කැලේ පීරන්නේ මොකටද…..? මෙන්න වගාකරන තුඹ කරවිල

684

* පරාගනය වගාකරු විසින් කෘතිමව කළ යුතුයි
 
 * රැට ඇවිත් පරාග කන ගුල්ලෙක් නිසා අස්වැන්න අඩුවෙනවා
 
 *වගාවේ ගැහැනු වැල් 10 ට එක පිරිමි වැලක් ඇති

කැලේ පීරන්නේ මොකටද.....? මෙන්න වගාකරන තුඹ කරවිල

කර්කශ පාරිසරික තත්ත්වයන් විඳ දරාගෙන කිසිවෙකුගේ හවුහරණක් නැතිව තම ජීවිතය පවත්වා ගන්නා මුරුංගා ගසට පළාතේ ගම්වාසීන් සෙනෙහස පාන්නේ එය කරලින් බරවී තිබෙනවා දකිද්දීය. එම සෙනෙහස දලූලමින් වැඩෙන්නේ පලදාව නෙළාගන්නා තුරු පමණි. මිතුරෙකු සොයා යන්නාක් සේ වියළි කලාපීය ගැමියා වන ලැහැබට රිංගන තවත් අවස්ථාවක් තිබේ. ඒ තුඹ කරවිල කඩන්නටය. තම වාසියට ගොඩනැගෙන එම මිතුදම පවතින්නේද අස්වැන්න ලබාගන්නා තුරු පමණි. මාස කීපයක් පසට යටවී නිදිගැන්වී සිටි තුඹ කරවිල අලය, ඔක්තෝබරයට වැටෙන මහ වැස්සත් සමග අවදි වේ. අහල පහල ඇති ආධාරක පඳුරක් සොයාගන්නා පිටතට ඇදෙන රිකිල්ල, මාස දෙක තුනක් ඇතුළත ඝන වැලක් බවට පත්වී ඵල දරයි. අවට සිටින ගැමියන්ගේ අතමිට සරු කරන තුඹ කරවිල නගරයට එනවිට රුපියල් සිය ගණන්වලට අලෙවිවෙන වස විස නැති ගමේ කෑමකි. ඖෂධීය ගුණය, ප‍්‍රනීත රසය ඇතුළු ගතිගුණ ගණනාවක් එය හා පටබැඳී සමාජගත වී තිබේ. දැනට දශක කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වගාව වැඩිදියුණු කිරීමට අතගසා ගොවීන් සඳහා මාදිලි කීපයක් නිදහස් කෙරුවත් මේ වනවිට වඩාත් ජනප‍්‍රිය වර්ගය බවට පත්වී ඇත්තේ 2015 වසරේදී අඟුණකොළපැලැස්සේ තෙල් හා මාශ බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් නිර්දේශ කරන ලද ‘‘චන්දු” නම් දෙමුහුම් ප‍්‍රභේදයයි. එය බිහිකිරීමට කටයුතු කළ එම පර්යේෂණායතනයේ ශාක අභිජනනය පිළිබඳ ප‍්‍රධාන විද්‍යාඥ ඞී. වීරසේකර මහතා තුඹ කරවිල වගාව පිළිබඳව පවසන්නේ මෙවන් අදහසකි.

කැලේ පීරන්නේ මොකටද.....? මෙන්න වගාකරන තුඹ කරවිල

‘‘වියළි කලාපීය බෝගයක් විධියට හඳුනාගෙන තිබුණට දැන් අපිට තේරෙනවා මෙය අතරමැදි, තෙත් කලාප වලත් හොඳට වැවෙනවා. මම යෝජනා කරනවා පර්චස් 20 ක විතර භූමියක් වෙන්කරගෙන පැළ 100 ක් හදාගන්න කියලා. නඩත්තුව කරගන්න පුළුවන් පවුලේ ශ‍්‍රමයෙන්ම. ආදායම මාසෙකට රුපියල් ලක්ෂයක් දක්වා විය හැකියි”

 බැලූ බැල්මටම ඉතා ආකර්ෂණීය කතා පුවතකි. තෝරාගන්නා භූමිය හොඳින් ජලය බැසයන හිරුඑළිය මනාව වැටෙන එකක් විය යුතුවීම මූලික අවශ්‍යතාවක් වේ. අඩි එකහමාරේ දිග පළල හා ගැඹුර ඇති වළවල් පේලියක් කපා වළකට කාබනික පොහොර කිලෝග‍්‍රෑම් 5-10 ක ප‍්‍රමාණයක්ද, දහයියා අඟුරු කිලෝග‍්‍රෑමයක්ද යෙදීම වගා ආරම්භයේ මූලික පියවරයන් වේ. තුඹ කරවිල ශාකයේ පිරිමි සහ ගැහැනු වශයෙන් වැල් වර්ග දෙකක් තිබේ. සිටුවිය යුත්තේ ගැහැනු පැළ 10 කට පිරිමි පැළ එකක අනුපාතයකටය. තවද පේලි වශයෙන් පැළ සිටුවන විට කළ යුත්තේ පිරිමි ගැහැනු පැළ දෙවර්ගය වෙන වෙනම පේලි තුළට අන්තර්ගත වන පරිදි වගා ස්ථාපනයයි. පේලි දෙකක් අතර පරතරය මීටර් 1.2 ක් ද පේලිය තුළ පැළ අතර පරතරය මීටර් 2 ක්ද වනසේ තැබීම සෑහේ.

කැලේ පීරන්නේ මොකටද.....? මෙන්න වගාකරන තුඹ කරවිල


‘‘වැල්වලට ඉහළට වැඩෙන්නට ලණු වැටක් වැල් පේලිය දිගට සවිකරන්න ඕනෑ. මේ සඳහා පොළොවෙන් ඉහළට අඩි හයක් පමණ උසට තිබෙන ලී කණු භාවිත කරන්නටත්, ලණු අතර පරතරය අඟල් 8 ඉක්මවන්නේ නැති පරිදි ලණු පේලි 7 ක් යෙදීමත් අවශ්‍යයි. කණුවල ඉහළින්ම ගැල්වනයිස් කම්බියක් ඇදලා ලණු වැට ශක්තිමත්ව සාදාගත යුතුයි.”

 එසේ පවසන වීරසේකර මහතා පෙන්වාදෙන්නේ පැළ සිටුවා සති හයකින් පමණ මල් හටගන්නා බවය. මල් පිපෙන්නේ රාත‍්‍රිය එළඹීමත් සමගය. එහෙත් ඒ වනවිට මල්පැණි එකතුකරනා අතරවාරයේ පරාගනය සිදුකරන මීමැස්සන් ආදීන් වගාවේ නැත. පසුදා පහන් වනතුරු විකසිතව පවතින පුෂ්ප හිමිදිරි හිරුඑළියත් සමග මැලවීමට පටන්ගන්නා නිසා එම තත්ත්වය යටතේද කෘමි සතුන් මල් වෙතට පැමිණෙන්නේ නැත. ඒ නිසා හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් පරාගනය කෘතිමව කළයුතු ක‍්‍රියාවක් වේ. එහෙත් එය ඉතා පහසුය. කළ යුත්තේ මල් පරවීමට පෙර හිමිදිරියේය (උදෑසන 9.00 ට පමණ පෙර). පිපුණු පිරිමි මලක් කඩාගෙන නටුව පෙදෙසින් අල්ලාගෙන මලේ විවෘත මුහුණත ගැහැනු මලක පිපුණු මුහුණත මත ස්පර්ශ කිරීම ප‍්‍රමාණවත් වේ. එක පිරිමි මලකින් මේ ආකාරයට ගැහැනු මල් 15 ක් පමණ පරාගනය කළ හැකිවේවි. නමුත් ඇතැම්විට ඔබට මෙහිදී තවත් ගැටලූවකට මුහුණදීමට සිදුවෙනු ඇත. මන්දයත් පරාගනය සඳහා, පිරිමි මල් එකතුකරන්නට උදෑසනින්ම වගාබිමට ගියත් තිබෙන පිරිමි මල්වල පරාග සැලකියයුතු තරමින් අඩුවී තිබෙනු දක්නට ලැබීමයි. එය සිදුවන්නේ රාත‍්‍රියට පරාග අනුභවය සඳහා මල් වෙත ළංවෙන කුඩා ගුල්ලෙක් නිසාය. එක මලක ඇතැම්විට ගුල්ලන් 10-12 පමණ දෙනා උදෑසන වෙත්දීත් පරාග අනුභවයේ යෙදී සිටිනවා දක්නට ලැබේවි. මේ නිසා අස්වැන්න 75% ක ප‍්‍රමාණයක් වුවද අඩුවෙනු ඇති බව ගණනය කර තිබේ. මෙයට විසඳුම වන්නේ සවස් කාලයේදී මල් පිපෙන්නට කලින් ඒවා එකතුකර පොලිතීන් බෑගයකට දමා ජලය ස්වල්පයක් ඉස, කට වසා තැබීමයි. උදෑසන වනවිට මල් සියල්ල විකසිතව තිබෙනු ඇත. ඒවා පරාග වලින් පිරී තිබේ.

 කෙසේ වෙතත් කෘතිම පරාගනයක් සිදු නොවෙන වන ලැහැබේදී තුඹ කරවිල පලදාව බිහිවන්නේ නම් පරාග අනුභවයට පැමිණෙන මේ ගුල්ලා නිසා අනියම් ආකාරයකට සිදුවෙන පර පරාගනය බවද අමතක නොකළ යුතුය. එය සොබාදහමේ අසිරිමත් සිදුවීමකි.

 ‘‘පරාගනයෙන් දින 12 කට පසුව පළමු අස්වැන්න ගන්න පුළුවන්. සතියකට දෙවරක් ගෙඩි කඩන්න ඕනෑ. වැඩිය මෝරන්න දෙන්න හොඳ නෑ. මේ අනුව වැලකින් සතියකට කිලෝග‍්‍රෑම් එකක් කැඩුවොත් වැල් සියයකින් කිලෝ 100 යි. කිලෝවක් රුපියල් 250 ගණනේ විකුණුවත් ආදායම රුපියල් 25000 යි. මාසෙකට ලක්ෂයයි. මාස හයක් දක්වා දිගටම අස්වැන්න ගන්න පුළුවන්”

 වීරසේකර මහතා එලෙස සඳහන් කෙරුවේ වගාවෙන් ලැබෙන මාසික ආදායම පිළිබඳවය. ‘චන්දු’ යනු හයිබි‍්‍රඞ් ප‍්‍රභේදයක් නිසා ඇට පැළකිරීමෙන් වගාව ප‍්‍රසාරණය කළ නොහැකිය. ප‍්‍රභේදයේ ස්ථාවරත්වය සඳහා බෝකිරීම කළයුත්තේ දඬු කැබලි වලිනි. පැළ අවශ්‍යතාව සපුරාගත යුත්තේ නම් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයෙන්ය. ප‍්‍රධාන අභිජනන විද්‍යාඥ ඞී. වීරසේකර මහතා ඇමතීමෙන් (0718082943) වැඩි විස්තර ලබාගත හැකිවෙනු ඇත.

 * සනත් එම්. බණ්ඩාර
[email protected]

කැලේ පීරන්නේ මොකටද.....? මෙන්න වගාකරන තුඹ කරවිල

advertistmentadvertistment
advertistmentadvertistment