කැලණිපුරට අධිගෘහිත විභීෂණ දෙවියෝ

906

විශේෂයෙන් කැලණි පුරවරට අධිගෘහිතව වැඩවාසය කරන විභීෂණ දෙවියන් ශ්‍රී ලංකාවාසී ජනතාවගේම පුදපූජාවන්ට පාත්‍රව පවතින දේවාත්මයකි. තුරග වාහනා රූඩව සිටින විභීෂණ දෙවියන් කැලණිවෙහෙර වහන්සේට සිංහාසනයට මැණික්පුටුවට කැලණි නදියට දිවැස් හෙලා වැඩ වාසය කරන බැව් මෙම දෙවිඳුන්ට කෙරෙන දේව කන්නලව්වේ කියවේ. විභීෂණ දෙවියන්ට මණිඅක්ඛික නාරජුන් සමග විසි කෙළක් නයින් හා නාග කන්‍යාවන් ගැවසීගත් සත් රුවන්මය නාග භවනකින් යුත් උදය්‍යාන විමානාදියෙන් දිව්‍යපුරයක් හා සමාන වූ කැලණි විහාරස්ථානය වාසභවන වූ බව කඩයිම් පොතේ සඳහන් වේ.

ආදිම දේවාත්මයක්වන විභීෂණ දෙවිඳුන් කෙරෙහි ශ්‍රී ලංකාවාසී ජනතාවට විශේෂ අයිතිවාසිකමක්ද හිමිවෙයි. දෙවියන්ට පක්‍ෂවත් රකුසන්ට විපක්‍ෂවත් කටයුතු කිරීම නිසා විභීෂණ දෙවියන් දේවත්වයට පත්වූ බව දේව පුරාණයේ කියවේ.

බිඳ සතුරන් ජය සිරිදී වරින් වර
ලද ගම්බිම් ගජහය සෙනඟ පිරි වර
වැද විභිෂණ සුරිඳුගෙ සිරිපා තඹර
නද පියකර තෙපුලෙන් මෙලෙස සැලකර

මනුෂ්‍ය වේශයෙන් සිට තනිව හැසිරෙන කේසර සිංහයක් හුගේ නාදය වැනි අසමාන වූ නාදයෙන් අනන්ත වූ රාක්ෂස සේනාව භීතියට පමුණුවා මනෝ රම්‍ය වූ රාම රාජයා විසින් ශ්‍රී ලංකාව ස්වාමිකොට සුර සේනාව මධ්‍යයෙහි අභිෂේක කළා වූ අතීතයෙහි මේ සිරිලක රාජ්‍ය ශ්‍රී ලබාගෙන තමහට පූජා පැවැත්වූ නිරිඳුන්හට සතුරන් බිඳ ජයසිරි දී වරින් වර ගම් බිම් හා ඇත් අස් සේනාවද ලැබූ විභීෂණ සුරිඳුගෙ ශ්‍රී පාද නමැති පියුම වැඳ මනෝඥ වූ ප්‍රිය වූ තෙපුලෙන් මෙලෙස සැලකරව”යි හංස සන්දේස කතුවරයා පවසන ආකාරයට රාවණ රජුගෙන් පසු රජ කමට පත් විභීෂණ දස රාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ බවත් එනිසාම එතුමාගේ අභාවයෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙවියෙකු ලෙස වැඳුම් පිදුම් කළ බවත් පැහැදිලි වේ.

ඇතැම් පොත්වල රාම රාවණා යුදකර රාවණා රජු මරා ශ්‍රී ලංකාව විභීෂණ සමන් යන දෙවිවරු දෙදෙනාට බාරකළ බවද පැවසේ.

රාමායනයේ සඳහන් වන ආකාරයට පුලස්ති ඉසිවරයාගේ පුත් වූ විශ්‍රවස් මුනිවරයාට දාව රාක්ෂාධිපති සුමාලියගේ දියණිය වූ කෛක සිට දරුවන් සතර දෙනෙක් සිටි බවත් එම දරවන් සිව්දෙනා රාවණා, කුම්භකර්ණ, ගුපර්ණක, විභිෂණ නම් වූ බවත් පැවසේ. විභීෂණ පුලස්ති ඉසිවරයාගේ පරපුරින් පැවත එන බව සැළළිහිණි සංදේශයේද සඳහන් වේ.

පළමු වරට ශ්‍රී ලංකාවේ විභීෂණ දෙවියන් පිළිබඳ සඳහන් වන්නේ දොළොස්වන සියවසේදී රජ පැමිණි මහපැරකුම්බා රජුගේ උප්පත්ති කතාවෙහිය. විභීෂණ දෙවියන් යක්‍ෂ ගෝත්‍රිකයෙකු බව සැළළිහිණි සංදේශයෙහි එන පහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ.

සිරිසර හිගුල් විල සේහස වැලෙව් ගන
සුරවර සලෙල රත ලවනත දළ දුලන
මනහර සදවලා පෙල කෙළවර පෙනෙන
පැහැසර ළසද යුවළක් ඇත්නම් එමෙන

“ශ්‍රී සාරවූ සාද ළිංගම් විලෙක්හි ළං ළංව සිටි සුදුහංස පංකා දෙකක් හා සමාන වූ උතුම්වූ දෙවිඳුන්ගේ ලීලෝ පේත රතු තොල් කෙළවර දිලිසෙන්නා වූ දළදෙක මනහර වූ සන්ධ්‍යා වලාපෙළ කෙළවර පෙනෙන අභිනව ඡන්ද්‍ර යුග්මයක් ඇත්නම් එබඳු යැයි එහි අදහසයි.

විභීෂණ විශ්‍රවස් මුණිවරයාගේ ප්‍රාර්ථනාවක් අනුව යහපත් දැහැමි ගති පැවතුම් ඇත්තෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තවුස්දම් රැක මහා බ්‍රහ්මයාගේද සිත පහදවාගත්තෙක් බවද එතුමාට කිසියම් විපතක් වූ විටක ඉන් මිදීමට හැකි බවද පැවසේ. සංදේශ කාව්‍යන්හි මහත් භක්තියෙන් විභීෂණ දෙවිදුන් වර්ණනා කිරීම එතුමා එදා ජන සමාජයේ මහත් පුදපූජාවන්ට පාත්‍ර වූ බවට සාධිකයකි.

සවන පැරකුම්බා අවධිය වනවිට විභීෂණ දෙවියන් දරුවන් නැති අයට දරුපල ලබා දීම පිළිබඳවද ප්‍රසිද්ධියට පත්ව ඇත. උලකුඩය දේවියට පුතෙකු ලැබීම විභීෂණ දෙවියන් එදා සමාජයේ ප්‍රසිද්ධියට පත්වීමට තවත් හේතුවක්ව ඇත. ලෝ වැසියනට සිතූ පැතූ සම්පත් ලබාදෙන කල්ප රුක්‍ෂයද සුරබිදෙනද පරාජය කරතියි යනුවෙන් ශ්‍රී ලංකාවේ සතරවරම් දෙවිවරු ග්‍රන්ථයේ සඳහනින් එකල විභීෂණ දෙවියන් කෙරෙහි පැවති විශ්වාසය කෙතෙක්ද යන්න පැහැදිලි වේ. කැලණියේ විභීෂණ දේවාලය ජනප්‍රිය ඓතිහාසික දෙවොලකි. උඩුනුවර ලංකාතිලක විහාරයේද පැරණි දෙවොලක් පවතී.

විභීෂණ දෙවියන් ජනතාවගේ ඇස්වහ කටවහ ග්‍රහදෝස යක්‍ෂ භූත පිසාචාදීන්ගෙන් සිදුවන දොස් දුරුකර සෙත සලසන බවත් ජන විශ්වාසයේ පවතී. කුඩා ළමුන්ට සිදුවන අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා විභීෂණ දේවාලයට ගොස් සෙත් ශාන්ති කරවා ගැනීටද ජනතාව පෙළඹෙති.

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියැනෑ ගෞරව කීර්ති සරණපාල නුවරපක්‍ෂ.
පූගොඩ.
දු. අංකය 077-9139904

advertistmentadvertistment
advertistmentadvertistment