කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ ‘ජබොස් ලේන්’ යමු

3401

කොරෝනාවලට ලෝකයම බෙහෙත් බිව්වේ ලංකාවෙන්

රටේ වැවෙන ඖෂධවලින් තාමත් වැඩක් ගන්න අපිට බැරි වුණා….

රන් භාණ්ඩ අලෙවිය සහ නිෂ්පාදනය පිණිස ප‍්‍රකට පිටකොටුව හෙට්ටිවීදිය ආසන්නයේ පිහිටා ඇති ගබොස් පටුමග රට පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ දේශීය ඖෂධ අලෙවිය පිණිසය. ලක් පොළොව මත රෝපණය වන ශාකිය ඖෂධ වර්ග, ඇට වර්ග ඇතුළු දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඕනෑම අමුද්‍රව්‍යයක් තොග සහ සිල්ලරට මිලදී ගැනීම පිණිස බොහෝ දෙනෙක් යන එන ස්ථානයක් ලෙසත් ඕනෑම තෙල් බෙහෙත්, පානීය ඖෂධ වර්ග හිඟයකින් තොරව මිලදීගත හැකි ස්ථානයක් ලෙසත් ගබොස් පටුමග හඳුන්වා දිය හැක. එබැවින් ගබොස් පටුමගත් සිංහල බෙහෙත් බඩු වෙළෙඳාමත් අතර සම්බන්ධය මේ වන විට සියවසකට ආසන්න දීර්ඝ ඉතිහාසයක් සහිතය.

එහි වත්මන් තත්ත්වයේ සැබෑ මුහුණුවර පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීම අපගේ ගමනෙහි අරමුණ විය. මේ දිනවල බොහෝ දෙනෙක් නගන චෝදනාවක් බවට පත්ව ඇත්තේ වෙළෙඳපොළ තුළ දේශීය ඖෂධ වර්ග හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක මිල අධික ලෙස ඉහළ යෑමක් සිදුවී ඇති බවත්ය. කොරෝනා වසංගතය ඇතිවීමත් සමග දේශීය වෙදකම පිණිස බොහෝ දෙනකු නැඹුරු වීමත් ඒ හේතුවෙන් දේශීය ඖෂධ වර්ගවල මිල ගණන් ඉහළ යෑමක් සහ රට තුළ දේශීය ඖෂධ වර්ග හිඟයක් පවතීද? යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් රට හමුවේ තැබීම යුතුකමක් කොට සලකමින් ‘‘ගබොස් පටුමග”ට ගොස් ඒ පිළිබඳව සොයා බැලීම අපගේ ගමනෙහි තවත් අරමුණක් වූහ. එහි ගිය අපට දැකගත හැකි වූවේ සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘‘සිංහල බෙහෙත් බඩු කඩ” යනුවෙන් හඳුන්වනු ලබන ලොකු කුඩා වෙළෙඳසල් විශාල ප‍්‍රමාණයක් එම ප‍්‍රදේශයේ පිහිටා තිබෙන ආකාරයක්ය. බෙහෙවින් ජනාකීර්ණ පටු මගක් බැවින් අවට දකින්නට ලැබුණේ තරමක් කලබලකාරී ස්වරූපයක්ය. වෙළඳසැල් සියල්ලම පාරිභෝගික ජනතාවගෙන් පිරී ගොස්ය. වෙළෙඳසල් හිමියන් මෙන්ම සේවකයන් ද ලහිලහියේ ව්‍යාපාරික කටයුතුවල නිරතවන ආකාරය දැකගත හැකි විය. අවස්ථා කීපයකදී කෙටි කතාබහක් පිණිස වෙළෙඳසල් හිමියන් කිහිප දෙනකු සම්බන්ධ කර ගැනීමට අප විසින් දරන ලද උත්සාහය ව්‍යර්ථ වූහ. ඔවුන් සඳහන් කර සිටියේ වෙළෙඳාමේ යෙදී සිටින අතරතුර අප හා කතාබහ කිරීම පිණිස කාලවේලාවක් වෙන් කිරීම තම පාරිභෝගිකයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බවය. මේ අතර තම ව්‍යාපාරික කටයුතු මඳ වේලාවක් සේවක මණ්ඩලය වෙත පවරමින් අප හා කතාබහ කිරීම පිණිස එක් ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් විය. දේශීය ඖෂධ අලෙවි ව්‍යාපාර ව්‍යාපාරයක තෙවෙනි පරම්පරාව නියෝජනය කරන ඔහු නමින් චින්තක පුස්සේවල ය. වසර 36ක ව්‍යාපාරික අත්දැකීම් සහිත චින්තක පුස්සේවල අදහස් දක්වමින් දේශීය ඖෂධ ව්‍යාපාරයේ බොහෝ තොරතුරු අප හා සඳහන් කර සිටියේය. ගබොස් පටුමඟ අංක 40 මුල් කර ගනිමින් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ඔහු විසින් පළමුව වැඩි අවධානයක් යොමු කර සිටියේ කොරෝනා වසංගතය සමග දේශීය වෛද්‍ය ක‍්‍රමයේ සහ දේශීය ඖෂධ වෙළෙඳාමේ සිදු වූ යම් යම් වෙනස්කම් සම්බන්ධවය.

කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ 'ජබොස් ලේන්' යමු

‘‘…කොරෝනා වසංගතයක් එක්ක ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය එහෙමත් නැත්නම් සිංහල වෙදකම කියන එකට විශාල වටිනාකමක් ආවා. තවත් විදියකින් කිව්වොත් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ අලූත් පරිච්ෙඡ්දයක් ආරම්භ වුණා කියල කියන්නත් පුළුවන්. මොකද එතෙක් කලක් අපේ මිනිස්සු හිතාගෙන හිටිය ඕනෑම රෝගී තත්ත්වයක් එහෙමත් නැත්නම් වසංගතයක් හටගත්තොත් ඒවට උත්තර තියෙන්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයේ පමණයි කියල. නමුත් කොරෝනා වසංගතයත් එක්ක ඒ මතය මුළුමනින්ම වෙනස් මුහුණුවරක් ගත්ත. කොරෝනා වසංගතයේ පළවෙනි රැල්ල ඒ වගේම දෙවැනි රැල්ල එද්දි ලෝකයේ කිසිම රටක් ඒ සඳහා ප‍්‍රතිකාර හොයාගෙන තිබුණෙ නෑ. ලෝකය ගත්තොත් මිනිස්සු මහ පාරෙන් මැරිල වැටෙන තත්ත්වයක් දක්වා මේ වසංගතය දුර දිග ගියා. වසංගතය විසින් අපේ රටට බලපෑම් කරන්න ගත්තට පස්සේ කාගෙවත් පෙළඹවීමකින් තොරව අපේ මිනිස්සු ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු ඔය ආදී වශයෙන් තම්බලා බොන්න ගත්ත. මොකද අපේ අය අතර විශ්වාසයක් තිබුණා මේ වසංගතයෙන් මිදෙන්න නම් පස්පංගුව, දස පංගුව තම්බලා බොන්න ඕන කියල. එහෙම හිතලා ඒ ඖෂධවල තිබෙන වටිනාකම හඳුන ගත්තා. ඒ වගේම ඒකේ ප‍්‍රතිඵල අත් වින්දා. ඒ හරහා තමයි ආයුර්වේද ඖෂධවලට ලොකු ඉල්ලූමක් සහ වටිනාකමක් හිමි වෙන්න ගත්තේ….

කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ 'ජබොස් ලේන්' යමු

‘‘…ඔය අතරේ තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සුව ධරණී කියන ඖෂධය රටට හඳුන්වා දුන්නෙ. ඒක පිළියෙල කරගන්න අවශ්‍ය ඖෂධ වර්ග හතර මොනවද කියල ප‍්‍රසිද්ධ කළා. ඒත් එක්ක තමයි ඉගුරු, කොත්තමල්ලි, අරත්ත, තිප්පිලි කියන ඖෂධ වර්ග හතරට ලොකු ඉල්ලූමක් එන්න ගත්තේ. ඔය ඖෂධ වර්ග හතර අතරින් අරත්ත සහ තිප්පිලි ගේන්නේ පිටරටින්. එහෙම ගෙන්නුවත් ඒ ගෙන්වන ප‍්‍රමාණයත් මදි වුණා. මොකද ඒ තරම් ලොකු ඉල්ලූමක් ඒ වෙද්දි මේ ඖෂධ සඳහා පැවතුන. විශේෂයෙන් ජපානය, ප‍්‍රංශය, ඉතාලිය කියන රටවල් ඇතුළු ලෝකයේ තවත් රටවල් රැසකින් ලොකු ඉල්ලූමක් ආවා. අදත් ඒ තත්ත්වයෙ වෙනසක් නෑ. එන්නත්කරණයත් එක්ක කොරෝනා වසංගතයේ තරමක මර්දනයක් දකින්නට ලැබුණත්, මම ඉහත සඳහන් කළ ඖෂධ වර්ග හතර ඇතුළු අනිකුත් සියලූම දේශීය ඖෂධ වර්ග සඳහා හොඳ ඉල්ලූමක් මේ වන විට වෙළඳපොළ තුළ තිබෙනව. බටහිර වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි ඇතැම් දේවල් දේශීය වෛද්‍ය ක‍්‍රමය හරහා කරන්න පුළුවන් කියන මතය ජනතාව තුළ තහවුරු වීම ඒකට හේතුව වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්…..”

කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ 'ජබොස් ලේන්' යමු

එම පැහැදිලි කිරීම තුළ බොහෝ දේ සැඟවී ඇත. මෙතෙක් කලක් මුළුගැන්වී තිබූ දේශීය වෛද්‍ය ක‍්‍රමය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉස්මතු වූ ආකාරයක් ඒ පිළිබඳ මෙරට පමණක් නොව ජාත්‍යන්තර අවධානය ද යොමු වී ඇති ආකාරය පිළිබඳවත් චින්තක පුස්සේවල විසින් දීර්ඝ විස්තරයක් සිදු කරන ලදී. දේශීය ඖෂධ මිල ගණන සහ වෙළෙඳපොළ හිඟය පිළිබඳව අප විසින් කළ විමසීමකට පිළිතුරු දුන් චින්තක පුස්සේවල මහතා සඳහන් කර සිටියේ මේ වන විට වෙළඳපොළ තුළ තරමක් දුරට එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන බවය.

‘‘…..මෙහෙමයි අපේ රටේ වැවෙන දේශීය ඖෂධ පමණක් රටට ප‍්‍රමාණවත් නෑ. එහෙම තත්ත්වයක් තුළ ඖෂධ වර්ග රැසක් කලක පටන් පිටරටින් මෙහාට ගේනව. උදාහරණ වශයෙන් කිව්වොත් සැවැන්දරා, ඉරමුසු, අරත්ත, ඉඟුරු, සාරණ මුල්, තිප්පිලි, කලාඳුරු වැනි ඖෂධ ගත්තොත් ඒ දේවල් ගෙන්වන්නේ ඉන්දියාවෙන්. දැන් රටේ තියෙන ආර්ථිකයත් එක්ක පොඩි හිරවීමක් තිබෙනව. ඒක නැහැ කියන්න බැහැ. නමුත් මිල මිල ගණන් ඉහළ යෑම සම්බන්ධව ඩොලර් අර්බුදය පමණක් බලපෑවා කියල කියන්න බැහැ. මොකද අපේ රටේ මේ හැම දෙයක්ම වැවෙනව. නමුත් හැමදාම වැවෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් බිං කොහොඹ කියන්නේ අපේ රටේ වැවෙන වටිනාම ඖෂධීය ශාකයක්. අද වෙළෙඳපොළ තුළ බිං කොහොඹ කිලෝ එකක් රුපියල් විසිපන්දාහක් පමණ වෙනව. ඒක දුර්ලභ ඖෂධයක් ඒ වගේම සිංහල බෙහෙත් වට්ටෝරුවේ තිබෙන හොඳම antibiotic ශාකයක්. ඒ හේතුවෙන් තමයි ඒකෙ මිල ඉහළ ගිහින් තියෙන්නේ. බිංකොහොබ රටේ හැමතැනම හැදෙන්නෙ නෑ. මොනරාගල පැත්තෙ මහා වනාන්තරවල තමයි මේ ශාකය හැදෙන්නේ. දවස් හත අටක් රැයක් දහවලක් නැතුව මහා වනාන්තර මැද්දේ දුක් විඳලා තමයි දුප්පත් මිනිස්සු මේක වෙළඳපොළට අරන් එන්නෙ. ඒ හේතුවෙන් මිල ඉහළ යෑමක් සිද්ධ වෙනවා. අනිකුත් ඖෂධ වර්ග ගත්තත් ඔය තත්ත්වයම දකින්න පුළුවන් අනුරාධපුර පොලොන්නරුව. නවගත්තේගම වැනි පළාත් ගත්තොත් ඒ ඒ ප‍්‍රදේශයට ආවේණික ඖෂධ වර්ග තිබෙනව. අවුරුද්දේ එක්තරා කාලයකදී විතරයි මේ ශාක එහෙමත් නැත්තම් මල්, ගෙඩි හට ගන්නේ. ඒ ඒ කාලයට අවශ්‍ය ප‍්‍රමාණය මිලදීගෙන ගබඩා කර නොගත්තොත් ඔය කියන මිල ඉහළ යෑම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව. ව්‍යාපාරිකයන් වශයෙන් අපි දැනගන්න ඕන වෙළඳපොල තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට අපේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න. පාරිභෝගිකයට වගේම සැපයුම්කරුවන්ටත් සාධාරණය ඉෂ්ට වෙන්නේ එහෙම තත්ත්වයක් තුළ පමණයි…”

අනතුරුව අප හා කතාබහ පිණිස එක් වූයේ තවත් ප‍්‍රකට ආයුර්වේද ඖෂධ ව්‍යාපාරයක හිමිකරුවෙකු වන ධම්මික වැලිවිටිගොඩ මහතාය. ඔහු සඳහන් කර සිටින්නේ දේශීය ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා ප‍්‍රමාණවත් අමුද්‍රව්‍ය රට තුළ පවතින බවත් නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් එම ‘‘සාර සම්පත” අපතේ යෑමට ලක්ව ඇති බවත්ය.

‘‘……දේශීය ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය සියලූම ශාකීය ඖෂධ වර්ග අපේ රටේ වවන්න පුළුවන්. දැනටත් වැවෙනව. නමුත් ඒ දේවල් දිගින් දිගටම පවත්වාගෙන යන්න නිසි වැඩපිළිවෙළක් රට තුළ නෑ… උදාහරණ කීපයක් ගත්තොත් අපේ රටේ වැවෙන කොහොඹ ගහේ ඇට ටිකෙන් පුළුවන් අපිට අවශ්‍ය කොහොඹ තෙල් ටික ලබාගන්න. නමුත් අපි කරන්නේ මොකද වැඩි මිලක් දීලා ඒවා පිටරටින් ගෙන්වන එක. ඉන්දියාව ගත්තොත් කොහොඹ ඇට ටික අරන් තෙල් හිඳලා රොඞ්ඩ පුන්නක්කු වලට ගන්නව. අපේ එහෙම වැඩපිළිවෙළක් නෑ… ඒ වගේ තමයි අපේ රටේ මී ගස් යට වැටිලා යන මී ඇට ටික ගත්තොත් ඒකෙන් අපිට අවශ්‍ය තෙල් ටික හින්ද ගන්න පුළුවන්. එරඬු ගත්තත් එහෙමයි.. දැන් තියන ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැත්නම් වගාවක් විදියට එෙඬ්රු වවන්න පුළුවන් ..නමුත් ඒ එක දෙයක්වත් අපේ රටේ සිද්ද වෙන්නෙ නෑ.සෙවනගල, තණමල්විල පැත්තේ දේශගුණික තත්ත්වය එඬරු වගාව ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ඒ ප‍්‍රදේශවල ජනතාවට පහසුකම් සපයනවා නම් මේ දේවල් අපේ රටේ කරන්න පුළුවන් නමුත් නිසි වැඩපිළිවෙළක් නැහැ. මේ වන විට දේශීය වෛද්‍ය ක‍්‍රමයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙනවා. මේ හරහා ලොකු විදේශ විනිමයක් අපේ රටට ගෙන්ව ගන්න පුළුවන්. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය මෙතෙක් කල් නිසියාකාරව යොමු වුණේ නැහැ. ඒව ක‍්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා හොඳම වෙලාව තමයි මේක. ඒ නිසා ව්‍යාපාරිකයෙක් වශයෙන් නෙමෙයි මේ රටට ආදරේ කරන මනුෂ්‍යයෙක් වශයෙන් ඉල්ලා සිටිනවා ‘‘ඔසු උයනක්” කියලා ලෝක ප‍්‍රසිද්ධ අපේ රටේ වැවෙන දේශීය ඖෂධ ශාක, මල් දලූ, ගෙඩි ආදියෙන් හරි ප‍්‍රයෝජනයක් ගන්න දැන්වත් බලධාරීන්ගේ අවධානය යොමු කරන්න කියලා….”

කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ 'ජබොස් ලේන්' යමු

වෙළෙඳපොළ තුළ දේශීය ආයුර්වේද ඖෂධ හිඟයක් පවතින බවත් මිල ඉහළ යෑමක් සිදුවී ඇති බවත් යන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රකට ව්‍යාපාරිකයන් දක්වා සිටින්නේ ඉහත සඳහන් අදහස්ය. වෙළඳපොල තුළ යම් අර්බූදයක් වේ නම් එය ඩොලර් හිඟ වීම මතම පටවා නිදොස් වීමට කිසිවෙකුට පුළුවන්කමක් නැතිි බව ඔවුන්ගේ අදහස බවට පත්ව ඇත. රට සතු සාර සම්පත් නිසි පරිදි කළමනා නොකිරීම තුළ නිර්මාණය වී ඇති අර්බුද සමග ගත් කල දේශීය ආයුර්වේද ඖෂධ හිඟවීම සහ මිල ඉහළ යෑම ඉහත සඳහන් පොදු අර්බුදයේම කොටසක් බව ගබොස් පටුමගෙහි කළ සංචාරයෙන් පසු මැනවින් පසක් වූ කරුණක් විය. එබැවින් කළ යුතුව ඇත්තේ යුග යුග ගණනාවක් තිස්සේ පැවත එන අසිරිමත් වෛද්‍ය ශාස්ත‍්‍රයක් වන හෙල වෙදකම තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිස කළ හැකි යහපත් මැදිහත් වීමක් වේ නම් ඒ සඳහා අදාළ බලධාරීන් තුළ එළඹි සිහියෙන් යුත් නුවණ වැඩි වැඩියෙන් පහළ වීමය.

කැලේ තියෙන සිංහල බෙහෙත් සොයන්න කොළඹ 'ජබොස් ලේන්' යමු

රුවන් ජයවර්ධන
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment