනි.

එක් වරකදී ඔහුගේ ඉණ දවටූ දළ රෙදිකඩ පෙන්වා “මම මෙහෙම ඇඳපු කෙනෙක් නොවෙයි නේද” යි සිනාසෙමින් ඇසුවේය. කැරැල්ල ගැන කතා කිරීමට ඔහු මැළි වූයේ නැත. ඉංග්‍රීසි හමුදාවනට විරුද්ධව දුන් ප්‍රහාරයන් හිදී ඔහු පෙරමුණ ගත් බව පිළිගත් නමුත් ඔහුගේ නිර්දෝෂිභාවය ප්‍රකාශ කරමින් ඒ කතා වෙනතකට යොමු කිරීම හෝ දුර්වල කිරීම ඔහුගේ සිරිත විය. ව්‍යාජ රජුගෙන් මහ අදිකාරම් ධුරය භාර ගැනීමත් 20 වැනි දිනට පෙර යටත් වන පෙරළිකරුවනට සමාව දෙන බව කියමින් නිකුත් වූ ආඥාවට අවනත නොවීමත් යන කරුණු දෙකට ඔහු වරදකරු බව පිළිගත්තේය. මරණීය දණ්ඩනය පිටුවහල් කිරීමකට වෙනස් කරදෙන ලෙස බලාපොරොත්තු වෙමින් ඔහු මෙම ලියුම්කරුට සෝයර්ස් මහතාගේ මාර්ගයෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා උනන්දු කරවා තීන්දුව වෙනස් කර දෙන ලෙස ඉතා ඕනෑකමින් නොයෙක් වර ආයාචනා කළේය. අපි සතුටු සාමීචියේ යෙදී සිටි හැම අවස්ථාවකදීම ඔහු ඉතා අභාග්‍ය සම්පන්න පුද්ගලයකු බව කී නමුත් ඔහු විසින් ම ඒ අවාසනාව උදාකරගත් බව නොපිළි ගත්තේය. ශ්‍රද්ධා සම්පන්න තද බොදු බැතියකු වූ ඔහු පසුගිය ජන්මයේදී කරන ලද අකුසල කර්ම විපාකයක් පලදීම නිසා මෙසේ සිදුවී යැයි සිතමින් සැනසීමෙහි යෙදුණි.

නොවැම්බර් 26 වැනි දින අලුයම කැප්පෙටිපොළ සහ මඩුගල්ලේගේ ඉල්ලීම පරිදි ඔවුන් දළදා මැඳුර වෙත කැඳවාගෙන යන ලදී. කැප්පෙටිපොළගේ ඉල්ලීම අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා දුන් විශේෂ අවසරයෙන් ඔහුට සෝයර්ස් මහතා මාලිගයේදී හමුවිය.

දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මාලිගයේ සිට සැතපුමක් දුරින් පිහිටි බෝගම්බර වැව අසල තැනක වූ වධක භූමිය වෙත ඔවුන් කැඳවාගෙන යන ලදී. මෙහිදී ඔවුනට මුහුණ කට, අත් පා සෝදා ගැනීමට පැන් ඉල්ලූ බැවින් එය සපයන ලදී. ඊළඟට කැප්පෙටිපොළ දිසාව සිය ආගමික චාරිත්‍ර ඉටුකර ගැනීමට ස්වල්ප වේලාවකට ඉඩදෙන ලෙස ඉල්ලුවේය. මෙම ඉල්ලීමට අවසර දීමෙන් පසුව සිරකරුවන් දෙදෙනා අත කට මුහුණ සෝදා ගත්හ. ඉන්පසු කැප්පෙටිපොළ දිසාව කෙස්වැටිය හිස මුදුන් කොට බැඳ අසල වූ පඳුරු දෙකක් සිය දෙපාවල මහපට ඇඟිලිවලින් අල්ලා ගෙන බිමට නැඹුරු වූයේය. ඔහුගේ ඉණ රැඳි සළුව තුළින් කුඩා බණ පොතක් ගෙන ඉන් ගාථා කීපයක් කියවා සිංහල හේවායකුට දුන්නේය.

කැප්පෙටිපොළගේ අවසානය සියැසින් දුටු දොස්තර මාර්ෂල්
කැප්පෙට්පොළගේ හිස්කබල

කුටිය දොරකඩ දෙදණ නමාගෙන නායක ස්වාමීන් වහන්සේ නමක් අබිමුව ඔහු තමා විසින් කරන ලද පුණ්‍ය ක්‍රියාවන් සිහිපත් කිරීමෙහි යෙදුණි. ස්වාමීන් වහන්සේලාට දුන් දාන මානාදිය හා පන්සල්වලට දුන් දීමනාත් අනෙකුත් පින්කම් ද මෙනෙහි කළේය. අනතුරුව නැඟීසිටි කැප්පෙටිපොළ දිසාව සෝයර්ස් මහතා දෙසට හැරී “මම අන්තිම වරට කරන පූජාවෙන් අත්වන පිනෙන් කොටසක් ඔබට ද ලැබේවායි” පවසා බැඳ සිටි තුප්පොට්ටිය ගලවා දළදා වහන්සේට පූජා කරමින් මෙය කිලිටිව අපවිත්‍රව තිබුණත් මා සතු එකම වස්තුව බැවින් ඉන් ලැබෙන කුසලතාවය ඉමහත්ය. යනුවෙන් පවසා සෝයර්ස් මහතාට තමා වදක භූමිය වෙත කැඳවා ගෙන යන ලෙස ඉල්ලූ නමුත් එය කළ නොහැකි බව ගෞරව පෙරදැරිව කරුණාවෙන් කියා සිටියේය.

මඩුගල්ලේ නලමේ වන්දනා කිරීමට ගොස් දළදා කුටියට වැදී සැඟවෙන්නට තැත් කළෙන් කැප්පෙටිපොළ දිසාව ඔහුගේ බියසලුකම ගැන පුදුමයට පත්ව මෝඩකු මෙන් නොහැසිරෙන ලෙස කීය. අනතුරුව තැන්පත් ස්ථිර බවකින් යුතුව කැප්පෙටිපොළ දිසාව සෝයර්ස් මහතාට අතට අත දී ආයුබෝවන් කීවේය.

මාලිගයේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි බෝගම්බර වැව අසල තැනක වූ වධක භූමිය වෙත ඔවුන් කැඳවා ගෙන යන ලදී. මෙහිදී ඔවුනට මුහුණ කට, අත් පා සෝදා ගැනීමට පැන් ඉල්ලූ බැවින් එය සපයන ලදී. ඊළඟට කැප්පෙටිපොළ දිසාව සිය ආගමික චාරිත්‍ර ඉටුකර ගැනීමට ස්වල්ප වේලාවක් ඉඩ දෙන ලෙස ඉල්ලුවේය. මෙම ඉල්ලීමට අවසර දීමෙන් පසුව සිරකරුවන් දෙදෙනා අත කට මුහුණ සෝදා ගත්හ. ඉන් පසු කැප්පෙටිපොළ දිසාව කෙස්වැටිය හිස මුදුන් කොට බැඳ අසල වූ පඳුරු දෙකක් සිය දෙපාවල මහපට ඇඟිලිවලින් අල්ලා ගෙන බිමට නැඹුරු වූයේය. ඔහුගේ ඉණ රැඳී සළුව තුළින් කුඩා බණ පොතක් (ධම්ම පදය) ගෙන ඉන් ගාථා කීපයක් කියවා සිංහල හේවායකුට කතා කොට බදුල්ලේ සිටියදී සෝයර්ස් හා තමා අතර පැවැති මිත්‍රත්වයට උපහාර වශයෙන් එම පොත ඔහුට තෑගි කරන ලෙස ඉල්ලා සිටින ලදී.

ඉන් පසු කැප්පෙටිපොළ දිසාව හඬ නඟා ගාථා කියමින් සිටියදී ගහලයා මුවහත් කඩුවෙන් ගෙලට පහරක් දුන්නේය. එම මොහොතේදීම බුදුන් වහන්සේ හඳුන්වන “අරහං” යන වදන ඔහුගේ මුවින් පිටවුණා පමණකි. දෙවැනි වරට දුන් පහරින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී මළ කඳක් ලෙස දෙරණ මත පතිත විය. පසුව චාරිත්‍රානුකූලව ඔහුගේ බෙල්ල සහිත හිස කඳෙන් වෙන් කොට සිරුර මත තැන්පත් කරන ලදී.

නුවරඑළියේ හේමපාල

advertistmentadvertistment
advertistmentadvertistment