කැලණිය සරසවිය ඉලක්ක කරගත් ස්පා කිහිපයක්

1314

සමහරු මහපොළත් ස්පා එකටම හරවලා…

මහනුවර, ගම්පොළ පදිංචි සේන බණ්ඩාර කැලණිය සරසවියේ දෙවන වසරේ සිසුවෙකි. තම නිවසේ සිට සරසවියට පැමිණීමට නොහැකි නිසා ඔහු නැවතී සිටියේ සරසවි නේවාසිකාගාරයේය. දෙමවුපියන්ට කීකරුව හැදී වැඩුණු ඔහු පවුලේ මෙන්ම ඥාතීන්ගේ ද ආදරය දිනාගෙන සිටියේය. සරසවියට පැමිණ වසරක් ගතවන්නටත් මත්තෙන් ඔහුගේ ගති පැවතුම් ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. ඒ අතර ඔහු මත්පැන් පානය කිරීමට සහ වෙනදාට වඩා වැඩියෙන් විවිධ මිතුරන් සමග විනෝද ගමන් යෑමට පවා පුරුදු වී සිටියේය. ඒ පිළිබඳව දෙමව්පියන් කොතරම් අවවාද කළත් ඔහු ඒවා පිළිපැද්දේ නැත. වෙනදා මෙන් නොව විවිධ දෑ පවසමින් මාස්පතා නිවැසියන්ගෙන් විශාල මුදලක් ද ඔහු ලබා ගත්තේය. දිනක් බණ්ඩාරගේ නිවසේ රත්තරන් බඩු කිහිපයක් අතුරුදන් වී තිබුණි. දෙමව්පියන් ඒ පිළිබඳව නිවසේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලූවේය. එහෙත් නැතිවූ රත්තරන් බඩු සොයා ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳව සේනගේ දෙමව්පියන් මෙලෙස කතාබස් කළේය.

”නැතිවුණු රත්තරන් බඩු ටික හොරු ගන්න විදිහක් නෑහැ.”

”ඔව් ඒක තමයි. එහෙම හොරු ආව නම් අනිත් බඩුත් අරන් යනවනේ.”

”ගෙදර කවුරුහරි තමයි ගන්න ඇත්තේ.”

”දුව ඕවා ගන්නෙ නැහැ.”

”මට සැක පුතා ගැන. එයා දැන් හැදෙන විදිහ හරි නැහැ.”

”මටත් සැක එයාව තමයි. මිනිහා නොසෑහෙන විදිහට වියදම් කරනවා. සල්ලිවලට මොනවා කරනව ද දන්නෙ නැහැ.”

”පොලිසියට යන්න කලින් අපි එයාගෙන් මේ ගැන අහලා බලමු.”

”ඔව් ඒක හොඳයි.”

ඒ අනුව සේන නිවසට පැමිණි පසු දෙමව්පියන් නැතිවුණු රත්තරන් බඩු ගැන ඔහුගෙන් විමසුවේය. ඔහු එකහෙළාම පැවසුවේ ඒ ගැන කිසිවක් තමන් නොදන්නා බවයි. අවසානයේ සේනගේ දෙමව්පියන් පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් අවබෝධ කරගත්තේ පිටතින් පැමිණි කිසිවකු නොව නිවසේ ම පුද්ගලයකු එම රත්තරන් බඩු රැගෙන ඇති බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් සැකපිට සේනගෙන් ප‍්‍රශ්න කළේය. එම ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිදු වූ සියල්ල මෙලෙස පැවසුවේය.

”මම තමයි අම්මගේ මාලයයි වළලූ දෙකකුයි අවස්ථා දෙකකදි හොරකම් කරලා උගස් කළේ.”

”ඇයි ඒ විදිහට ගෙදරින් බඩු හොරකම් කරලා උගස් තිව්වේ.”

”මගේ වියදමට.”

”ඔයාගේ වියදමට ගෙදරින් සල්ලි දෙනවා නේ?”

”ඒ දෙන සල්ලි මදි.”

