කිමිදුම්කරුවන් ගැන අප නොදත් කතාවක් කියන දෙහිවල මුහුදේ කිඹුල් බිල්ල

843

බ්ලූමැන්ඩල් කුණු කන්දට වඩා කුණු ගොඩවල් මුහුද යට

ඉස්සර ලංකාව පුරා ගිහින් අපි මේ රස්සාව කළා

අති දක්‍ෂ කිමිදුම්කරුවකු වූ ජයන්ත සෝමසිරි මේ වන විට ජීවතුන් අතර නැත. ඔහු අකල්හී මරණයට පත්වන්නේ දෙහිවල දුම්රියපළ ආසන්නයේ පිහිටි ගොඩගල අසල මුහුදු තීරයේදීය. විසිතුරු මසුන් ඇල්ලීම ජීවිකාව කරගත් ඔහු දක්‍ෂ කිමිදුම්කරුවකු බව ඔහු පිළිබඳව වාර්තා වූ තොරතුරුවලින් තහවුරු වී ඇත. වසර 40 ට අධික කාලයක් එම වෘත්තියේ නිරත ජයන්ත සෝමසිරි ඉකුත් 03 උදෑසන තම සුපුරුදු වෘත්තියේ නිරතව සිටින අතරතුර මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත් වන්නේ කිඹුලකු විසින් සිදුකළ අනපේක්‍ෂිත පහරදීමක් හේතුවෙන්ය.

රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර ගම්මානයේ පදිංචිකරුවකු වූ 57 හැවිරිදි එක් දරු පියකු වූ ජයන්ත සෝමසිරි තම සුපුරුදු වෘත්තියේ නිරත වීම පිණිස සිය නිවසින් පිටත්ව යන්නේ ඉකුත් 03 දා උදෑසනය. මොරටුව රත්මලාන, ගල්කිස්ස, දෙහිවල ආදී ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මුහුදු අද්දර ජීවත්වන විශාල පිරිසක් තම වෘත්තිය ලෙස කලක පටන් සිදු කරනු ලබන්නේ මුහුදු ගොස් විසිතුරු මසුන් අල්ලා අලෙවි කිරීමය. එම වෘත්තියේ නිරත පිරිසගේ සුභසාධනය පිණිස කොළඹ දිස්ත‍්‍රික් විසිතුරු මසුන් අල්ලන්නන්ගේ සමූපකාර සමිතිය යනුවෙන් වෙනම සංවිධානයක්ද ක‍්‍රියාත්මකය. ක‍්‍රියාකාරී සාමාජිකයන් 180 කින් පමණ සමන්විත මෙම සංවිධානයේ ඇතැම් පිරිසක් ඔක්සිජන් ආධාරයෙන් ගැඹුරු මුහුදේ කිමිදෙමින් විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවන අතර තවත් පිරිසක් නොගැඹුරු මුහුදු තීරයේ ඔක්සිජන් ටැංකි භාවිතයෙන් තොරව සුරතල් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වන්නේය.

ජයන්ත සෝමසිරි අයත් වන්නේ ඉහත සඳහන් කාණ්ඩ දෙක අතරින් දෙවන කාණ්ඩයටය. එම පිරිස ජයන්ත සෝමසිරි ඇතුළු අසූදෙනකුගෙන් පමණ සමන්විත වූ අතර වෙරළ තීරයේ සිට කිලෝ මීටරයක් පමණ දුර පිහිනා ගොස් ගල් පර ආශ‍්‍රිතව ජීවත් වන අලංකාර මත්ස්‍යයන් අල්ලා අලෙවි කිරීම ඔවුන්ගේ වෘත්තීය බවට පත්ව ඇත.

තම වෘත්තීය සඟයාගේ අකල් වියෝවෙන් කම්පනයට පත්ව සිටින කිමිදුම්කරුවන් කීප දෙනකු හා සිදුකළ කතා බහ හරහා මියගිය ජයන්ත සෝමසිරි පිළිබඳවත් ඔහු හා හරි හරියට මුහුදේ කිමිදෙමින් එම වෘත්තියේ නිරතවන තවත් බොහෝ දෙනකු පිළිබඳවත් මෙතෙක් නොඇසූ කතා බොහෝමයක් හෙළිදරව් කරගත හැකි විය. පළමුව තම ආදරණීය වෘත්තීය සඟයා පිළිබඳවත් ඉන් අනතුරුව මුහුද ආශ‍්‍රිතව කලක පටන් සිදු කරගෙන යන විසිතුරු මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයේ අප‍්‍රකට තොරතුරු රාශියක් පිළිබඳවත් අප හමුවේ අදහස් දක්වා සිටියේ කොළඹ දිස්ත‍්‍රික් විසිතුරු මසුන් අල්ලන්නන්ගේ සමූපකාර සමිතියේ වත්මන් සභාපති රංජිත් සිල්වා (කළු මහත්තයා) විසින්ය.

‘ජයන්ත මරණයට පත් වුණේ කොහොමද මොන හේතුවක් නිසාද කියලා දැන් හැමෝම දන්නවා. මුහුදු රස්සාව කියන්නෙ අනතුරුදායක දෙයක් බවත් අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. නමුත් ජයන්ත කියන්නෙ මුහුදට බය වෙච්ච මනුස්සයෙක් නොවෙයි. අවුරුදු 40 කට ආසන්න කාලයක් මුහුද යට කිමිදුන ජයන්ත කියන්නෙ අපේ සමිතියට පමණක් නොවෙයි මේ රටේ හිටිය දක්‍ෂතම කිමිදුම්කරුවෙක්. මුහුද යටට කිමිදිල විසිතුරු මසුන් අල්ලගෙන නැවත වෙරළට පීනල ඒ මත්ස්‍ය සම්පත විකුණලා තමයි එයා තමන්ගේ බිරිඳව ඒ වගේම දියණියව ජීවත් කළේ.

කිමිදුම්කරුවන් ගැන අප නොදත් කතාවක් කියන දෙහිවල මුහුදේ කිඹුල් බිල්ල

නමුත් ඔහුට අවසානයේ සිදු වුණේ මුහුදේ සැරිසරපු මිනීමරු කිඹුලකුගේ ගොදුරක් වෙන්න. මෙහෙම දෙයක් මීට පෙර අපේ රටේ සිද්ධ වෙලා නෑ. මීට පෙර කිරින්ද ත‍්‍රිකුණාමලය ආදී ප‍්‍රදේශවලින් මේ වගේ සිද්ධීන් දෙක තුනක් වාර්තා වෙලා තිබෙනවා. ඒත් මුහුදෙදී කිඹුල් ප‍්‍රහාරයකට ලක්වීමෙන් වාර්තා වූ පළමු මරණය තමයි මේක. ඒ සිද්ධිය වෙලා අදට දවස් හතරක් පහක් වෙනවා. නමුත් ඒ මිනීමරු කිඹුලව අල්ල ගන්න තාම පුළුවන්කමක් ලැබිල නෑ. ඒ හේතුවන් කිමිදුම්කරුවන් විදිහට අපේ පුරුදු රස්සාව කරගන්න දැන් අපිට බැහැ. අපේ සාමාජිකයන් තමන්ගෙ අඹු දරුවන්ට කන්න අඳින්න දුන්නෙ මේ රස්සාවෙන්. මම අවුරුදු 44 ක් තිස්සෙ මේ රස්සාවෙන් ජීවත් වෙච්ච මනුස්සයෙක්. ඒ වගේම තවත් විශාල පිරිසක් මේ අවට මේ රස්සාව කරන මිනිස්සු ඉන්නවා. අපේ හැකියාව තමයි

රැකියාව බවට පත් කරගෙන තියෙන්නෙ. අපේ රට ගත්තොත් විසිතුරු මසුන් අල්ලල ජීවත් වෙන දසදහසකට අධික පිරිසක් ඉන්නවා. යාපනය ඉඳල කිරින්ද දක්වා මුහුදු කලාපය ආශ‍්‍රිතව දීර්ඝ කාලයක් තිස්සේ මේ රස්සාව ඒ අය විසින් කරගෙන යනවා. එල්. ටී. ටී. ඊ. යුද්ධය පැවැති කාලයෙත් නතර නොකළ රස්සාවක් නතර කරන්න එක කිඹුලකුට පුළුවන් වෙලා තිබෙනවා. මේ සිද්ධියෙන් පස්සෙ වනජීවී එකෙක් ඇවිත් මුහුදෙ බෝට්ටු සවාරියක් යනවා. ඒ ගිහින් පත්තරවල රූපවාහිනියේ ඒක ප‍්‍රදර්ශනය කරනවා. කිඹුලව අල්ලන්න හරි වැඩ පිළිවෙලක් තාම ක‍්‍රියාත්මක නෑ. මේක බරපතළ තත්ත්වයක්.’

ජයන්ත සෝමසිරිගේ අකල් මරණය පිළිබඳ කතා බහ වෙනත් මානයක් වෙත යොමු වී ඇත. රංජිත් සිල්වා විසින් අනාවරණය කර සිටි කරුණුවලට අනුව මිනීමරු කිඹුලකු හේතුවෙන් විශාල පිරිසකට ජීවිකාව අහිමි වීමේ අවධානමක් හටගෙන හමාරය. දශක කීපයක සිට මෙරටට විදේශ විනිමය උපයාදුන් කර්මාන්තයක් වන විසිතුරු මසුන් ඇල්ලීම සහ එහි ඉතිහාසය පිළිබඳව රංජිත් සිල්වා (කළු මහත්තයා) විසින් දක්වන ලද අදහස්වලින් ඒ බව තහවුරු විය.

‘ඉස්සර අපේ රටේ හිටිය බර්ගර් ජාතිකයන් මුහුද යට කිමිදිලා මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන එන එක විනෝදාංශයක් විදිහට කරපු දෙයක්. ඊට පස්සෙ තමයි ලාංකිකයෝ විදිහට අපිත් මුහුදෙ කිමිදෙන්න ගත්තෙ. අපේ මිනිස්සු කළේ මුහුද යට ඉන්න විසිතුරු මසුන් අල්ලන එක. කාලයක් යද්දි විදේශ රටවලින් මේකට ලොකු ඉල්ලූමක් ආවා. ඒ හේතුවෙන් විසිතුරු මසුන් පිටරට යවන සමාගම් රාශියක් අපේ රටේ ඇති වුණා. අපි මුහුද යට කිමිදිලා අල්ලගෙන එන විසිතුරු මසුන් ඒ අය මිලට ගත්තා. අදත් ගන්නවා ඒ හරහා වාර්ෂිකව ලොකු විදේශ විනිමයක් අපේ රටට එන්න ගත්ත. පසුගිය 03 වැනිදා මරණයට පතත් වුණේ රටට ලොකු ආදායමක් ගෙනත් දුන්න අපේ සාමාජිකයෙක්. මේ රස්සාව කරන්නෙ අවුරුද්දෙන් මාස හයක් පමණයි. මුහුද සැර කාලෙට මේක කරන්න බෑ. දැන් ඇවිල්ල තියෙන්නෙ සීසන් එක. ඒ කාලෙට වෙරළ තීරයෙන් කිලෝ මීටරයක් විතර දුරට වෙන්න මුහුදෙ පිහිටල තියෙන ගල් පරය දක්වා පිහිනා ගිහින් අඩි විස්සක් තිහක් විතර කිමිදිලා තමයි මේ රස්සාව කරන්නෙ. ඔය කියන ගල් පරය රට වටේම තියෙනවා.

මේ ගල් පරය ආශ‍්‍රිතව ජීවත්වන විසිතුරු මසුන් විශේෂ ගණනාවක් ඉන්නවා. මේ කියන විසිතුරු මසුන් විශේෂ දෙහිවලට රත්මලානට, මොරටුවට පමණක් සීමා වෙලා නෑ. රට වටේම ඉන්නවා. ඉස්සර අපි ලංකාව වටේ ගිහින් මේ රස්සාව කළා. එදාට අල්ලන මාළු එදාම විකුණලා සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් විදිහට තමයි අපේ රස්සාව ප‍්‍රසිද්ධයට පත් වෙලා තියෙන්නෙ. ඒක ඇත්ත. මාළු ටික අල්ලගෙන ගොඩ පීනල වෙරළට එනකොට අපේ අස්වැන්න මිලදී ගන්න ඕන තරම් අය වෙරළෙ ඉන්නවා. ඉස්සර මඩකලපුව, කල්මුණේ, අක්කරපත්තුව පැත්තෙ ගිහින් අපි මේ රස්සාව කළා. දවසට දහ පහළොස් දහසක ආදායම් ලබපු දවස් ඕන තරම් තිබුණා. අද ඒ පැත්තෙ යන්න බෑ. යන්න දෙන්නෙත් නෑ. ඒ පැත්තෙ මුස්ලිම් ජාතිකයෝ තමන්ගෙ අනසකට යටත් කරගෙන ඉන්න හින්දයි එහෙම තත්ත්වයක් උදා වුණේ.

කිමිදුම්කරුවන් ගැන අප නොදත් කතාවක් කියන දෙහිවල මුහුදේ කිඹුල් බිල්ල

‘‘අපේ රටේ විසිතුරු මත්ස්‍ය අස්වැන්නට ලෝකයෙන් හොඳ ඉල්ලූමක් තිබෙනවා. ඒකට හේතුව තමයි කළු ගල් පරයේ සහ කොරල් පරයේ තියෙන වෙනස. ගල් පරය ආශ‍්‍රිතව ජීවත් වන විසතුරු මසුන්ගේ ආයු කාලය වැඩියි. ඒ වගේම වරල් ආශ‍්‍රිත රෝග හටගැනීමේ ඉඩකඩ අඩුයි. ඒ හින්ද හොඳ ඉල්ලූමක් පවතිනවා. වෙනත් රටවල මේ තත්ත්වය වෙනස්. ඊට හේතුව තමයි ඒ රටවල මුහුදු තීරය ආශ‍්‍රිතව කොරල් පර පිහිටා තිබීම. නමුත් මේ රස්සාවට කිසිම ආණ්ඩුවකින් සහයෝගයක් මෙතෙක් ලබා දුන්නෙ නෑ. පරිසර සංවිධාන දිගින් දිගටම අපට බාධා කරනවා.

අපෙන් මුහුදට හානියක් වෙන්නෙ නෑ. ඔය පරිසරවේදීන් දකින්නෙ මුහුදෙ මතුපිට පමණයි. ඒ අයට පුළුවන්කම තියෙනවා නම් අපිත් එක්ක කිමිදෙන්න. මම ආරාධනා කරනවා විනාඩි දහයක් පහළොවක් ඒ සඳහා එක්වෙන්න කියලා. මුහුදට කරල තිබෙන විනාශය එතකොට දැක ගන්න පුළුවන්. බ්ලූමැන්ඩල් කුණු කන්දට වඩා ලොකු කුණු කන්දක් මුහුද යට තියෙනවා. ඒ කුණු අපි ගිහින් දාපුව නොවෙයි. වැල්ලවත්තෙන් අ`ගුලානෙන් ඒ වගේම මෝදරින් තමයි මේ විෂ රසායන සහිත කුණු මුහුදට දාන්නෙ. මේව ගැන කතා කරන පරිසරවේදියෝ අපි දැකල නෑ. ඉස්සර මුහුදෙ කිමිදෙන මිනිසුන්ට ගන් එකක් අරන් යන්න අවසර තිබුණා. මුහුදෙදී මොකක් හරි අනතුරක් ආවොත් ඒක පාවිච්චි කරන්න අවසර තිබුණා. අද යකඩ කම්බියක්වත් අරන් යන්න නීතියෙන් ඉඩක් නෑ. ඒ අවසරය තිබුණනම් දක්‍ෂ කිමිදුම්කරුවෙක් වෙච්ච ජයන්තට ජීවිතය බේරා ගන්න ඇතැම් විට අවස්ථාව ලැබෙන්නත් ඉඩ තිබුණා.’

රංජිත් සිල්වා විසින් සිදු කළ දීර්ඝ විස්තරය නිමාවට පත් කළේ කිමිදුම්කරුවන් ලෙස ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති විවිධ දුෂ්කරතා පිළිබඳව යම් හෙළිදරව්වක් සිදු කරමින්ය. එපමණක් නොව මිනිසා විසින් මුහුදට සිදු කර ඇති විනාශය පිළිබඳව නෝක්කාඩුවක්ද ඔහුගේ කටහඬෙහි විය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රී කුමාර ගෝමස් මහතා – මේ සිද්ධියෙන් පස්සෙ මුහුද පරිහරණය කරන ජනතාව පමණක් නොවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් පවා වෙරළට එන්නත් බයයි. හේතුව තමයි හෙට ඒ මිනිස්සුන්ගේ ඉරණම මොකක් වෙයිද කියලා ලොකු බයකින් පසුවීම. කිඹුලකුගේ ප‍්‍රහාරයට ලක්වෙලා අපිට හිටිය දක්‍ෂ කිමිදුම්කරුවෙක් දැනටමත් මරණයට පත්වෙලා ඉවරයි. ඒ සිද්ධිය තවත් ධීවරයන් පිරිසක් දැක්කෙ නැත්නම් එහෙමත් නැතුව රැයක මේ සිද්ධිය වුණා නම් ඔහුගේ මරණය අභිරහසක් වෙන්නත් තිබුණා. මොකද මේ වගේ දෙයක් මීට පෙර සිද්ධ නොවීම හින්ද. සමහර පිරිස් මත පලකරමින් සඳහන් කරනවා කිඹුලට, කබරට මුහුදෙ ඉන්න බෑ කියලා. නමුත් මේ සිද්ධියත් එක්ක ඒ මතය බොරුවක් බවට පත්වෙනවා. මේ සතා කරදිය ආශ‍්‍රිතව ජීවත්වන ගැට කිඹුලෙක්. මේ සත්තු වඩදිය බාදිය කාල සීමාව තුළ මුහුදු වතුරට හුරුවෙනවා. දැනට තිබෙන තොරතුරුවලට අනුව මේ සතා මුහුදට බහින්නෙ වැල්ලවත්ත පැත්තෙන්. මේ සිද්ධිය වෙලා අදට දවස් ගාණක් ගත වෙනවා. නමුත් වනජීවී දෙපාර්තමේන්තුවට තවමත් මේ සතාව අල්ලගන්න බැහැ. ඒ අය ඇවිත් කිඹුල ඉන්නවද කියලා බලල යනවා. බලල යනවා කියන එකයි සතාව අල්ලගන්න මෙහෙයුමක් සිදු කරනව කියන එකයි දෙකක්. ඒ අයට පහසුකම් නැත්නම් පහසුකම් තිබෙන වෙනත් ආයතන එක්ක කතාබහ කරලා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත යුතුයි. මොකද මේ වන විට පානදුර ඉඳල කොළඹ දක්වා මුහුදු තීරයේ ජීවත් වන ධීවරයන් ඒ වගේම සාමාන්‍ය ජනතාව ලොකු භීතියකින් ජීවත් වෙන්නෙ. මුහුද නැත්නම් ඒ අයට ජීවිතයක් නෑ. අඩි පහළොවක කිඹුලෙක් නිතර නිතර ඒ ප‍්‍රදේශවල සැරිසරනව කියන්නෙ තවත් ජීවිත අනතුරකට හේතුවක් විදිහට තමයි ඒ ජනතාව දකින්නෙ.’’

රුවන් ජයවර්ධන
ඡායාරූප – රත්මලාන – පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment