ප්‍රධාන ශාලාවේ වහලත් කඩා වැටීමේ අවදානමක සිසුන් අනතුරේ
කැබිතිගොල්ලෑව ජාතික පාසලේ ගොඩනැඟිලි අබලන් වීම හේතුවෙන් එහි අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ජීවිත අනාරක්ෂිත බවත් ඒ පිළිබඳ පාසලේ බලධාරීන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව කැබිතිගොල්ලෑව ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ දෙමාපියෝ පවසති.
ඒ අනුව 2300 ට ආසන්න සිසුන් පිරිසකගේ ජීවිත අනාරක්ෂිත වී ඇති බවත් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සිසු සිසුවියන්ට ජීවිත හානියක් සිදු වීමට පෙර මෙම අබලන් වූ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඔවුහු ඉල්ලා සිටිති.
මෙම පාසලේ මේ වන විට ප්‍රධාන ශාලාව දැඩි ලෙස අබලන්ය. වර්ෂ 1956 සැප්තැම්බර් මස 13 වැනි දින එම ගොඩනැඟිල්ල එවක සිටි අග්‍රාමාත්‍ය දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් සිසු අයිතියට පත් කළේය. අනතුරුව නිසි ප්රතිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් මේ වන විට ගොඩනැඟිල්ලේ වහලෙන් වැසි දිනවල වතුර වැටී ලී දිරා යෑම හේතුවෙන් සිවිලිම කඩා වැටෙමින් පවතී. එය දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවදානම් තත්ත්වයක් බව එහි ගිය අපට ද දක්නට ලැබුණි.
මැදවච්චිය – ගයාන්