”ඇයි මදි වෙන්නේ. ඔයාගේ අම්මයි තාත්තයි කියනවා අනිත් ළමයින්ට වඩා විශාල මුදලක් මාසෙට ඔයාට දෙනවා කියලා. ඉතිං සල්ලි මදි වෙන්න හේතුවක් නැහැනේ.”

”නැහැ සර් වියදම් වෙනවා.”

”මම මේ හොඳින් අහන්නේ ඇත්ත කියනවා. සල්ලිවලට මොනවද කරන්නේ කියලා.”

”අනවශ්‍ය දේවල්වලට වියදම් කළේ නැහැ.”

පොලිස් නිලධාරියාට ඔහු පුන පුනා පැවසුවේ එම සල්ලි අනවශ්‍ය දෙයකට වියදම් නොකළ බවයි. එහෙත් එය බොරුවක් බව පොලිස් නිලධාරියා තේරුම් ගත්තේය. ඒ අනුව නැවත වරක් ඔහු සැර පරුෂ ලෙස සේනට මෙලෙස පැවසුවේය.

”තමුන් ඇත්ත කියන්නේ නැහැ කියලා මම හොඳින්ම දන්නවා. ඒක නිසා ඇත්ත අහගන්න ඕන විදිහත් මම දන්නවා.”

”අනේ සර් මොකුත් කරන්න එපා. මම ඇත්තම කියන්නම්.”

”අන්න එහෙම එනවා. දැන් කියනවා සල්ලිවලට මොනවද කරන්නේ කියලා.”

”සර් අපේ කැම්පස් එක ළඟ ස්පා හතරක් පහක් තියෙනවා. දවසක් යාළුවෝ කිහිපදෙනෙක් එක්ක නිකමට වගේ අපි එයින් එකකට ගියා. ඒ ගියාම පහුවෙනිදත් මට යන්න හිතුණා. එදත් යාළුවෙක් එක්ක ගියා. එහෙම එක දිගට දවස් හතරක් පහක් ගියා. ඊට පස්සේ මම දිගටම ස්පා යන්න පුරුදු වුණා.”

”අම්මලා දෙන සල්ලි වැඩි හරියක් වියදම් කළේ ස්පා එකට. සල්ලි නැති තැන තමයි රත‍්‍රං බඩු උගස් කළේ. ගත්ත සල්ලිත් වියදම් කළේ ස්පාවලටම තමයි. මම විතරක් නොවෙයි ගොඩක් කට්ටිය යනවා. සමහරු ශිෂ්‍යත්ව සල්ලි හම්බ වෙනකම් බලන් ඉන්නවා ස්පා යන්න.”

කැලණිය සරසවියේ සිසුවකු වන සේන බණ්ඩාරගේ කතාවට අනුව අපි ඒ පිළිබඳව සොයා බැලූවෙමු. එහිදී අනාවරණය වූයේ කැලණිය සරසවිය ආසන්නයේ සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන යන බවයි. විශේෂයෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ සරසවි සිසුන් ඉලක්ක කර ගෙනයි.

රාත‍්‍රි කාලයේදී කැලණිය සරසවියේ බොහෝ සිසුන් කෙලෙස හෝ මුදල් සොයාගෙන එම සම්බාහන මධ්‍යස්ථාන කරා රිංගති. එයට අමතරව සමහර සරසවි සිසුවියන් ද හොර රහසේ එම සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරති. එයින් සමහරක් සිසුවියන් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා මුදල් නොමැති නිසා එහි සේවය කරන අතර තවත් සමහරු අතිරේක වියදම් සඳහා මුදල් උපයා
ගැනීමට එහි සේවය කරති. නීත්‍යානුකූලව මෙරට ඕනෑම ස්ථානයක සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකිය. එහෙත් වගකිවයුතු නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සරසවි වැනි සිසුන් අධ්‍යාපනය ලබන ස්ථාන විශේෂයෙන්ම කැලණිය සරසවිය ඉලක්ක කරගෙන පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරන ලෙසයි. එසේ නොවුණහොත් අධ්‍යාපනය පසෙක දමා සිසුහු සම්බාහන මධ්‍යස්ථාන තුළට රිංගා මුදල් පමණක් නොව තමන්ගේ සහ රටේ අනාගතය ද විනාශ කර දමති.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment