කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස සේවය කළ වෛද්‍ය ජී. එම්. චාමර චතුරංග ගස්පේ මහතා ඊයේ (12දා) අලුයම් කාලයේ සිය බිරිඳගේ දෙමව්පියන් පදිංචිව සිටින හොරොව්පතාන, මොරකෑව, 77 කණුව ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස අඹ ගසක එල්ලී සියදිවි හානි කරගෙන මියගොස් ඇත.
තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් අට හැවිරිදි තිදරු පියකු වන වෛද්‍යවරයකු මෙසේ මියගොස් ඇති බව මේ පිළිබඳව විමර්ශන පවත්වන හොරොව්පතාන පොලිසිය පවසයි.
වෘත්තියෙන් හෙදියක වූ තඹුත්තේගම මූලික රෝහලේ සේවයෙහි නියුතු සිය බිරිඳ සහ ඇගේ පියා සමග පෙරේදා (11දා) රාත්‍රී පවුල් ආරවුලක් මත ඇති කරගත් බහින් බස්වීමක් දුරදිග යෑමෙන් සිත් තැවුලට පත් එම වෛද්‍යවරයා පසුව මෙසේ ගෙල වැලලාගෙන මියගොස් සිට ඇති බව හොරොව්පතාන පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ අදාළ ස්ථානයට පැමිණි කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට සහ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු