කැරට් 22ට වැඩි ආභරණ පැළැඳ උඩින් ආවොත් වැඩ වරදී

497

ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළැඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවයි.

ගුවන් මගීන්ට පැළැඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැති වීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී තිබේ. ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව අසන්න රටවල් වෙත ගුවන් මගින් ගමන් කරමින් කැරට් 24 රන් පළඳනා ලෙස සකස් කරගෙන මෙරටට පැමිණෙන බව ද වාර්තා වී තිබේ. එමගින් මාසයකට රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ වන බවට ගණන් බලා ඇත.

මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට කළ නියෝගයකට අනුව අදාළ වාර්තාව පසුගියදා අමාත්‍යවරයා අතට පත් විය. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment