කොරියාවේ විශිෂ්ටතම හා ප්‍රමුඛතම කවියා ලෙස ගැනෙන “කිම් සෝවොල් (Kim Sowol)” කවියාගේ උපන් දිනය යෙදෙන සැප්තැම්බර් 07 වැනි දා “සෝවොල් කවි දිනය” ලෙස දකුණු කොරියාවේ නම් කෙරී තිබේ. මෙදිනට “සෝවොල් කවි ත්‍යාගය” නමින් සාහිත්‍ය ත්‍යාගයක් ද පිරිනැමේ. ඒ මෙම විශිෂ්ට කවියාට උපහාර පිණිස යි. 1902 සැප්තැම්බර් 07 වැනි දින “කුසොං” (වර්තමාන උතුරු කොරියාවට අයත්) නගරයේ දී උපන් කිම් සෝවොල් 1934 දෙසැම්බර් 24 වැනි දින “ක්වාක්සන්” නගරයේ දී මිය ගියේ සියදිවි නසාගැනීමෙනි. ඔහු අවුරුදු 32ක් වූ සිය ජීවිත කාලය තුළ එක ම කවි පොතක් පළ කළේ ය. ඒ “ජින්දල්ලේකොත් (අසෙලියා මල්/Azaleas)” නමින් 1925 දී පළ කළ කෘතිය යි. ඔහු ලියූ එක ම කෘතිය වුව ද එය ඔහුට අමරණීයත්වය ගෙන ආයේ ය. අද මේ කෘතිය ලොව භාෂා රැසකට පරිවර්තනය වී ඇති විශිෂ්ට කාව්‍ය සංග්‍රහයක් ලෙස සම්භාවනා ලබයි. මෙය අද දකුණු කොරියාවේ සංස්කෘතික ජාතික උරුමයක් ලෙස නම් කොට තිබේ. කොරියානු ජන ගායනාවල රසය උකහාගෙන ඇති කවි ඇතුළත් මෙම නිර්මාණ එකතුව වඩාත් ජනප්‍රිය වී ඇත්තේ එහි ජන ජීවිතයේ රිද්මය කැටි ව ඇති බැවිනි. මෙහි ඇති කවි බොහොමයක් ගීත ලෙස ප්‍රතිනිර්මාණය වී ඇත. ඒවා අද ද ජනප්‍රිය ගීත ලෙස ගායනා වේ. “අසෙලියා මල්” කෘතියේ ඇතුළත් 150ක් පමණ කාව්‍ය නිර්මාණ අතුරින් කිහිපයක් දෙසට මඳක් එබිකම් කර බැලීමට අපි උත්සාහ කරමු.
සෝවොල්ගේ “අසෙලියා මල්” නම් පැදි පෙළේ සිංහල පරිවර්තනය යි, මේ;
“දැකුම මා පිය නො වේ
යද්දි ඔබ බසක් වත්
නො බැණ ඔබ යවන්නම් යන්න දී
යොංබ්‍යොන් යක් ගිරේෆ
අසෙලියා මල් අරන්
ලස්සනට යන මඟේ ඉසින්නම්
යන පියෙන් පිය තබා
එ‘මල් පොඩි කර නො ලා
තෙත් හදින් බර නො දී යනු මැනේ
දැකුම මා පිය නො වේ
යද්දි ඔබ මා මළත්
නොම හඬමි ඇස කඳුළු වගුරුවා”
(ෆ යොංබ්‍යොන් නම් ප්‍රදේශයේ ඇති යක්සාන් නම් කන්ද)
මේ නිර්මාණයෙන් කියැවෙන්නේ පෙම්වතුන් යුවළකගේ වෙන් වීමක් ගැන යි. එම විරහා වේදනාත්මක අවස්ථාව සංයමයෙන් හා ඉවසීමෙන් දරාගන්නා පෙම්වතෙකුගේ හැඟීම් නිරූපණයට සෝවොල් මෙහි දී උත්සාහ කොට තිබේ. සංකීර්ණය හැඟීමෙන් ආකූල අවස්ථාවක් සියුම් හැඟීම් ස්පර්ශ කරන සන්සුන් විලාසයකින් කවියට නැඟීමට සෝවොල් සමත් වී තිබෙන්නේ රසික සිත් පහන් හැඟීමෙන් සනහන පරිදි ය. මෙම අවස්ථාවේ දී පෙම්වතිය පෙම්වතාගෙන් වෙන් වී පිට ව යෑමට සූදානම් වෙයි. පෙම්වතා ඈට කියන්නේ තමා දෙස නො බලා යන්න කියා ය. වචනයක් වත් නො කියා ඇයට යන්නට ඉඩ දෙන බව ඔහු කිය යි. අසෙලියා මල් සමුගැනීම හෙවත් වියෝගය සංකේතවත් කරන මලකි. යොංබ්‍යොන්හි යක්සාන් කන්දේ පිපෙන අසෙලියා මල් ගෙන ඔහු ඈ යන මඟට ඉසි යි. ඉක්බිති ඔහු කියන්නේ බර නො දී අඩි තබා ඒ මල් පොඩි නො කර ඈට වෙන් ව යන ලෙස ය. ඔහුගේ හදෙහි මේ මොහොතේ ඇත්තේ අසීමිත වේදනාවකි. එහෙත් ඈ වෙන් වී යද්දී තමා මළත් කඳුළු වගුරුවා හඬන්නේ නැති බව ඔහු කිය යි. ඒ තරම් දැඩි වේදනාවක් වුව ද ඔහු එසේ
දරාගන්නේ සමුගෙන යන ඈ සනහා පිටත් කරන අටියෙනි. ප්‍රේමයේ දරාගැනීම, පරිත්‍යාගය, විඳගැනීම, පරාර්ථය වැනි උසස් ගුණාංග මේ පැදිය තුළින් නිරූපණය වේ. මේ පැදිය සෝවොල්ගේ වඩාත් ප්‍රකට හා උසස් නිර්මාණයකි. ඔහු මේ පැදිය ලියා ඇත්තේ තමා මුලින් ම පෙම් කළ තරුණියගේ වෙන් වීම හේතුවෙන් උපන් වේදනාවෙන් බව සඳහනි.
“ගං ඉවුරේ වෙසෙමුකෝ අම්මේ අක්කේ
රන් පාටින් මිදුලේ වැලිකැට දිළිසෙන්නේ
බට පඳුරේ ගීතේ ඒ පැළදොර එළියේ
ගං ඉවුරේ වෙසෙමූකෝ අම්මේ අක්කේ”
ඒ “අම්මා අක්කා” යන මැයින් එන පැදිය යි. නිදහස්කාමී හැඟීමක් හා ඒ වෙත ඇති අභිලාෂය මතු කැරෙන මේ පැදිය කුඩා දරුවකු කියන බසක් පරිද්දෙන් ඉදිරිපත් කොට ඇත්තකි. සෝවොල් මේ පැදිය ලියා ඇත්තේ ද ජන ගායනා අතර ඇති ළමා ගායනාවක රිද්මය ඇති ව යි. මේ කුඩා දරුවා සිය අම්මාට හා අක්කාට අයැදින්නේ ‘අපි ගොස් ගං ඉවුරක කුඩා නිවසක් තුළ ජීවත් වෙමු’ යි කියා ය. එවිට අපේ මිදුලේ රන් පාටින් දිළිසෙන වැලි තිබේ. පෑළදොරින් එළියේ ඇත්තේ ගී ගයන බට පඳුරු ය. එය ලස්සන තැනකි; සුන්දර ජීවිතයකි. නගරයේ කලබලකාරී බවින් හා පීඩාකාරී ජීවිතයෙන් මිදී නිදහස් සුන්දර සරල ජීවිතයක් ලැබීමට ඇති ඇල්ම මින් පළ වේ. එකල ජපන් අධිරාජ්‍යයට යටත් ව නොයෙක් අඩන්තේට්ටම්වලට ලක් වෙමින් පීඩාකාරී ජීවිත ගත කළ කොරියානුවන්ගේ සිත් තුළ නිදහස හා සුන්දර ජීවිතයක් පිළිබඳ වූ අභිලාෂය මේ පැදියෙන් නිරූපණය කිරීමට සෝවොල් උත්සාහ කොට තිබේ.
“කඳුකරයේ මල්” නමින් එන පැදි පෙළ මෙසේ ය;
“කඳුකරේ මල් පිපෙ යි
මල් පිපෙ යි
යනු වසත් නොමැති ගිම්
මල් පිපෙ යි
කඳුකරේ
කඳුකරේ
පිපෙන මල්
‘පමණ මා එකලා ව පිපෙනවා’
කන්දෙ පොඩි කුරුල්ලෙක් හඬන්නේ
‘මල් යස යි’
කන්දෙ දී
‘සමුගනිම්’
කඳුකරේ මල් හැලෙ යි
මල් හැලෙ යි
යනු වසත් නොමැති ගිම්
මල් හැලෙ යි”
කඳුකරයේ කටුක බව මැද පිපෙන මල් තුළින් මෙසේ සංකේතවත් කොට දක්වා ඇත්තේ මිනිස් ජීවිතයේ ස්වභාවය යි. සෝවොල් මේ පැදියේ දී කටුකත්වයත් සුන්දරත්වයත් දෙක ම ඇසුරින් අවසානයේ පෙන්වන්නේ ජීවිතයේ අනිත්‍ය භාවය බව පෙනේ. එසේ ම මේ පැදියේ රිද්මය තුළ කඳුකරයේ කටුක හා හුදෙකලා බවත් ඒ තුළ ම ගැප් ව ඇති සුන්දරත්වයත් රැඳ වීමට සෝවොල් සමත් වී ඇති සෙයකි. වසන්තය හෝ ගිම්හානය වෙනසක් නැති ව කඳුකරයේ මල් පිපේ. කඳුකරයේ පිපෙන ඒ මල් මෙසේ කිය යි; “මම තනියෙන් ම පිපෙනවා!” මේ මල්වලට කැමැති කුඩා කුරුල්ලෙක් ද හුදෙකලා ව මැදින් නාද කර යි. ඌ කියන්නේ, “මල් හොඳ යි” කියා ය. ඉක්බිති ඒ කුරුල්ලා කඳුකරයේ දී ම පර වී යන ඒ මල්වලට සමුදෙ යි.
“සමුගනිම්” යි කියා ඌ නාද කර යි. දැන් මල්වල අභාවය එළැඹේ. සෝවොල් පළමු පැදිය බැඳි අයුරින් ම අවසන් පැදිය ද බඳි යි. වසන්තය හෝ ගිම්හානය වෙනසක් නොමැති ව කඳුකරයේ මල් හැලෙ යි. මල් ඇසුරින් මෙසේ පෙන්වා තිබෙන්නේ උපත-විපත යන ජීවන දහම යි.
සිය නිවසින් පිට ව ගොස් බැහැර වෙසෙන්නෙකු තම නිවස සිහි කරන්නේ සියුම් වේදනාබර හැඟීමක් ජනිත කරන අතීතකාමයකිනි. ඇතැම් විට එවැන්නෙකු වඩාත් සංවේදී ව කඳුළු පවා සලනු ඇත. සෝවොල් “අපේ නිවස” නම් නිර්මාණයෙන් අප හමුවේ තබන්නේ එබඳු සංවේදී අවස්ථාවකි.
“මේ විගස
තනි ව විත් පසු කරන් යන යමෙක් නො වන්නේ
‘නිදන්නට යමි’ යි කියා ගොස් හිඳගතිමි
අර ඈත එක් පසෙක
නැව යන්න පිටත් වෙයි
ගී සරය ඇසෙන්නේ
කඳුළු බිඳු
ගලා යනු ඉඩ දෙන්න
පහ ව යයි දුක නෙතේ
සිහිනයෙත් සැබෑවෙත් හිමේ වී අපේ ගේ
යළිත් අර කඳුහිසින්
වලාකුළු පා ව යයි”
මෙහි සඳහන් තැනැත්තා නිදන්නට ගියත් ඔහුට නින්ද එන්නේ නැත. ඔහු හිඳගෙන කල්පනාවට වැටේ. නැවක් යන්නට පිටත් වනු ඔහුට පෙනේ. එහි ගී හඬ ද ඇසේ. ඇතැම් විට ඒ නැවේ නැඟුණා නම් ඔහුට යළි තම නිවසට යාමට පුළුවන් ව තිබෙන්නට ද ඇත. සිය ගෙදර මතක් වීමෙන් ඔහුට දුකක් දැනේ. ඉක්බිති ඔහු හඬන්නට වෙයි. ඔහුගේ සිතෙහි තම නිවස සිතුවම් වේ. හිමෙන් වැසී ඇති තම නිවසත් ඒ අසල කඳුමුදුනින් වලාකුළු පා වී යන සැටිත් ඔහු සිතින් දකී. තම නිවස හා පවුල වෙත කෙනෙකු බැඳී ඇති බැඳීමේ ස්වභාවයත් ඉන් වෙන් වීමෙන් ඇති වන දුකත් මේ නිර්මාණය තුළින් දක්වා තිබේ. ලෝකයේ කොතැනක සිටියත් යමෙකුට සැනැසීම දැනෙන්නේ තම නිවසට ආ කල ය.
“වලාකුළ” නමින් එන නිර්මාණයේ දී සෝවොල් අපට ඉදිරිපත් කරන්නේ කිසි ගැහැනියකගේ ප්‍රේමය අපේක්ෂාවෙන් වේදනා විඳින ප්‍රේමවත්තයෙකුගේ සිතෙහි ස්වභාවයකි;
“අල්ලගතොත් අර වලාව
රතු ලේ පැල්ලම් වලාවට අඳුරු ඒ වලාව
ම‘ගත යි යන නුබ තලාව
මයිල අසූ දහක් අහස
පියඹා යෙමි මම නොම ලස
නිදනා ඔබ අතින් විගස
මා අල්ලාගතොත් දිගැස
මිදෙනු නොහැක ඇද ඔබ අත
වසිමි වැස්ස වී ඔබ මත
සිතනු සොඳුර වැස්ස වැටෙත
දිව- මගෙ කඳුළු ය තෙත”
‘රතු ලේ පැල්ලම් ගත් අඳුරු වලාකුළ නම් මගේ ශරීරය ය. මම අහසේ නැඟී සැතපුම් අසූ දහසක් පියඹා ඔබ සිටින දෙසට එමි. එවිට නිදා සිටින ඔබ අත දිගු කොට මා අල්වාගතොත් මට ඔබගේ අත ඇද ගසා දමා මිදීමට නොහැක. ඒ නිසා මම වැස්සක් වී ඔබ මතට ඇද වැටෙමි. ඉතින් සොඳුරිය, දිවා- වැසි වසිද්දී ඒ වැටෙන්නේ මගේ කඳුළු බව ඔබ දැනගන්න!’ ඒ මේ ප්‍රේමවන්තයා තම ප්‍රේමයේ ආයාචනය ඉදිරිපත් කොට ඇති සැටි යි. ඔහු තුළ ඇයට ඇති ප්‍රේමයේ තරමත් ඒ නිසා ඔහු විඳින දුකත් මේ පැදියෙන් මනා ව සිතුවම් වී තිබේ. සෝවොල් මනහර රූපකයක් ලෙස මේ පැදිය බැඳ ඇත්තේ රසික සිත්හි චමත්කාරයක් ඇති කරමිනි.
“ඇලුම් කරන පෙම්බරිය” නමින් සෝවොල් ලියූ තවත් පෙම් කවියක් මෙසේ ය;
“ඔබේ රතු සිනිඳු වූ
දෙලවනට වඩා ඒ
ලස්සන ම නිමල වූ
ඔබෙ ආත්මයට ඒ
මගේ උණුසුම් හාදු….
මගෙ දිවියෙ සවිය ඔබෙ
කුඩා හද රිද්මය යි
නවත්වන්නේ නැති ව
යනු මැනැවි ඒ ඉදින්”
ප්‍රේමයේ මතුපිට සුන්දරත්වයට එහායින් එහි ආධ්‍යාත්මික උසස් භාවයක් මතු කිරීමට මේ පැදියෙන් ඉඩ ලබාගෙන තිබේ. මේ පෙම්වතා උණුසුම් හාදු දෙන්නේ සිය පෙම්වතියගේ රතු සිනිඳු දෙතොලට නො ව ඇගේ ලස්සන නිර්මල ආත්මයට යි. ඇගේ හදවතේ රිද්මය ඔහුගේ ජීවිතයේ ශක්තිය යි. කොතරම් උසස් කල්පනාවක් ද? ප්‍රේමයේ බොළඳ බවට එහායින් ඇති මෙවැනි උසස් හැඟීම් දැකීම ශ්‍රේෂ්ඨ කවීන්ගේ විශිෂ්ට ගුණයෙකි.
කිම් සෝවොල් නම් අමරණීය කොරියානු කවියාගේ නිර්මාණ අතුරින් නිර්මාණ දෙක තුනක් පමණක් ගෙන විමැසීම කිසිසේත් ප්‍රමාණවත් නො වුව ද ඔහුගේ කවියේ හැඩය පිළිබඳ හඳුනාගැනීමකට එය පිටිවහල් වනු ඇතැයි අපි සිතමු.
චන්දන ඉලන්දාරිගේ