මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක තිබී බරපතළ කැපුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත්ව සිටි බිරිඳකගේ සහ ගෙල වැලළා ගෙන ජීවිතක්ෂයට පත් ඇගේ සැමියාගේ මළ සිරුරු පෙරේදා (07දා) සොයා ගත් බව බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළවෙනි පටුමග, කුංචිකුලම, කුරුන්දන්කුලම, මිහින්තලේ ලිපිනයේ පදිංචිව සිටි වෙදගෙදර ගමරාළලාගේ සේනාරත්න නැමැති
61 හැවිරිදි සැමියා සහ කුසුමා ප්‍රියංගනී නැමැති 56 හැවිරිදි බිරිඳකි.
මෙම අඹුසැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ මෙම අඹු සැමි යුවල පමණක් නිවසේ සිට ඇති බවත් පොලිසිය කියයි. දෙදෙනා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර, පසුව ඔහුද සිය දිවි හානි කර ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) පෙරේදා උදෑසන 9.14ට ලැබුණු තොරතුරකට අනුව මිහින්තලේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රගීත් දිසානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී මෙම මළ සිරු හමුවූ බව පොලිසිය සඳහන් කළේය.තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව බරපතල කැපුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව සිටි එම කාන්තාවගේ මළ සිරුර නිවසේ ආලින්දයේ තිබී හමු වූ බවත් ගෙල වැලළා ගෙන ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි පුද්ගලයාගේ මළ සිරුර නිවසේ මුළුතැන්ගෙය තුළ තිබී සොයා ගත් බවත් පොලිසිය කියයි.
මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නියෝග කෙරුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
මිහින්තලේ – රංග චතු, නොච්චියාගම – එම්.එම්.පී. පෙරේරා