රු. 90/- සිට රු. 27000 දක්වා තොප්පි

පාතාල කල්ලිත් මුලින්ම යන්නේ තොප්පි කඩේට

වෙළෙඳපොළේ තොප්පි වර්ග 200කට වැඩියි

තොප්පි වෙළෙන්දාගේ කතාව අපි පොඩි කාලේ අසා ඇති කතාවකි. එහි කියැවෙන්නේ තොප්පි වෙළෙන්දෙකු මහන්සියට ගහක් යට නින්ද ගිය කතාවකි. තොප්පි වෙළෙන්දා නැඟිටින විට එම ගහේ සිටි වඳුරන් තොප්පි වෙළෙන්දාගේ මල්ලේ තිබූ තොප්පි දමාගෙන තොප්පි වෙළෙන්දාට විරිත්තන්නට වුණේ නක්කලයට මෙනි. තොප්පි ගැන අප සමාජයේ ඇති ප්‍රකට කියමන් කීපයකි.

තම්බි තොප්පිය වගේ, වැටෙන පැත්තට දාගන්නවා, වාසිපිලට හෝයියා, මාර තොප්පියක්නෙ වැටෙන්න යන්නේ.

හරියන කෙනා තොප්පිය දාගත්තාට අපේ අමනාපයක් නැහැ.

මේ එවැනි කියමන් කීපයකි. ලංකාවේ වෙළෙඳපොළ තළ, ෂර්ට් කලිසම් කඩ තිබේ. ගවුම් සාරි කඩ තිබේ. ටයි කෝට් ෆුල් සූට් කඩ තිබේ.

එහෙත් ලංකාවේ මුළුමනින්ම තොප්පි විකුණන කඩ තිබේ යැයි අප කිවහොත් ඔබට විශ්වාස කළ හැකිද?

කොටුව ස්ටේෂමට ප්‍රතිවිරුද්ධ පාර මල්වත්ත පාරය. එදා නම් එය ප්‍රසිද්ධ වූයේ කැසට් කඩවලටය.

ඒත් දැන් ඒ ව්‍යාපාරය අභභවා සපත්තු හා පාසල් බෑග් සහ කාර්යාලයීය බෑග් ව්‍යාපාරය දැන් පෙරමුණට පැමිණ ඇත. ඕල්කට් පාරේ මුලින්ම දකණට හමුවන පාර මල්වත්ත පාරය. ඊළඟට හමුවන්නේ රෝහිණී ලේන් එකය. මේ දිගටම ඇත්තේ සපතේරුවන්ය. හිතවත් සපතේරුවකුට කතා කොට තොප්පි කඩ තියෙන්නේ කොහේදැයි විමසා සිටියෙමි.

“මහත්තය රෝහණී ලේන් එකේ ගිහිල්ල තුන්මං හන්දියෙන් වමට යන්න. ඊට පස්සේ ආයිත් වමට යන්න. එතකොටම හම්බෙනවා තොප්පි කඩ.”

“ඔය කියන්නේ ප්‍රින්ස් ස්ටී්‍රට්” නේද? හරියට හරි. ඔය මහත්තයා අපිට වැඩිය දන්නවනෙ. මං මෙතැන සපත්තු මහන්න පටන් අරන් අවුරුදු 50කට වැඩියි. මං සපත්තු මහන්න පටන් ගන්න කොටත් ඔය තොප්පි කඩේ තිබුණා.

සපතේරුවා කියූ පරිදිම තොප්පි කඩය සොයාගෙන ගිය විට අපට දැකගත හැකි වූයේ එකම තැන තොප්පි තොග කඩ දෙකක් ඇති බවය. එම තොප්පි කඩ දෙක අතරමැද තිබුණේ ඡායාරූප උපකරණ විකුණන කඩයකි.

මාත්, ඡායාරූප ශිල්පියාත් මුලින්ම ගියේ සෙනඟ ටිකක් අඩුවෙනතුරු බලාය. අප ඇතුළට ගිය විට එහි සිටි සේවකයා අපට අවශ්‍ය තොප්පි මොනවාදැයි අසා සිටියේ ඒවාවල සාම්පල පෙන්වමින් නොනවත්වාය. එහෙත් ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව කියූ විට ඔහු අපව තොප්පි ව්‍යාපාරයේ හිමිකරු වෙත යොමු කරන ලදී. කොතරම් තොප්පි වික්කත් තොප්පි කඩේ මුදලාලි නම් තොප්පියක් දාගෙන හිටියේ නැත. ඉන්කම්ටැක්ස් එකෙන් ඇවිත් තොප්පියක් වැටෙන්න වගේ යන්නේ යැයි කියන්නාක් මෙන් තොප්පි මුදලාලි අපගේ අවශ්‍යතාවය විමසා සිටියේය.

“අපි ‘දිවයින’ පත්තරේ. මේ තොප්පි කඩ ගැන ලිපියක් කරන්න කරුණු හොයනවා. අර මල්මාලයක් දාල තියෙන පිංතූරේ කාගෙද?

“ආ ඒ අපේ තාත්තා, ඩේවිඩ් එම්. ඒ. මේ ව්‍යාපාරේ පටන් අරන් දැන් අවුරුදු පනහකට වැඩියි. තාත්තා මුලින්ම කළේ ඉස්කෝල යුනිෆෝම් මහපු එක. ආණ්ඩුවෙන් යුනිෆෝම් දෙන්න පටන් ගන්නකොට තාත්තා තොප්පි බිස්නස් එකට ෆුල් ටයිම් බැස්සා.”

තොප්පි කඩය පුරාම තිබුණේ තොප්පි වර්ගයි. හිතා ගන්නවත් බැරිය. රාක්කවල අසුරා තිබුණ තොප්පි තොග ගැනුම්කරුවන්ට තෝරා ගැනීමට අවශ්‍ය සාම්පල්ය. සෝකේස්වලත් තොප්පි පිරී තිබේ. ඒ මදිවාට බිමද ගොඩ ගසා ඇත්තේ විවිධාකාර තොප්පිය. බැලු බැලූ අත තොප්පිය.

තොප්පි! තොප්පි!! තොප්පි!!! යකෝ මේ තරම් තොප්පි දානවද ලංකාවේ එවුන්. මට මුදලාලි දෙස බලා කියැවුණේ නොදැනුවත්වය. තොප්පි කඩේ සිසාරා බැලුවත් මුස්ලිම් තොප්පියක් සොයා ගැනීමට බැරි විය.

“මුස්ලිම් තොප්පිය නම් අපි කරන්නේ නෑ. ඒක මුස්ලිම් අයගේ පල්ලියෙන් තමයි කරන්නේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. හැබැයි ඔය මුස්ලිම් කොල්ලන්ට Masha ALLAH කියලා ගෝල්ඩ් අකුරෙන් කොටපු තොප්පි නම් අපිගාව තියෙනවා.

මේ වෙළෙඳසල අයිතිකරු පවසන්නේ තොප්පි වර්ග 200ක් පමණ වෙළෙඳපොළේ ඇති බවයි.

තොප්පි අතරින් අප දැක ඇති ප්‍රසිද්ධම තොප්පිය ගොල්ෆ් ගහන විට දාන තොප්පියයි. ප්‍රකට ලේඛක මාර්ටින් වික්‍රමසිංහ මෙන්ම, සයිමන් නවගත්තේගම, ලෙස්ටර් ජේම්ස් පීරිස් රූගත කිරීම්වලදි මෙම තොප්පිය පැලඳ සිටිනු අප දැක ඇත. සයිමන් නවගත්තේගම ජීවිතය හැර යනතුරුත් තොප්පිය හැර ගියේ නැත. දෙමළ බයිස්කෝප් වීරයා වූ එම්. ජී. රාමචන්ද්‍රන් අවසන් කාලයේ දමාගෙන සිටි පුළුන් වැනි තොප්පිය ද එහි දැකගත හැකි විය.

තොප්පි කර්මාන්තය යනු අප හිතන තරම් ලේසි පහසු කර්මාන්තයක් නොවේ. ඕනම රටක කලිසම දිග – කොට ලෙස ඇන්ද ද ගවුම් ඇන්ද ද සාරි ඇන්ද ද ඕන ඇඳුමක් ඇන්ද ද තොප්පියක් දැමීම බොහෝ දෙනා කරන්නේ හිරු එළියෙන් ආරක්‍ෂා වීමට හෝ පින්නට ආරක්‍ෂා වීමට ද. සමහරු තොප්පි නොහොත් කැප් දාන්නේ විලාසිතාවටය. තොප්පිය මත යැපෙන ප්‍රධාන පුද්ගලයන් තට්ට හිසක් ඇති පුද්ගලයන්ය. සමහරු මාස්ක් දාගෙන, තොප්පි දාගෙන යන්නේ ණය කාරයන්ගෙන් බේරෙන්නටය. හෙල්මට් දාන අයට ද තොප්පියක් මේ කඩේ විය. එය හෙල්මට් එක පැලැඳීමට පෙර හිසට දාගත් විට හෙල්මට් එකේ ඇති ඍජුෆෝම් නිසා කෙස් ගැලවී යෑම වළක්වාලීමටය. ප්‍රතිකාරය අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂය.

තොප්පිය ඉදිරිපසට ඇති පීක් එක පිටුපසට දමා කණපිට ඇඳුම ද තරුණ පරපුර තොප්පි පලඳින ජනප්‍රිය ක්‍රමයකි. රූපවාහිනියේ වැඩසටහනකට වරක් සහභාගි වූ සංගීතවේදී රෝහණ බැද්දගේ වරක් මේ ගැන පවසා සිටියේ මෙවැන්නකි. “දැන් මේ ස්ටුඩියෝ එකේ දරුවෝ දෙන්නෙක් හිටිය කැප එක කණපිට දාගෙන විලාසිතාවට වෙන්නැති. මං ඇහුවා ළමයෝ මේ ගොඩනැඟිලි ඇතුළෙ තොප්පි දාන්නේ ඇයි කියලා.

බැද්දගේගේ ඒ කතාවේ ඇත්තක් ඇත. නිවසකට ඇතුළුවන විට තොප්පියක් දාගෙන ඇතළුවීම සලකන්නේ අසබ දෙයක් ලෙසය. ඊටත් වඩා උසාවියකට තොප්පි දාගෙන කූඩුවට නැග්ගොත් වෙන්නේ තවත් තොප්පියක් වැටී නඩුකාරයා විසින් කූඩුවට නැඟි පුද්ගලයා හිරකූඩුවට දැමීමය.

අප මුලින්ම ගිය තොප්පි කඩේ ජනප්‍රිය තොප්පි වර්ගයක් වූයේ මංකි වීව් (Monkey View) ය. ඊට අමතරව හනිමුන් යන විට මනාලිය පලඳින විවිධ මල් වර්ග පැලඳූ තොප්පිය සිත්ගත් එකක් විය. ප්‍රසිද්ධ ගෙවල්වල අශ්ව කරත්ත දක්නාගෙන යන ටයිකෝට් ඇන්ද අසුරුවාට විවිධ තොප්පි වර්ග ඇත. ඒ ඇතැම් ඒවා අශ්වයාගේ වර්ණය අනුව ලෙදර්වලින් හැදූ ඒවාය. ඒවායින් එකක් රුපියල් 27,000ටත් වැඩිය. ඒවා ස්වාභාවික හරක් හමෙන් පදම්කොට නිපදවූ ඉම්පෝටඩ් බඩුය. අඩුම තොප්පියේ තොග මිල වූයේ රු. 90කි. එය සිඟිත්තන් සඳහා මැසූ ලෝකල් අයිටම් එකකි. බිලින්දන්ට අන්දන ලේස් වැනි තොප්පි සියල්ල ආනයනය කොට තිබුණේ චීනයෙනි. ඒවා තිබුණේ ළා රෝස සහ ළා නිල් පැහැයෙන් පමණකි. අලුත උපන් පුතාට ගෙන යන්නේ ළා නිල් පාට ලේස් තොප්පියකි. බිලිඳු දුවට නම් ළා රෝස පැහැති ලේස් තොප්පියකි. ඒ පාටවලින්ම මේස් සහ බේබි සූට් ද ලේස්වලින්ම නිමවා තිබේ.

“දැන් මේ බිස්නස් එකට වයස කීයද?”

“අවුරුදු පනහට වැඩියි. ඊටත් කලින් කොළඹ තොප්පි කඩ තිබිල තියෙනවා. නවසිය මුල ගණන්වල වතු කරන්න එංගලන්තයෙන් ආපු සුද්දෝ ‘ටොප් හැට්’ ගත්තේ කොළඹින්. ඊටත් වැඩිය වතු සුද්දො දාන වෙනම තොප්පියක් තියෙනවා. ඒ කාලේ ඒවා ගෙනල්ලා තියෙන්නේ එංගලන්තයෙන්. තවමත් කොළඹ වරායේ නැව් නැවැත්තුවාම සුද්දෝ කොළඹ ෂොපින් යනවා. මේ තොප්පි කඩේට නම් එනවාමයි. සමහර වෙලාවට එන්නේ තුන්වැනි පරම්පරාව.”

මුලින්ම ගිය තොප්පි කඩෙන් පසු ඊළඟට ගියේ අල්ලපු තොප්පි කඩයටය. එහෙත් එම තොප්පි කඩෙන් ලැබුණ ප්‍රතිචාරය සුබදායක නොවීය.

පස්සේ එන්න දැන් බිසී. “රටේ විවිධ පළාත්වලින් පැමිණි ගැනුම්කරුවන් තඩි සිමෙන්ති උරවල තොප්පි අසුරා වටේටම සෙලෝටේප් ගසා සීල් කරනු දැකගත හැකි විය. ඒවායේ වූයේ පුත්තලම ට්‍රාන්ස්පෝට්, වවුනියා ට්‍රාන්ස්පෝට්, කින්නියා ට්‍රාන්ස්පෝට් වැනි වදන්ය. කොළඹ කේන්ද්‍ර වූ ලොරිකරුවන් මෙහෙයවන භාණ්ඩ බෙදාහැරීමේ ජාලයක් මේ තොප්පි බෙදා හැරීමට යොදා ගනී.

ඊළඟට ගිය තොප්පි කඩය තොප්පි සුපර්මාකට් එකකට සමාන විය. එහි විශේෂ තැනක් දී තිබුණේ ආනයනික අධි මිල තොප්පි සඳහාය.

“අයියේ හෝල් සේල් ගන්නද? රිටේල් දෙන්නේ නැහැ!

තොප්පි කඩේ සිටි තරුණයා සිටියේ ‘කැන්ඩොස් ණ්බාදි චොකලට් එකක් කමිනි.

කැමති කෙනෙකුට නොව ඕන කෙනෙකුට තොප්පි දාන පිටකොටුවේ තොප්පි

“අපිට මෙන්න මේ රතු තොප්පියේ ණ්බාදි කියල ගහල තොප්පි පන්සීයක්ම එස්ටිමේට් එකක් ගන්න පුළුවන්ද? තරුණ තොප්පි අලෙවි නිලධාරියා කිව්වේ චීෆ් නොහොත් ප්‍රධානියා පල්ලියට ගොස් ඇති බැවින් මඳක් රැඳී සිටින ලෙසය. “මල්ලි ඉතිං බොසා එනකං අපිට දැනගන්න පුළුවන්ද මේ ණ්බාදි නම ගහන්න පුළුවන් තොප්පි ජාති කීයක් විතර තියෙනවද කියලා?”

තරුණයා අපිට පෙන්වා සිටියේ මුද්‍රිත කැටලොක් එකකි. එහිවූ තොප්පි සාම්පල ප්‍රමාණය 300කට අධික විය. අපි තොප්පි එක්ස්පෝට් කරනවා. පොඩි හරි ඩැමේජ් එකක් තිබ්බොත් ලෝකල් මාකට් එකට දානවා. රට යන තොප්පි කොලිටිය යුරෝපීයන් ස්ටෑන්ඩර්ඩ්. 10,000ක් ඇරියොත් 10,000ම එකම කොලිටියට තියෙන්න ඕන. එකක් හරි අප්සෙට් වුණොත් ඔක්කොම 10,000ම රිටන් කරනවා. එහෙම රිජෙක් වෙච්ච කැප් එකක් සවුදිවලට යවපු, ඔය තියෙන්නේ.”

තරුණයා පෙන්වූයේ අඩි හත අටක් උස තොප්පි තොගයකි. එහි කඩු දෙක්ක හරහට ගසා අරාබි අකුරු කීපයක් ගෝල්ඩ් අකුරෙන් එම්බෝස් කර තිබුණි. තොප්පියක් අතට ගෙන බැලුවෙමි. ඇතුළ නිකං පුළුන් වගේය. පසුව එය පැලඳ බැලුවෙමි. පුදුම සනීපයකි. තොප්පියේ මිල වූයේ රුපියල් 1900කි. අලෙවි තරුණයා කීවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම තොප්පියක් අලෙවි වන්නේ රු. 10,000ටත් එහා මිලකට බවය.

“ඕක හදල තියෙන්නේ ඒ රටවල උෂ්ණෙට දාන්න. ඔළුවට දාඩිය උරාගන්න. ඔය ලොකු සයිට්වල උඩ නැඟල වැඩ කරන අයට හදන එකක් ඕක.”

තොප්පි වර්ගවලට විවිධ නම් තිබේ. එතරම් තොප්පි වර්ගවලට ඇති නම් කියූ විට නමෙන්ම ඒ තොප්පියේ හැඩය මේ ආකාරයේ වෙතැයි චිත්‍රයක් හිතේ ඇඳෙන්නට විය.

කව්බෝයි හැට් කිව්වේ ඇමරිකාවේ කව්බෝයි චිත්‍රපටවල රඟපාන චන්ඩියා පලඳින තොප්පියයි. හොලිවුඩ් සිනමාවේ වීරයකු වූ පසු කලෙක ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් රොනල් රේගන් කව්බෝයි ලෙස සිටින හැට් පිංතූරයක් එතැන එල්ලා තිබුණි. ඒත් තොප්පි කඩේ කොලුවා රොනල්ඩ් රේගන්ව ඇඳුරුවේ නැත.

“ඔය පරන ඇමරිකන් ෆිල්ම්වල රඟපාපු වයසක අන්කල් කෙනෙක්” තරුණයා විස්තර කළේය.

තොප්පි අතරින් ජනප්‍රිය තොප්පියක් වන්නේ වතු අධිකාරිවරුන් පලඳින තොප්පියයි. ඒ වගේම ගොල්ෆ් ගහන උදවිය පලඳින්නේ ගොල්ෆ් ක්‍රීඩාවටම ආවේණික තොප්පියකි. දැන් හවසට ගහන DJ Music ශිල්පීන් සඳහා වෙනම විසිතුරු DJ තොප්පි ඇත. ඒවායේ සමහර ඒවාවල කුඩා බල්බ් වැල්ද තිබේ. සුවිච් එක දැමූ විට එම බල්බ්වල අලෝකය වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් ගමන් කරන්නේ හිටු කියාය.

තව තොප්පියක් ඇත්තේ ෆුල්කවර් කියාය. එය බෙල්ල ළඟටම වැහෙන ලෙස නිමවා ඇත. තවත් එකක් නම් කොට ඇත්තේ සික්ස් ප්ලාන් ලෙසය. එය කොටස් හයකට වෙන්කොට මසා ඇත. අයිය නමින් තොප්පියක් වුණේ සීතලට නුවරඑළියට දැමීමටය. එහි කන් පවා වැහී යන ලෙස බූල් ගතියකින් යුතු එකකි.

‘අයිය තොප්පි දුසිම් දෙක තුනක් ගන්නවා නම් අපි දන්වා ටෝලර් එකකින් කොහේ හරි රටකට පනින සෙට් එකකට තමයි කියලා. මුහුදු සුළඟෙන් බේරෙන්න ඔය තොප්පිය ඕනෙමයි.” අලෙවි තරුණයා අපට පැවසීය.

මෙම තොප්පි අලෙවිකරුවන් පාතාල ඝාතකයන් ගැන ඉවෙන් මෙන් දනී.

මල්ලි කාටවත් අඳුරගන්න බැරි විදිහේ තොප්පි මොනාද තියෙන්නේ කියලා ඇහුවොත් අපි දන්නවා ගේමකට තමයි යන්නේ කියලා. එතකොට අපි ඔය තොප්පිය තමයි දෙන්නේ” තරුණයා තොප්පියක් පෙන්වීය.

එම තොප්පියේ නළල දක්වා ආවරණය වී තිබුණේ මේස් වැනි රෙද්දකින්. ඉදිරිපසට ‘වී’ හැඩයට තොප්පිය සකස් වී තිබූ අතර කන් වැහී යන ලෙස බෙල්ලතෙක් එය දිගුවිය. නිකටත් කටත් වැහෙන්නට බකල් දෙකක් දැමූ අඟල් තුනක පමණ ආවරණයක්ද එහි විය.

එහි වූ සිත්ගත් තවත් තොප්පියක් වූයේ ෆිල්ඩ් (Field) තොප්පිය ය. ගොවිතැනේ නිරතවන්නන්, වී වේළන උදවියට ය. බකට් හැට් එක මළු ඔළුවම වැසී යන ලෙස සැකසූ එකකි. මේ තොප්පි ගැන විස්තර කරන්නට ගියොත් පිටු දෙතුන් සියයක පොතක් ගැසිය හැකිය. අප එතනින් නැවතත් පිටකොටුවේ අතුරු වීදිවල තොප්පි තට්ටු ගියෙමු. ඒ ඒක වෙළෙන්දකු කීවේ තමන් අවුරුදු 35ක් තිස්සේ තොප්පි විකුණන බවය. තවත් වයෝවෘද්ධ මවක් කීව්වේ තමන් අවුරුදු 52ක් තොප්පි විකුණා දරු මල්ලන් ලොකු මහත් කළ බවය. තොප්පි නම් විගය. අප හිතුවාට වඩා විශාල එකකි. ඒ ගැන සිතමින් සාක්කුවේ මෙතෙක් තිබූ තොප්පිය දාගෙන බස්නැවතුමට යෑමට පිටත් වීමි.

රංගන ප්‍රසද් කහවල

advertistmentadvertistment
advertistmentadvertistment