කැලණි පිංබිමේ දුරුතු මහා මංගල්‍යය

92

දොළොස් මහක් ගෙවී ගොස් නව වසරක් එළඹි මුල්ම මාසය ව්‍යවහාරික මාස ක්‍රමය අනුව ජනවාරි මාසයයි. එය සිංහල මාස ක්‍රමය අනුව භාවිතා වන්නේ දුරුතු මාසය ලෙසිනි. මෙලෙස වසරක ආරම්භක මාසයේ ලාංකික ජන සමාජයේ ඉටු සිදු කෙරෙන මුල්ම ප්‍රධාන බෞද්ධාගමික පූජෝත්සවය ලෙස ජන හදවතට සමීප වන්නෙ කැලණි දුරුතු මහා පෙරහැරයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

කැලණි දුරුතු පුණ්‍යමහෝත්සවය අප රටේ පමණක් නොව දේශ දේශාන්තර ප්‍රකට බෞද්ධ උත්සවයකි. වර්ෂ 1927 විධිමත් ලෙස ඇරඹි දුරුතු මහා පෙරහැරට මේ වනවිට වසර 97 ක් සපිරේ.

එවකට කැලණි රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දැරූ පූජ්‍යපාද මාපිටිගම ධම්ම රක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමා තැනියගේත් දොන් වෝල්ටර් විජයවර්ධන මැතිඳුන්ගේත් එම පවුලේ සෙසු ඥාති සැදැහැවතුන්ගේත් එවකට විහාරස්ථානය හා සම්බන්ධව සිටි ප්‍රභූදායක කාරකාදීන්ගේ එමෙන්ම සතරපේරුවේ දායිකාවන්ගේද මූලිකත්වයෙන් මෙම දුරුතු මහා පෙරහැර හා සම්බන්ධ පුණ්‍යමහෝත්සවය ඇරඹි බවට ඉතිහාසය සාක්ෂි දරයි.

කැලණි පුරවරුණ පිළිබඳව යටගියාව හෙළි කරන කරුණු කාරණා බොහෝය. එවැනි නානාවිධ ඓතිහාසික තොරතුරු අතර මණිඅක්ඛිත නා රජුගේ වාස භූමිය වීමත් රාම රාවණා යුද්ධයට ඇති සම්බන්ධතාවයත් එකී යුද්ධය ප්‍රකාරව විභීෂණ සිංහාසනාරූඪවීම හා තදනන්තරව විභීෂණ දෙවිඳුන්ගේ බලසම්පන්න දේව භවන පිහිටීම ද විශේෂත්වයක් ගනී.

තවද මිණිපළඟක් අරභයා චූලෝදර මහෝදර සහෝදසරයින් අතර ඇති වන්නට ගිය සටන සංසිඳුවීම සඳහා බුද්ධත්වයෙන් 05 වන වර්ෂයේ බක් මස පුරපසළොස්වක පොහෝ දින අප තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බවත් කැලණියේ මණිඅක්ඛිත නා රජුද එම අවස්ථාවේ බුදුන් පිදූවන් අතර සිටි බව ද සඳහන්ව තිබේ. එහිදී නාරජු බුදුපියාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධත්වයෙන් 08 වන වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහෝදා රහතන් වහන්සේලා සමගින් බුදුපියාණන් වහන්සේ කැලණිය පුදබිමට වැඩම කළ බවද මහා වංශයේ සඳහන් වේ.

ඊට අමතරව අනෙකත් පුරා වෘත්තයන්ට අනුව කැලණිතිස්ස රජු සමයේදී රජ බිසවගේ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් හෙළිදරව්වීම හේතු ප්‍රකාරව රාජ උදහසට ලක්ව නිරේදෝෂී රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමේ දමා අපවත් කරවීමේ ශාපයට මහ මුහුද ගොඩ ගැලූ බවත් එකී විපතින් දේශය මුදා ගැනීම පිණිස තම රූමත් ‘දේවී’ නම් කුමාරිකාව මුහුදට බිලිදීමෙන් පසුව මහ මුහුදේ පාවී ගිය ‘දේවී’ කුමාරිකාව කිරින්ද වෙරළට සේන්දුවීමෙන් අනතුරුව ඇය මාගම්පුර එවකට රජකළ කාවන්තිස්ස රජුට මුණගැසී ඇති අතර පසුව ඇයව එම රජු විසින් සරණපාවා ගත් බවද දුටු ගැමුණු හා තිස්ස කුමාරයා එම දෙපළගේ දරුවන් බව ද ප්‍රකටය.

එවන් මාහැඟි ඉතිහාසයකට හිමිකම් කියනු ලබන කැලණි පුරවරයට මායා රටේ අගනුවර ලෙසින්ද ප්‍රකටය. විවිධ රාජ්‍ය පාලකයන්ගේ පාලන ප්‍රදේශයක් මෙන්ම ආගමික කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද බුදු පා පහස ලද මෙම පින්බිම ගෞරවාදරයට පාත්‍රවී ඇත.

ඒ ඒ කාලවල රටේ රාජ්‍යයත්වය දැරූ රජදරුවන් විසින් විටින් විට කැලණි විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා මහත් මෙහෙවරක් සිදුකර ඇත. ඒ අනුව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ උත්තිය රජතුමා පළමුකොට මණිඅක්ඛිත නා රජු විසින් සංකේතාත්මකව සාදා තිබූ කැලණි දාගැබ ප්‍රතිසංස්කරණය කොට භික්ෂූන් උදෙසා සංඝාවාසයක්ද කරවූ බවත් අනතුරුව උපතිස්ස රජුගේ ඥාති පුත්‍ර යඨාලතිස්ස කුමාරයා කැලණි විහාරයේ පස් මහල් පායක් කරවූ බවත්, ඉන් පසුව කණිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයට අඩුවක්ව පැවැති උපෝෂථාගාරයක් කරවූ බව ද ක්‍රි. ව. 214 – 236 රාජ්‍යත්වය දැරූ වෝහාරතිස්ස රජතුමා කැලණි දාගැබ මුදුනෙහි චත්‍රයක් කරවූ බවත්, ඒවාගේම නිශ්ශංකමල්ල රජතුමා නිරතුරුවම කැලණි විහාරයේ වන්දනාමාන කිරීමට පැමිණි බවටද ශිලා ලේඛනවල සඳහන්ව ඇත. මේ අතර ක්‍රි. ව. 1250 – 1285 යුගයේ දඹදෙණි පුරවරයේ රාජ්‍ය විචාල දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විවිධාකාර විහාරාංග ප්‍රතිසංස්කරණය කර කැලණි පුද බිමේ පහන් පූජාව පැවැත්වීම උදෙසා පොල් ඉඩමක්ද පූජා කර ඇත. ඒ වාගේම හතරවන ශ්‍රී පරාක්‍රමබාහු රජතුමාද සය වැනි බුවනෙකබාහු රජතුමාද කැලණි විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා උත්කෘෂ්ඨ ආගමික හා ශාසනික මෙහෙවරක් සිදුකර ඇති බැව් වංශකථාවන්හි සඳහන්ව ඇත.

එලෙස රජ දරුවන්ගේ අප්‍රහත ධෛර්යයෙන් ගොඩනැඟුණු කැලණි විහාරය වර්ෂ 1505 දී පෘතුගීසි ආක්‍රමණයෙන් හා වර්ෂ 1659 දී ලන්දේසි ආක්‍රමණයෙන් විනාශ වූ සිද්ධස්ථාන අතර ප්‍රධාන ඉලක්කයක් විය. එකී බෞද්ධ විරෝධී කෲර ආක්‍රමණිකයන්ගේ උදහසට ලක්වූ මෙම විහාරයද සුනුවිසුණු වී බොදුනුවන්ට මෙම ප්‍රදේශය තහනම් බිම්කඩක් වූවා පමණක් නොව කැලණි විහාරයේ පුද පූජා පැවැත්වීම මරණයට හේතුවක් විය.

මෙකී තත්ත්වය පැවතීගෙන ගියද වර්ෂ 1780 දී ලන්දේසි සමයේ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවස්ථාව උදාවිය. එතුළින් නිසි ඵල නෙළාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඒ සඳහා අවශ්‍ය ශාසනික මෙහෙවර යළි ආරම්භ කර අතිපූජ්‍ය වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මෙම ගරා වැටුණු සිද්ධස්ථානය නඟාසිටුවන්නට යළි යුහුසුළු විය.

ඒ අනුව සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍යපාද දෙහිගස්පේ අත්ථදස්සී නාහිපාණන් වහන්සේ විහාරාධිපතිත්වයේ තබා කටයුතු මෙහෙයවූහ. එතැන් පටන් උන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුර වශයෙන් බුද්ධරක්ඛිත, ධම්ම රක්ඛිත, සංඝරක්ඛිත යන ත්‍රිවිධ රත්නයේ නාමත්‍රයට අනුගතව විහාරාධිපති ධුරය පැවත එනු ලබයි.

එලෙස පැවතගෙන එන සඟ පරපුරට අනුව පූජ්‍යපාද මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ සමයේ ඇරඹි දුරුතු පෙරහැර එදා සිට අද දක්වා වසරින් වසර අත්‍යලංකාර අන්දමින් පවත්වමින් එහි උත්කෘෂ්ඨභාවය මතු කළ යුගමෙහෙවරක් ඉටුකළ අපවත්වී වදාළ පූජ්‍යපාද මාපිටිගම බුද්ධරක්ඛිත, විචිත්‍රභානක වත්තල ශ්‍රී ශීලරතන, විiාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්වාමීන්ද්‍රියන් වහන්සේලා ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත. ඒ වාගේම ඉන් අනතුරුව විහාරාධිපතිත්වයට පත්වූ වර්තමාන විහාරාධිපති අතිපූජ්‍ය, කැලණිය විශ්වවිiාලයේ උපකුලපති, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරන්දර අග්‍රමහා පණ්ඩිත අති ගෞරවාර්භ පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැලණි දුරුතු පෙරහැරේ මෙන්ම විහාරස්ථානයේ ශ්‍රී විභූතිය ඇති කිරීමෙහිලා විපුලඵල මෙහෙවරක් සිදුකරන බැව් සඳහන් කළ යුතුව ඇත.

උන්වහන්සේගේ එම ආගමික හා ශාසනික මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යෑම උදෙසා උන්වහන්සේගේ ශිෂ්‍ය, කැලණිය විශ්වවිiාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියන්ගේද, ඒ වාගේම පූජ්‍ය රන්දිලිගම මහින්ද ස්වාමීන් වහන්සේගේද මෙන්ම පූජ්‍ය ඇටම්පිටියේ හේමවංශ හිමියන් ප්‍රධාන විහාරවාසී සෙසු භික්ෂූන් වහන්සේලාගේ කැපවීම ද තවද දායක සභාවේ සභාපති රුසියාවේ හිටපු තානාපති, වෛi සමන් වීරසිංහ මහතා, බස්නායක නිළමේ තැන්පත් ධම්මික ආටිගල මහතාගේත්, දායක සභාවේ සාමාජික සාමාජිකාවන්ගේද, රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතනවල, ස්වෙච්ඡා සංවිධානවල සහ ශ්‍රී කල්‍යාණි ධර්ම විiාලයේ කැපවීමද දුරුතු පිංකමේ සාර්ථකත්වයට මහත් පිටිවහලක් වී ඇත.

ඉපැරැණි හෙළ චාරිත්‍ර විධි අනුගමනය කරමින් උඩරට, පහතරට සහ සබරගමු යන දේශීය නර්තන සම්ප්‍රදායන් යොදා ගනිමින් චිත්තාකර්ෂණීය ආකාරයට සිදුකරනු ලබන මෙම පුණ්‍ය මහෝත්සවයද ජනහද බැඳගත් බොදු පිංකමකි.

නව වසර උදාවත්ම දුරුතු මහා පෙරහැර පැවතුවත් එහි මූලික පිංකම් කටයුතු ආරම්භ වන්නේ පූර්ණ වර්ෂයේ ඉල් මාසයෙනි. එතැන් පටන් දෙමසකට වැඩි කාලයක් ලංකාවේ චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමදුර දම් දෙසුම් සැදැහැවතුනට මහත් අස්වැසිල්ලක් බව ධර්මදේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මොනවට පැහැදිලි වේ. එම දම් දෙසුම අවසානයේ තිස්පෑහතේ පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වෙන අතර අනතුරුව පිළිවෙළින් දේව දූත පෙරහැර,උඩ මළුවේ පෙරහැර, දෙවන වීදි පෙරහැර, ඊට පසු දින මහ පෙරහැරත් පැවැත්වේ. මෙකී දිනයන්හි පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් කැලණි පුදබිම පිරී ඉතිරී යයි.

පසුදා පහන්වනතුරු වීථි සංචාරය කෙරෙන දුරුතු මහා පෙරහැර නිමවීමත් සමඟ දුරුතු පුරපසළොස්වක පොහෝ දින පෙහෙවස් සමාදන්වීම අරමුණුකොට කැලණි පුදබිමෙහි අතුරු සිදුරු නැතිව තැන්පත්වී සිටින උවසු උවැසියන්ගේ දසුන බැති සිතට මහත් චිත්ත සංතෘෂ්ඨියකි. ඔවුන් නඟන සාධු නාදය සවන්පත්වලට මහත් සුවයකි. ආමිස පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් පින්දම් කරන සාධු දනන්ගේ මා හැඟි පුණ්‍ය ක්‍රියාවන් මෙන්ම දුරුතු මංගල්‍යයේ අසිරිය රටවටා ලොව වටා පතුරුවා හරින්නට දේශීය විදේශීය මාධ්‍යවේදීන් කැලණි පුදබිම තුළ කඳවුරු බැඳ සිටිනු දැකීම සැදැහැ සිතට මහත් අස්වැසිල්ලකි.

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන බුදු පා පහස ලද කැලණි පිංබිමේ පැවැත්වෙන මෙම දුරුතු පුණ්‍ය මහෝත්සවයේ අනුහසින් තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් හා දෙව් රැකවරිණින් දේශයේ සියලු දුක් කරදර දුරුවී සාමය සමගිය සහජීවනය මෙන්ම රටේ අභිවෘද්ධිය උදාවේවායි යන්න පරම පැතුමකි.

කැලණියේ – නන්දලාල් සමරවීර

සංස්කරණය නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment