කැලෑ ගමක් මැද ලංකාවේ හොඳම පාසල හැදුණු හැටි

928

මෝටරයක් නොමැතිව අඩි 100ක් ඉහළට වතුර ගනියි.

පැතුම් සහගත මිනිස්සුන් ලෙහෙසියෙන් පරාජය කළ නොහැක. කුමන බාධක පැමිණිය ද එවැනි යහපත් මිනිසුන් තම ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමෙන් මෙපිට තම උත්සාහයන් අත් හරින්නේ නැත. ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කර සිටින්නේ එවැනි පුද්ගලයන් විසින්ය. පහත පළ වන්නේ එවැනි මිනිසෙකු පිළිබඳ කතාවකි. පෞද්ගලික ලාභ අපේක්ෂාවන් ආදියෙන් බැහැරව පරාර්ථය පිණිස අනේක කැපකිරීම් කරන ලද ඔහු වසා දැමීමට නියමිතව තිබූ පාසලක් මෙරට හොඳම පාසල බවට පත්කරන අතර එයට ගෞරවයක් වශයෙන් වරක් ඔහු විද්‍යා ශ‍්‍රී ජනාධිපති සම්මානයෙන් අභිනන්දනය ට පත්වන්නේය. එවැනි හපන්කමක් සිදුකළ විදුහල්පතිවරයෙක් ගැන කියවෙන මෙම කතාව ඇතැම්විට ප‍්‍රබන්ධයක් යැයි සිතෙන තරමට විස්මයජනකය.

එම විශ්මයජනක කතාවේ කතා නායකයා අපට මුණගැසෙන්නේ වෙනත් මාධ්‍ය කටයුත්තක් පිණිස බණ්ඩාරවෙල ප‍්‍රදේශය බලා ගිය සංචාරයක් අතරතුර දී ය. මේ වන විට විදුහල්පති සේවයෙන් විශ‍්‍රාම ගෙන සිටින ඔහු නමින් ආර්.එම්. දයානන්ද රත්නායක ය. ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයේ අති දුෂ්කර පාසලක් වූ බ/වලස්බැද්ද විදුහලට අලූත් වසන්තයක් උදාකළ එම සිරිමත් අතීතය අප හමුවේ හෙළිදරව් කර සිටී. ඔහු තම කතාබහ පිණිස ආරම්භයේ ලබා ගත්තේ සිය විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින්ය.

ගෞරව උපාධියක් සහිතව මම විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දි රටේ තිබුණේ ව්‍යාකූල දේශපාලන තත්ත්වයක්. විවිධ අසාධාරණකම් නිතර නිතර සිදු වූ වටපිටාවක්. මමත් ඒ අසාධාරණකම්වල ගොදුරක් බවට පත් වුණා. විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සෙ මම රාජ්‍ය පරිපාලන විභාගයට පෙනී ඉන්නව. එයත් ඉහළින්ම සමත් වෙන්න මට පුළුවන්කම ලැබෙනව. නමුත් එදා රටේ තිබුණු වටපිටාව අනුව සුදුසුකමට රැකියා දෙන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වුණේ නෑ. මමත් ඒකෙ ගොදුරක් බවට පත්වෙනව. ඒ නිසා මගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක් මට ලැබුණෙ නැ. ඒක බලවත් චිත්ත පීඩාවක් ගෙන දුන්න කරුණක් බවට පත්වෙනව. ඒ කලකිරීමත් එක්ක ස්වයං රැකියාවක් කරල කීයක් හරි උපයගන්න මම තීරණය කරනව. එහෙම හිතලා තමයි මම ලොරියක් මිලදී ගන්නේ. කුඩා කාලේ ඉඳල කීයක් හරි මුදලක් ඉතිරි කිරීමේ පුරුද්දක් මට තිබුණා. ඒ ඉතිරි කරපු මුදලින් තමයි මම ලොරියක් මිලදී ගත්තේ. එදා ඉඳල මගේ රස්සාව බවට පත් වුණේ ලොරි රස්සාව. බණ්ඩාරවෙලින් එළවළු පටවගෙන මඩකලපු යනවා. මඩකලපුවෙන් හාල් පටවගෙන නැවත බණ්ඩාරවෙලට එනව. ලොරියෙ රිය දුරත් මම. රිය සහායකත් මම. ඒ හින්දා ඒ කාලේ ලොකු දුකක් වින්ද. මම වගේම ජීවත්වෙන්න දුක්විඳින තවත් මිනිස්සු විශාල ප‍්‍රමාණයක් ඉන්නව කියල ඒ කාලය අතරතුර මම දැනගත්තා. ඒ අයත් එක්ක අත්දැකීම් බෙදා හදා ගත්තා..”

එලෙස ලොරි රථ රියැදුරෙක් ලෙස වෘත්තීය ජීවිතය අරඹන අප කතා නායකයා වෙත රජයේ උපාධිධාරී ගුරු පත්වීමක් හිමිවන්නේ ඒ අතරතුරදීය. කිසිසේත්ම අපේක්ෂා නොකළ මොහොතක ලැබෙන ගුරු පත්වීම සතුටින් බාර ගන්න දයානන්ද රත්නායක වසරක පමණ කාලයක් ප‍්‍රදේශයේ විදුහලක ගුරුවරයකු ලෙස සේවය කරන අතරතුර විදුහල්පති 1 ශ්‍රේණියේ උසස්වීමක් පිණිස නිර්දේශ වීමත්ව සමග එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන්නේය.

‘‘දවසක් ක‍්‍රීඩා තරග විනිශ්චයක් පිණිස ප‍්‍රදේශයේ වෙනත් පාසලකට මට යන්න සිද්ධ වෙනව. එදා ඒ විදුහලට කලාප කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුත් ඇවිත් හිටිය. ඒ අයත් එක්ක කතා බහ කරමින් ඉන්න වෙලාවෙ එක නිලධාරි මහත්තයෙක් මට කිව්වා ඇල්ල අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර පාසල් තුනක් වසා දමන්න ප‍්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් තීරණය කරල තියනව කියල. ඒ වෙද්දිත් ඒ පාසල් තුන අතරින් දෙකක් වසා දමන්න කියල නිර්දේශ නිකුත් කරලයි තිබුණේ. අනිත් පාසලත් වසා දමන්න තීරණය කරල තිබුණත් ඒ සඳහා නිර්දේශ නිකුත් කරලා තිබුණෙ නෑ … ඒ නිසා එතන හිටියේ එක නිලධාරියෙක් මට කිව්වා ‘‘පාසලක් වසා දමන එක මහා අපරාධයක්… රත්නායක මහත්තයට පුළුවන්නම් ඒ විදුහලේ විදුහල්පතිකම බාර අරගෙන කරන්න පුළුවන් දෙයක් කරන්න” කියල. ඒ වචන කීපය මගේ හිතට තදින් දැනෙන්න ගත්ත. අන්තිමට මම තීරණය කළා ඔව් ….ඒ වගකීම මම භාර ගන්නව කියල. ඒ තීරණය ගැනීමත් සමඟ ඇතැම් ගුරුවරු මට සමච්චල් කරන්න ගත්තා. නමුත් මගේ තීරණය වෙනස් කරන්න කාටවත් පුළුවන්කමක් ලැබුණේ නෑ …”

කැලෑ ගමක් මැද ලංකාවේ හොඳම පාසල හැදුණු හැටි

බදුල්ල බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ උඩුවර හතේ කණුව හන්දියේ සිට කිලෝමීටර් 13ක් දුරින් පිහිටි වලස්බැද්ද විදුහලේ නව විදුහල්පතිවරයා වශයෙන් දයානන්ද රත්නායක සේවයට වාර්තා කරන්නේ ඉන් අනතුරුවය. එතෙක් කලක් තමන් සේවය කළ පියරපන්දෝව විදුහලට සමුදෙන දයානන්ද රත්නායක තම අලූත් සේවා ස්ථානයට වාර්තා කළ පළමු දින ඔහුට දකින්නට ලැබී ඇත්තේ ගරා වැටීමට ආසන්නව වල් බිහිවෙමින් පැවති එක්තරා විදුහලක්ය.

‘‘ඒ කාලේ වලස්බැද්ද විදුහලට යන්න හරිහමන් පාරක් තොටක් තිබුණෙ නෑ. ප‍්‍රධාන මාර්ගයේ ඉඳල පටු අඩිපාරක් ඔස්සේ තමයි වලස්බැද්දට හුඟදෙනෙක් ආවෙ ගියෙ. එහෙම යනවා නම් කිලෝමීටර් 13 ක් පමණ පාගමනින් යන්න ඕන. මම ඒ ප‍්‍රදේශය ගැන ටිකක් විපරම් කරල බලද්දි දැනගන්නට ලැබුණා වෙනත් කෙටි පාරක් තියෙනව ඒ පාරේ ගියොත් කිලෝමීටර් තුනක් වගේ දුරක් පාගමනින් ගිහින් වලස්බැද්දට ළඟා වෙන්න පුළුවන් කියල. ඒක විශාල කඳු පල්ලම් සහිත දුෂ්කර ගමනක්. මම තෝරාගන්නේ ඒ ගමන් මාර්ගය. එදා මම මුල්වරට වලස්බැද්ද විදුහලට යද්දි අතර මගක නාඳුනන පුද්ගලයෙක් දෙන්නෙක් මුණගැහෙනව. ඒ අයගෙන් විදුහල පිළිබඳ විස්තර විමසුවට ඒ එක්කෙනෙක්වත් හරි උත්තරයක් දුන්නෙ නෑ. එක්කෙනෙක් කිව්වා ‘‘ඒ ඉස්කෝලේ දැන් වහලා දාලනේ මහත්තයා” කියලා. අනිත් පුද්ගලයා එහෙමවත් උත්තරයක් දුන්නෙ නෑ…තරහින් වගේ මගේ දිහා බලාගෙන ඉඳලා යන්න ගියා. එහෙම තවත් දුරක් ගමන් කළාට පස්සෙ මම දැක්කා කුඩා ළමුන් කීපදෙනෙක් එලිමහනක සෙල්ලම් කර කර ඉන්න දර්ශනයක්. ඒ දරුවන්ගෙන් විමසුවට පස්සේ ඒ අය කිව්වා ‘‘සර්. ඒක තමයි අපේ ඉස්කෝලේ එන්න අපි පෙන්වන්නම්” කියල. එහෙම තමයි මම මුල්වරට වලස්බැද්ද විදුහලට ළඟා වන්නේ..”

අසීරුවෙන් තරණය කළ යුතු කන්දක් මෙන්ම එම කන්ද තරමටත් වඩා උස අභියෝග රැසක්ද සමග වලස්බැද්ද ට ළඟා වන අලූත් විදුහල්පතිවරයාට දකින්නට ලැබෙන්නේ ඒ වන විට ද වසා දමන ලද විදුහලක් සහ උඩුකය නිරාවරණය වූ කුඩා දරුවන් කීප දෙනකු පමණය. ඊට අමතරව එම විදුහලේ ගරා වැටෙමින් පවතින ආකාරය දකින විදුහල්පතිවරයාගේ සිතට එකවර ඇතුළු වන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබඳ උපන් නොපහන් සිතුවිලි සමුදායක්ය.

‘‘එදා මම තීරණය කළා මේ විදුහල කොහොමහරි හොඳම මට්ටමකට දියුණු කරන්න ඕන කියල. 1997 වර්ෂයේ මම වැඩ බාර ගන්නකොට ඉස්කෝලෙටම හිටියේ ළමයි 14 දෙනයි. ස්වෙච්ඡා ගුරුවරුන් එක්ක ගුරුවරු 13 දෙනෙක් හිටිය. නමුත් ඒ අය කාලෙකින් රාජකාරියට වාර්තා කරලා තිබුණේ නෑ. සේවයට වාර්තා කළ බව සඳහන් කිසිම ලිපි ලේඛනයක් සොයා ගන්න තිබුණෙත් නැහැ. ඒ සියල්ලම ගබඩා කාමරයකට දාලා අගුලූ දාල තිබුණේ..”

මම මුලින්ම කළේ ගුරුමණ්ඩලය කැඳවලා ඒ අයත් එක්ක කතාබහ කරන එක. එතනදි මම දැඩිව අවධාරණය කර සිටියා අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් වැටුප් ලබනවා නම් රාජකාරිය හරියට කරන්න එහෙම බැරිනම් වෙනත් ඉස්කෝලයක් සඳහා ස්ථානමාරු අරගෙන යන්න කියල කිව්වට පස්සේ ටික දවසක් යනකොට ගුරුවරු නව දෙනෙක් ස්ථානමාරු ලබාගෙන වෙනත් විදුහල්වල රාජකාරිය සඳහා පිටත්වෙලා ගියා. වලස්බැද්ද විදුහලට ඉතුරු වුණේ මමත් තව ගුරුවරු තුන්දෙනෙකුත් පමණයි. ඒ අය මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමැත්ත පළ කළා ..”

කැලෑ ගමක් මැද ලංකාවේ හොඳම පාසල හැදුණු හැටි

එලෙස වලස්බැද්ද විදුහල කේන්ද්‍රකොට ගනිමින් අලූත් පරිච්ෙඡ්දයක් ආරම්භ කරන රත්නායක විදුහල්පතිතුමා කලක් තිස්සේ තම ශ‍්‍රමය හා ධනය විදුහල වෙනුවෙන් වැය කරන අතර ඒ සඳහා දිවා ? නොබලමින් අනේක දුෂ්කර ක‍්‍රියාවන්හි යෙදෙන්නේය. ගරා වැටෙමින් පැවති විදුහල් ගොඩනැගිල්ල මෙන්ම වල්බිහිව විනාශ වෙමින් පැවති වැසිකිළි පද්ධතිය මුළුමනින්ම අලූත්වැඩියා කරනු ලබන්නේ විදුහල්පති රත්නායක මහතා විසින්ය. එම පිළිසකර කිරීම්වලින් අනතුරුව ඉගෙනුම් ක‍්‍රියාවලිය ආරම්භ කරන විදුහල්පතිවරයා ප‍්‍රදේශයේ සෑම නිවසක් වෙතම ගමන් කරමින් අධ්‍යාපනයේ පවතින වටිනාකමක් දෙමාපියන් වෙත පහදා දෙන්නේය. එපමණක් නොව අධ්‍යාපනය ලබන වයසේ දරුවන් පාසල වෙත යොමු කරන ලෙස ඉල්ලීමක්ද සිදු කරන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිසුන් පනස් දෙනකුගෙන් පමණ සමන්විතව ඉගෙනුම් ක‍්‍රියාවලිය ආරම්භ කොට ඇත. වසා දැමීමට නියමිතව පැවති විදුහලක් අලූත් විදුහල්පතිවරයාගේ මැදිහත්වීම මත නැවත ජීවය ලබන්නේ ඒ ආකාරයෙන්ය. වසර කිහිපයක් තුළ ක‍්‍රියාත්මක ව්‍යාපෘති 92 මගින් වලස්බැද්ද විදුහල ඉහළ තලයක් දක්වා ඔසවා තබන රත්නායක විදුහල්පතිවරයා එහිදී විදුහලේ දැක්ම බවට පත් කොට ගෙන ඇත්තේ ‘‘සම්පත් නැතිකමත් සම්පතක්” යන ආදර්ශ පාඨය ය.

විදුහලේ අභිවෘද්ධිය පිණිස විදුහල්පතිවරයා විසින් කරන ලද සුවිශේෂී නිර්මාණ අතර විදුහලට අඩි සියයක් පමණ පහළින් පිහිටි ස්ථානයක සිට ඉපැරණි සීගිරි තාක්ෂණය අනුගමනය කරමින් නළ මාර්ග ඔස්සේ ජලය ලබා ගැනීම, විදුහලට අවශ්‍ය විදුලිය සුවිශේෂී සූර්ය කෝෂ මගින් එහිම නිෂ්පාදනය කිරීම, පැය 24 පුරා ජලයෙන් ක‍්‍රියාත්මක දැවැන්ත බිත්ති ඔරලෝසුවක් නිර්මාණය කිරීම, වායු සමීකරණ යන්ත‍්‍රයකින් තොරව විදුහලේ එක් ශාලාවක් වායු සමීකරණය කිරීම ප‍්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය. ඊට අමතරව ඉහත සඳහන් ව්‍යාපෘතීන් 92 අතරට තවත් සුවිශේෂී ඉදිකිරීම් සහ නිමැවුම් බොහෝ ප‍්‍රමාණයක් ඇතුළත්ය.

‘‘කාර්මික තාක්ෂණය ගැන මට යම් අවබෝධයක් තිබුණා. ඒ දැනුම පාවිච්චි කරල විදුහලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරන්න මට පුළුවන් කම ලැබෙනව. යම් යම් තැන්වල ඉවත දමන ද්‍රව්‍ය නැවත ප‍්‍රයෝජනයට ගනිමින් තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ කළේ. එහෙම බැරි අවස්ථාවක යමක් මිලදී ගන්න ඕන වුණානම් ඒ සඳහා මම මගේ පෞද්ගලික මුදල් වියදම් කළා. දුප්පත් දෙමව්පියන් මත ඒ බර පටවන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ. ඒ වගේම අධ්‍යාපන බලධාරීන්, නිලධාරීන් පස්සේ ගිහින් ඒ අයගේ සහයෝගය ලබා ගන්න මට අවශ්‍ය වුණේ නෑ.. මොකද ඒ අය නිතරම බැලූවේ වලස්බැද්ද විදුහල වසා දමන්න මිසක් විදුහල පවත්වාගෙන යන්න නොවෙයි කියන කාරණය ඒ වෙද්දි මට හොඳින් අවබෝධ වෙලා තිබුණා. නමුත් මට නිතරම අවශ්‍ය වුණේ මනුෂ්‍යයෙක් ලෙස තවත් මනුෂ්‍යයෙකුට හෝ මිනිස් ප‍්‍රජාවකට සේවය කිරීම පමණයි. විශේෂයෙන්ම වලස්බැද්ද කියන ගම ගත්තොත් එය ඉතාමත් දුෂ්කර පිහිටීමක්. ඒ වගේම තමයි ඒ ගමේ මිනිස්සු දුප්පතුන් ලෙස ඉපදිලා දුප්පතුන් ලෙසම මිය යන්න නියමිත වෙලා හිටිය පිරිසක්. එහෙම පිරිසකට යමක් කළ හැකි නම් ඒක ලොකු කුසලකර්මයක් විදිහට හිතල තමයි මම හැම දෙයක්ම කරන්න ගත්තෙ…..”

රත්නායක විදුහල්පතිතුමා තුළ පැවැති එම සාදු සිතිවිලිවල මල් පල ගනු ලබන්නේ වසර කීපයක ඉගැන්වීම් ක‍්‍රියාවලියකින් අනතුරුවය. එම ප‍්‍රබෝධය පිළිබඳව මතකය රත්නායක විදුහල්පතිතුමා අද පවා සිහිපත් කරන්නේ සියුම් අභිමානයෙන් යුක්තවය.

‘‘වසර කීපයක් ගත වෙද්දි වසා දමන්න ඕන කියල අධ්‍යාපන බලධාරීන් තීරණය කරපු විදුහලක් අධ්‍යාපනය පැත්තෙන් ඉහළ සමත්කම් දක්වන්න ගත්ත. පාසල ඇතුළේ සිද්ධවෙන දියුණුව දැකපු හැම කෙනෙක් වගේම අපිට උදව් කළා. පිරිසක් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න ඉදිරිපත් වුණා. තවත් පිරිසක් තම තමන්ට පුළුවන් ආකාරයෙන් උදව් කරන්න ඉදිරිපත් වුණා. විදුහලට අවශ්‍ය සංගීත භාණ්ඩ අපි විසින් නිපදවා ගත්තා. කවදාවත් සංගීතයකට සවන් නොදුන් දූ දරුවෝ ගීත ගයන්න ගත්තා. සංගීත භාණ්ඩ වාදනය කරන්න පුරුදු වුණා. ඒ විතරක් නෙමෙයි පසුකාලෙක ක‍්‍රීඩාව පැත්තෙන් සමස්ත ලංකා දස්කම් දක්වන්න හැකියාව ලැබුණ අති දක්ෂ ක‍්‍රීඩකයෝ වලස් බැදදෙන් පල්ලම් බැහැල මුළු රටටම පේන්න තමන්ගෙ දක්ෂතාවන් දැක්වුව. ඒ වගේ තත්ත්වයට ළඟා වෙන්න පෙර සිද්ධ වූ තවත් වැදගත් දෙයක් හරි වෙලාවෙ මතක් කරන්න ඕනේ. ඒ තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපන හැකියාව”

‘‘වලස්බැද්ද ඉතිහාසයේ මුල්වරට දරුවන් 18 දෙනකු 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මට්ටමට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා. නමුත් වලස්බැද්ද විදුහලේ ඒ වන විට පන්ති තිබුණේ 9 ශ්‍රේණිය ට පමණයි. 10 වන ශ්‍රේණියට සමත් වන සිසුන් පාසල් විචාරවත් කිරීමේ වැඩසටහන යටතේ ආසන්නයේ ඇති ජාතික පාසලකට යැවිය යුතු බව ඒ වෙද්දි නිර්දේශ කරලා තිබුණා. ඒක අමාත්‍යාංශ මට්ටමින් ආව නිර්දේශයක්. ඒ අනුව සාමාන්‍ය පෙළ ලියන සුදුසුකම් ලැබූ දරුවන් 18 දෙනාව ආසන්නේ පිහිටි ජාතික පාසලට යැව්වත් ඒ විදුහලේ විදුහල්පතිවරයා අපේ දරුවන් බාර ගන්න අකැමැත්ත පළකළා…ඒ ප‍්‍රශ්නයත් එක්ක පළාතේ අධ්‍යාපන බලධාරීන් එක්ක මතවාදීව ගැටෙන්න පවා මට සිද්ධ වුණා. ඒ අයගෙන් උත්තරයක් නැති පාර වලස්බැද්ද විදුහලේ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කරන්න පහසුකම් එපා, අවසරය පමණක් දෙන්න කියල මම ඒ අයගෙන් ඉල්ලා සිටිය. ඒ සඳහාත් මුලින්ම බලධාරීන් අකැමැත්ත ප‍්‍රකාශ කළා. නමුත් ටික දවසක් යද්දි ඒ අනුමැතිය අපි වෙත ලබා දුන්නා..”

ඒ අනුව දින දෙකක් ඇතුළත ගොම මැටි අතුරන ලද බිමක් සහිත පංති කාමරයක් නිර්මාණය කරන විදුහල්පතිතුමා ඇතුළු දෙමාපියන් වලස්බැද්ද දරුවන්ගේ අනාගතය දිප්තිමත් කිරීම පිණිස වන බරසාර ආරම්භය ලබා දී ඇත.

කැලෑ ගමක් මැද ලංකාවේ හොඳම පාසල හැදුණු හැටි

‘‘සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කළාට පස්සේ ‘‘නොවසන පාසල” කියලා අලූත් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ හරහා වැඩි වේලාවක් දරුවන්ව පාසල තුළ රඳවාගෙන අධ්‍යාපනය පිණිස යොමු කළා. ඒ සමගම අධ්‍යාපන විෂය නිර්දේශයෙ නැති එහෙත් සෑම පාසල් දරුවෙකුටම අවශ්‍ය ‘‘ජීවිත විද්‍යාව” කියන නම යටතේ අමතර ක‍්‍රියාකාරකම් ආගමික වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් සෑම දරුවෙක්වම ඒ සඳහා යොමු කරන්න මමත් ගුරු මණ්ඩලයත් කටයුතු කළා. මීට අමතරව දරුවන් තුළ ඉතුරු කිරීමේ පුරුද්ද ඇති කරන්න ‘‘ඉංග‍්‍රීසි පොළ” කියල විකුණුම් සහ මිලදී ගැනීම් ක‍්‍රියාවලියක් ආරම්භ කළා. එදාට සෑම දරුවෙකුම ඉංග‍්‍රීසි භාෂාවෙන් තමයි ඒ කටයුතු කරන්න ඕන. ඒ හරහා ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් දරුවන් තුළ ඇති කළා. ඒ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිය සියලූම දරුවන් විභාගයෙන් සමත් වීම ඓතිහාසික සිදුවීමක් බවට පත්වුණා. මුල්වරට වලස්බැද්ද විදුහලේන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය සියලූම දෙනා ඉන් සමත් වීම මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වූ දවස විදිහටත් හඳුන්වන්න පුළුවන්. ගමේ මිනිස්සු කිරිබත් කෑව. කිසිම අමතර පන්තියකට නොගිය දරුවන් පිරිසක් ඒ වගේ සමත්කමක් දැක්වූවා කියන්නේ විශාල ජයග‍්‍රහණයක්. විභාගයට යන්න පෙර මම ඒ දරුවන්ට එක පොරොන්දුවක් වුණා. ඒ තමයි විභාගය සමත්වන අයව නුවර දළදා මාලිගාව වන්දවන්න එක්ක යනව කියන එක. ඒ පොරොන්දුවත් ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න මට පුළුවන්කම ලැබුණා..”

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වලස්බැද්ද දරුවන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් එම දරුවන්ට අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාගැනීමේ පහසුකම්ද වලස්බැද්දට ලබා දීමට තීරණය කරන පළාත් අධ්‍යාපන බලධාරීන් ඒ සඳහා ගුරුවරුන් තිදෙනෙක්ද වලස්බැද්ද විදුහලට අනුයුක්ත කොට එවන අතර වසර දෙක අවසානයේ අපොස උසස් පෙළ විභාගය තුළින්ද ඉහළ දක්ෂතා දැක්වීමට වලස්බැද්ද විදුහල සමත් වන්නේය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ 10වන ස්ථානය ලබාගනිමින් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා ගැනීමට එවර වලස්බැද්ද විදුහලේ ශිෂ්‍යාවක් සමත් වී ඇත.

එය එතෙකින් නතර වන්නේ නැත. මේ දක්වා තවමත් විෂය මෙන්ම විෂය බාහිර ක‍්‍රියාකාරකම් ආදියෙහි ඉහළ සමත්කම් දක්වන බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් අතරින් ඈත දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි වලස්බැද්ද විදුහලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එපමණක් නොව එය ලංකාවේ සාර්ථකම පාසල ලෙස ඉහළින්ම තේරී පත් වන්නේ එබැවිනි. රත්නායක විදුහල්පතිතුමා තවත් බොහෝ කරුණු කාරණා කතා කළ යුතුව ඇත. ඒ සඳහා කාලය හරස් වෙමින් පැවතුණි. ඔහු විසින් සඳහන් කර සිටි සියලූ දේ සනාථ කිරීම පිණිස අවශ්‍ය ලියකියවිලි, ඡායාරූප ආදිය ඔහු විසින් තවදුරටත් සුරකිනු ලබන්නේ අනගි මිණි මුතුවලට වඩා වටිනා වස්තූන් ලෙස සලකමිනි. මෙරට පාසල් පද්ධතියට පරමාදර්ශයක් බඳු මෙම අධිෂ්ඨානශීලී මිනිසා විශ‍්‍රාම ජීවිතයෙන් අනතුරුව තවදුරටත් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට තම දායකත්වය ලබා දීම පිණිස මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඈත දුෂ්කර කැලෑවක් අකුරු අඩු ඉස්කෝලයක් මෙරට හොඳම පාසල බවට පත් කළ මෙම නිර්මාණශීලී මිනිසාගෙන් මෙ රට අධ්‍යාපනයට ගත හැකි ආදර්ශයන් බොහෝය. කනගාටුවට කරුණ වන්නේ මෙවැනි පාසල් පිළිබඳවත් මෙවැනි විදුහල්පතිවරුන් පිළිබඳවත් මෙරට අධ්‍යාපන බලධාරීන් තුළ තවමත් හරි හැටි අවබෝධයක් නොතිබීමය.

රුවන් ජයවර්ධන


advertistmentadvertistment