ඇමරිකාවේ වැදගත්ම ප්‍රාන්තවලින් එකක් වන්නේ කැලිෆෝනියාවයි. මේ ප්‍රාන්තය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට විශාල වශයෙන් දායක වෙයි. ඇමරිකාවේ ප්‍රාන්ත වැඩි හරියක් පාරිභෝගික ප්‍රාන්ත ලෙස සලකනු ලැබේ. එයින් හැඟෙන්නේ ඒ ප්‍රාන්තවල කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන බවත්, සෙසු ප්‍රාන්තවල නිෂ්පාදනය කරන දේ සහ පිටරටින් ගෙන්වන දේ පරිභෝජනය කරමින් ජනයා ජීවත් වන බවයි. උදාහරණයක් වශයෙන් නිව්යෝර්ක් නගරය ගතහොත් එය තනිකරම පරිභෝජන ප්‍රාන්තයකි. එහි භාණ්ඩ නිෂ්පාදනයක් නොමැති අතර සේවා ස්වල්පයක් ජනනය කිරීම සහ වෙළෙඳාම හැරුණු විට අන් කිසිවක් එම ප්‍රාන්තයේ කරනු නොලැබේ. එහෙත් කැලිෆෝනියා ප්‍රාන්තයේ කරපිංච ගහ පවා වැඩෙන්නේය. ආසියාවේ හැදෙන සියලු එළවළු සමහර පොල් ගසුත් කැලිෆෝනියාවේ වැවිය හැකිය. යාබද මැක්සිකෝවට කැලිෆෝනියාවෙන් වෙළෙඳ බඩු රාශියක් යවනු ලැබේ. මේ ප්‍රාන්තයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන හාරසීය ඉක්මවයි. මෙයින් හැඟෙන්නේ ඒ රටේ බැංකුවල සහ ගෙවල්වල අල්මාරි ඇතුළේ ඩොලර් බිලියන හාරසීයක් ඇති බව නොවේ. එම ප්‍රාන්තය තුළ ඩොලර් බිලියන හාරසීයක ආර්ථිකයක් ඇති බවය. කැලිෆෝනියාව නමැති මේ වටිනා ප්‍රාන්තය පසුගියදා ළැව් ගින්නකට හසුවිය. ඒ ගින්න තවමත් නැවතී නැත. මේ වූ කලී කැලිෆෝනියාවට හිම වැටෙන කාලයයි. හිම නිසා සියලු ගහ කොළ වේලී දර බවට පත්ව තිබේ. ඊට අමතරව කැලිෆෝනියාවේ ගෙවල්වලින් 90% ක්ම සාදා ඇත්තේ දැවවලිනි. එම ගෙවල්වල රාමුව පමණක් කොන්ක්‍රීට්වලින් සාදා තිබේ. මේ නිසා ගෙවල්වලට ගිනි ඇවිලීමද ඉතා පහසුය. මේ සියලුම කරදරවලට අමතරව මේ දිනවල කැලිෆෝනියාව හරහා අධික වේගයෙන් සුළඟක් හමා යයි. මේ නිසා ගින්න පැතිරෙයි. අප මේ කතුවැකිය ලියන මොහොත වන විට ළැව් ගින්නට හසුවී 30 දෙනකුට වඩා මියගොස් තිබිණ. ගෙවල් ලක්‍ෂයකට වඩා විනාශ වී අවසන්ය. ගින්න පටන් ගන්නා අවස්ථාවේ දී එය මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන සෙබළුන් 700ක් යොදන ලදී. එය ටිකෙන් ටික වැඩි කරන ලද අතර අද වන විට එම ගිනි නිවන සෙබළුන් ගණන 30,000 ඉක්මවා ගොස් ඇත. එහෙත් ගින්න නිවීමට නොහැකිය. ඇමරිකාව යනු ලෝකයේ බලසම්පන්නම රටයි. අහල පහල ඕනෑම රටක යුද්ධයක් පවතින විට ඇමරිකාව ද එම යුද්ධයට මැදිහත් වී එම රටට බෝම්බ දැමීමට පටන් ගනී. ඔවුන් එසේ කරන්නේ එම රටේ සිටින ඇමරිකන් හිතවාදීන්ට සහයෝගය දීම පිණිසය. තුන්වන ලෝක යුද්ධය පටන් නොගන්නේ ඇමරිකාව නිසාය. ඇමරිකාව සතුව න්‍යෂ්ටික අවි තිබේ. මේ න්‍යෂ්ටික අවි පත්තුවනු දැකීමට කිසිම රටක් කැමති නැත. එයට හේතුව න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගත්තොත් මිනිසුන්ට විසීම සඳහා ලෝකයක් ඉතිරි නොවන බැවිනි. න්‍යෂ්ටික යුද්ධයක දී මේ ලෝකයේ තිබෙන බැක්ටීරියා පවා විනාශයට පත් වනවා ඇත. හැබැයි කැරපොත්තන් පමණක් ඉතිරි වීමට ඉඩ තිබේ. කැරපොත්තා යනු ඕනෑම කාලගුණික සහ දේශගුණික තත්ත්වයක් යටතේ ජීවත් වීමට හැකි, එමෙන්ම ඉතා වේගයෙන් බෝවන සතෙකි. න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් මීළඟ ශිෂ්ටාචාරය පටන් ගැනීමට සිදුවන්නේ කැරපොත්තන්ගෙනි.
මේ ලෝකය කොතරම් අස්ථාවර තැනක් ද යන්න ලෝකයේ බලගතුම රටේ බලගතුම ප්‍රාන්තයේ සිදුවූ මහා ගින්නෙන් සිතාගත හැකිය. ගින්දරට ඕනෑම දෙයක් කළ හැකිය. එයට බත් උයාදීම ද කළ හැකිය. බාබකි්‍යු කිරීම ද කළ හැකිය. ලෝකයම වනසා දැමීම ද කළ හැකිය. මහා ස්පෝටන වාදයට අනුව මෙයට අවුරුදු බිලියන ගණනකට පෙර සෞරග්‍රහ මණ්ඩලය හටගත් අවස්ථාවේදී පෘථිවිය පැවැතුණේ ගිනි ගුලියක් ලෙසිනි. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ගැන අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය තුළින් ද ලොවට කියා දී තිබේ.
ලෝකය කොතරම් අනිත්‍යයක් ද යන්න සාක්ෂාත් කෙරෙන ඊළඟ මෑතකාලීන පාඩම අපට දෙන්නේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති යුද්ධයෙනි. මෙයට අවුරුද්දකට පමණ පෙර හමාස් සංවිධානයේ ත්‍රස්තවාදීන් පිරිසක් ඊශ්‍රායලයට රිංගා එහි සිටි කිහිපදෙනකු ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් හැටියට පලස්තීනයට ගෙන ගියහ. හමාස් සංවිධානයේ ස්ථිර පදිංචිය තිබෙන්නේ පලස්තීනය සහ ලෙබනනය යන රටවලය. මේ රටවල් දෙක කැමති වුණත් අකමැති වුණත් එහි බලෙන් කඳවුරු බැඳ සිටින හමාස් සංවිධානය ඊශ්‍රායල විරෝධී සෙසු ඉස්ලාමීය ගරිල්ලන් සමග එකතුව විටින් විට ඊශ්‍රායලයට මිසයිල ගසයි. හමාස් සංවිධානය කරන්නේ ඉතා ලාභ යුද්ධයකි. මිසයිලයක් සෑදීම සඳහා ඔවුහු ඩොලර් 100 කට වඩා වියදම් කරන්නේ නැත. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ විශාල පී.වී.සී. බට, රසායනික පොහොර සහ ලාභ අමුද්‍රව්‍ය කිහිපයකි. මේ අමුද්‍රව්‍ය සියල්ල එකතු වූ පසු විශාල ස්පෝටනයක් හට ගනී. එහෙත් ඊශ්‍රායලය මිසයිලයක් සෑදීමට ඩොලර් 50,000ක් පමණ වියදම් කරයි. හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ක්‍ෂණික ප්‍රහාරය නිසා ඊශ්‍රායලය ස්වකීය දේශසීමාවෙන් එහා පැත්තේ පිහිටි ගාසා තීරයට මිසයිල වරුසා එල්ල කරන්නට පටන් ගත්තේය. ඊශ්‍රායලයේ යුද්ධය මිල අධිකය. එසේම ඒ වියදමට ඊශ්‍රායලය අපේක්‍ෂා කරන තරම් පලස්තීන ජාතිකයන් මරා දැමීමට හැකිව තිබේ. මේ නිසා ඊශ්‍රායලය පැත්තෙන් බලන විට ඔවුන්ගේ මිල අධික යුද්ධය පාඩුවක් ලෙස ඔවුන් කල්පනා කරන්නේ නැත. ඊශ්‍රායල් ප්‍රහාරවලින් කුඩා දරුවෝ ද, කාන්තාවෝ ද විශාල වශයෙන් මියගොස් තිබේ. මේ යුද්ධය නතර කිරීම සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස රටවල් කිහිපයක්ම ඉල්ලා සිටින ලද නමුදු ඊශ්‍රායලය එම ඉල්ලීම ගණන් ගත්තේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මේ ප්‍රචණ්ඩ සංහාරය නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ. ඒත් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ යුද්ධයේ දී සිටින්නේ මරාගෙන මැරෙන තැනකය. මෙයට අවුරුදු 40 කට පෙර පලස්තීන විමුක්ති සංවිධානය විසින් බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහලු සහෝදරයා වූ යොනතන් නෙතන්යාහු ද ඝාතනය කළේය. ඒ දිග කතාව අප මෙහි බහාලනු නොලැබේ. කෙසේ වුවද දෙරට අතර පවත්නා යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එළඹීමට ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සහ හමාස් සංවිධානය එකඟ වී ඇත. හැබැයි ඕනෑම මොහොතක ඕනෑම කඩාකප්පල්කාරයකුට බෝම්බයක් ගසා මේ යුද්ධය නැවත ඇවිළ විය හැක. මිනිස්සු අනිත්‍ය ගැන කල්පනා නොකරති. බුදුන්වහන්සේ විසින් දේශනා කළ අනිත්‍ය හරි හැටි මෙනෙහි කළොත් කිසි කෙනෙක් යුද්ධයක් පටන් ගන්නේ නැත. අඩුම ගණනේ කිසි කෙනෙක් මිනිහකුට රවා බලන්නේවත් නැත. අනිත්‍ය මෙනෙහි නොකිරීම නිසා කැරපොත්තන් විසින් අලුත් ශිෂ්ටාචාරයක් ආරම්භ කරන දවස ළං වෙමින් පවතී. අදට කතාව එපමණයි.