ආණමඩුව පල්ලමදී
ආණමඩුව – හලාවත මාර්ගයේ පල්ලම – අඩම්මන ප්‍රදේශයේදී පසුගියදා රාත්‍රී 8.00ට පමණ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් පිරිමි පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. එම යතුරුපැදියේ ගමන් කර ඇත්තේ ස්වාමිපුරුෂයා සහ බිරිඳය.
කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් මියගොස් ඇති කාන්තාවගේ ස්වාමිපුරුෂයා අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව පල්ලම පොලිසිය පවසයි.
මාදම්පේ – තනියවල්ලගම පදිංචිව සිටි අසරප්පුලිගේ ඉන්දිරා (අවු. 30) නම්වූ කාන්තාවක් මෙම අනතුරින්
මියගොස් ඇති අතර තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ වල්පාමුල වෙදගෙදර දර්ශන මධුෂාන් රාජපක්ෂ (අවු. 32) නම්වූ අයෙක් බව පොලිසිය හඳුනා ගෙන තිබේ.
හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වෙමින් තිබුණු කැබ්රථය ඉදිරියෙන් පැමිණ ඇති යතුරුපැදියේ ගැටී අනතුරට පත්ව ඇත. යතුරුපැදිය පදවා ඇත්තේ කාන්තාව විසින් බව පොලිසිය කියයි. අනතුරින් යතුරුපැදියටද බරපතළ හානි සිදුවී ඇත.
පල්ලම පොලිසියේ නිලධාරීන් විසින් අනතුරට සම්බන්ධ කැබ්රථය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අටබාගේ – පිටගම පදිංචි 37 හැවිරිදි අයෙකි.
පල්ලම පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ සහ අමරනන්ද විජේසේකර – මහවැව