කැම්බේන් කේම්බ්‍රිජ් නගර සභාවට ගම්පොලින් තරුණයෙක්

369

ගම්පොල මහේෂ් හෙට්ටිආරච්චි එංගලන්තයේ
කැම්බෝන් කේම්බ්‍රිජ් නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වෙයි…

2022 මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 29% ක් දිනාගෙන…

ලංකාව සම්පත් ආකරයක් ඒත් දූර්දර්ශී රාජ්‍ය පාලනයක් නෑ…

අසංවේද, අදූර්දර්ශී, අසාධාරණ පාලනයක දුෂ්ට විපාක විඳිමින් සිටින රටක පුරවැසියෙක් ලෙස මෙවැනි කතාවක් සටහන් තැබීමට ලැබීම ද සිතට යම් අස්වැසිල්ලකි. ඒ එංගලන්තයේ මෙවර පැවැති මැතිවරණයේදී කැම්බෝන් කේම්බ්‍රිජ් (Cambourne Cambridge) නගර සභාවට ස්වාධීන අප්‍රේක්‍ෂකයකු ලෙස තරග කර, ප්‍රකාශිත ඡන්දවලින් 29% ක් ලබාගත් ශ්‍රී ලාංකිකයකු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමේ සතුට දනවන කතාවය. එම නගර සභාවට ශ්‍රී ලාංකිකයකු තේරීපත් වූ පළමු අවස්ථාව ද මේ බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ මහේෂ් හෙට්ටිආරච්චිය.

ගම්පොල පදිංචිකරුවකු වන මහේෂ් හෙට්ටිආරච්චි නුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. හේ මෙරට සිටියදී වසර නවයකට වැඩි කාලයක් සෙලාන් බැංකුවේ නුවර ශාඛාවේ සේවය කර ඇත. ඔහු එම ආයතනයට සම්බන්ධ වී ඇත්තේ 1993 වර්ෂයේදීය.

මහේෂ්ගේ පියා නිමල් චන්ද්‍රසිරි හෙට්ටිආරච්චිය. මව මල්ලිකා කුමාරිහාමි දිසානායකය. ඔහුට සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිති. මවුපිය, සහෝදර, සහෝදරියන් මෙරට සිටියදී මහේෂ් තම පුංචි පවුල සමඟ 2006 වර්ෂයේදී එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇත. 2007 වර්ෂයේ සිට ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මහේෂ් හෙට්ටිආරච්චිට වසර පහක් ඇවෑමෙන් එරට පුරවැසිභාවය හිමි වී තිබේ. ඒ වනවිට ඔහු කේම්බ්‍රිජ් ඇන්ග්ලියා රස්කින් (Cambridge anglia rusking) විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කර තිබිණි. තම ව්‍යාපාරය ද දියුණු කරගෙන ඉදිරියට ගිය මහේෂ් හෙට්ටිආරච්චි මේ වනවිට කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) සහ ලෙස්ටර්ෂයර්හි (Lestaershire) පූර්ණ කාලීන සමාජ සේවකයෙක් ලෙස කටයුතු කරන්නේය. කැම්බෝන් කේම්බ්‍රිජ් නගර සභාවේ මන්ත්‍රීවරයකු වීමේ ජයග්‍රහණය හේ සලකනුයේ ප්‍රජාවට ලබාදුන් සේවය වෙනුවෙන් ප්‍රජාව විසින් කරන ලද ඇගයීමක් හැටියටය.

කැම්බේන් කේම්බ්‍රිජ් නගර සභාවට ගම්පොලින් තරුණයෙක්

“දේශපාලනඥයෙක් විදිහට ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නෑ. ඒත් අකැමැත්තෙන් හෝ ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න වෙන තැනට රට ආරාජික වෙලා තියෙනවා. පැවතුණු රාජපක්‍ෂ රජය පමණක් නොව ලංකාවේ සියලු දේශපාලනඥයන් මේ අර්බුදයට වගකියන්න ඕනෑ. ඒ වගේම ඡන්දෙ දීලා ජනතා නියෝජිතයන්ව පත් කරපු ජනතාවත් රටේ ආරාජිකත්වයට වගකියන්න ඕනෑ. මම දකින විදිහට අපේ මව්බිම මෙතරම් ආරාජිකත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමයි. ආණ්ඩු මාරු වෙනකොට රටේ ප්‍රතිපත්තියත් වෙනස් වෙනවා. බලයට එන ආණ්ඩුව විශාල වශයෙන් විදේශීය ණය ලබාගෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. කොමිස් ගහලා ජනතාව ඉදිරියේ අපකීර්තියට පත් වෙලා බලය ගිලිහී ගියාට පස්සෙ අලුතින් පත්වන ආණ්ඩුව කරගෙන ආපු ව්‍යාපෘති සියල්ල නතර කරනවා. ඒ තුළින් රටේ විශාල ධනස්කන්දයක් නාස්ති වෙනවා. නිදහසින් පසු මේ දක්වා අපේ රටේ ක්‍රියාත්මක වුණේ එවැනි මජර ප්‍රතිපත්තියක්…”

“මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි සුළු සංවර්ධන ව්‍යාපෘතිවලින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න පුළුවන්කම තිබුණා. ඒ ගැන දැන හෝ නොදැන වෙන යම් හෝ අරමුණක් නිසා එවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙරට දේශපාලනඥයන් කටයුතු කළේ නෑ. පහුගිය අවුරුද්දෙ ලංකාවට පැමිණි අවස්ථාවේ ලංකා සිතියම අතේ තියාගෙන මම රට වටේම සංචාරය කරලා තියෙනවා. මේ රටේ මොනතරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද කියලා ඒ සංචාරයේදී මට පැහැදිළි වුණා. ඒවා දකිනකොට අපේ රට ගැන පුදුමාකාර කළකිරීමක් ඇති වුණේ. මෙවැනි සම්පත් ආකාරයක් ලෝකයේ වෙනත් කිසිදු රටක නෑ. ඒත් ඒ සම්පත් රටේ ආර්ථිකයට ශක්තියක් කරගන්න කිසිදු පාලකයෙක් සාර්ථක වැඩපිළිවෙළක් දියත් කළේ නෑ. අපේ රටට මෙහෙම වුණේ දුර්වල රාජ්‍ය පාලනය නිසාමයි…”

“ඒ වගේම අපේ රටේ ජනතාව ආකල්පමය අතින් අතිශය දුර්වලයි. කෙනෙක් තවත් කෙනෙක්ව මනින්නෙ ඔහුට තියෙන වාහනයේ වටිනාකමෙන්. පදිංචිව සිටින නිවසෙ ප්‍රමාණයෙන්. ඇඳුම්, පැළඳුම්වලින්. ඒක දුර්වල මානසික තත්ත්වයක්. දැන් අපි පදිංචි වෙලා ඉන්න මේ රටවල මිනිසුන්ගේ එවැනි මානසික තත්ත්වයක් නෑ. ඔවුන් අතිශය සරලයි. වාහන දෙක, තුන තියෙන මිනිස්සුත් බොහෝ දුරට කෙටි ගමන් යන්න පාවිච්චි කරන්නේ පාපැදි. නැති නම් පයින් යනවා. එකිනෙකාට උදව් උපකාර කර ගන්න දැඩි ඇල්මක් දක්වනවා. මවුපියන්ට, සහෝදර සහෝදරියන්ට උපරිමයෙන් සලකනවා. එවැනි සරල, යහපත් දිවිපෙවෙතක් ගත කිරීම හිතටත් සැනසීමක්. සමාජයටත් යහපතක්. අපේ රටේ මිනිස්සු හිතලා පුහු මානසිකත්වයෙන් මිදෙන්න ඕනෑ. ඒ හැර ලංකාවේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් නෑ. උදේ, සවස රට පුරා පිරිත් ඇහුණට අපේ බෞද්ධ ජනතාවත් බුදුදහමට අනුව ජීවත්වන ස්වභාවයක් මම දකින්නේ නෑ. බුදුදහමේ උගන්වන සරල දිවිපෙවෙත අනුගමනය කළා නම් අද මේ රටේ ජනතාව මෙතරම් ගැටලු ගොඩක හිරවෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ පවතින ක්‍රෙඩිඩ් කාඩ් සිස්ටම් එක නිසා බොහෝ මධ්‍යම පාන්තිකයින් කබලෙන් ළිපට වැටිලා තියෙන ස්වභාවයක් මම දැක්කා. සමහර මිනිස්සු ණයකාරයන් වෙලා උන්හිටි තැන් පවා අහිමි කරගෙන තියෙනවා. ඒ නිසා කෙඩිඩ් කාඩ් සිස්ටම් එක සීමා කරන්න ඕනෑ…”

පෙළගැසෙන කතාව තුළ පවතින සමාජ යාථාර්ථය සරලව ගැබ් වී තිබෙන බව සැබෑය. එහෙයින් එක්සත් රාජධානියේ දේශපාලනය කරන අපේ මිනිසා මහේෂ් හෙට්ටිආරච්චිගේ කතාවට තවත් අඩු වැඩි එකතු කිරීම ඇවැසි නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment