කිඹුල් කටින් ගම්වැසියාව බේරාගත් පොඩි හාමුදුරුවෝ… පොඩි හාමුදුරුවෝ වැව් බැම්මේ ඉඳල කිඹුලගෙ පිටට පැන්නා..

531

* පොඩි හාමුදුරුවෝ වැව් බැම්මේ ඉඳල කිඹුලගෙ පිටට පැන්න.. කිඹුලා මාව අත හැරියේ ඊට පස්සේ…
* පොඩි හාමුදුරුවෝ පනිනව බලන් හිටිය බල්ලත් ඊට පස්සේ වැවට පැන්න…
* කහටගස්දිගිලියෙන් ඇසෙන ත‍්‍රාසජනක කතා පුවත

රුවන් ජයවර්ධන

කිඹුලෙකුගේ ග‍්‍රහණයට හසුවීම මරණීය අවදානමක් සහිතය. එවැනි අවදානමකට ලක්ව ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සටනක යෙදෙන මිනිස් ජීවිතයක් බේරා ගැනීමට යම් අයෙකු ඉදිරිපත් වේ නම් එයද හැඳින්විය හැකි වන්නේ එවැනිම අවදානම් සහගත ක‍්‍රියාවක් ලෙසය. පහත පෙළ ගැසෙන්නේ තම ජීවිතයද, සියලූ ජීවිත අපේක්ෂාවන් ද පසෙක තබමින් තවත් ජීවිතයක් බේරා ගැනීම පිණිස වැව් දියට පැන මිනීමරු කිඹුලෙකු හා සටන් කළ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්ය.

උතුම් ජයසිරි මහ බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් කහටගස්දිගිලිය දියමයිලගස් වැව ප‍්‍රදේශයෙන් ඉකුත් (6දා) වාර්තාවන මෙම බිහිසුණු සිදුවීමට මුහුණ දෙන්නේ 71 හැවිරිදි ජී. එම්. විජේරත්න මහතාය. එම බිහිසුණු අනතුරෙන් පසු දින කීපයක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන ඔහු ඉකුත් දිනක නැවතත් තම නිවස වෙත පැමිණ ඇත. දුරකථන මාර්ගයෙන් සිදුවන අපගේ කතාබහට ආරම්භයක් ලබා ගනිමින් තමන් මුහුණ දුන් සිදුවීම විජේරත්න මහතා විසින් විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

කිඹුල් කටින් ගම්වැසියාව බේරාගත් පොඩි හාමුදුරුවෝ... පොඩි හාමුදුරුවෝ වැව් බැම්මේ ඉඳල කිඹුලගෙ පිටට පැන්නා..

‘‘එදා පහුගිය 6 වෙනිදා. උදේට වත්ත පිටිය අතුගාලා තව මොනව හරි වැඩක් පලක් තියෙනව නම් ඒ ටිකත් කරල ඇඟපත හෝද ගන්නත් එක්ක වැවට බහින එක මගේ පුරුද්දක්. මගේ ගෙදරයි වැවයි අතර මහ දුරක් නෑ. ඒ දෙක අතර කුඹුරු ගොවිතැන් ටිකක් තියෙනව. ඒකෙ අයිතියත් තියෙන්නේ අපිට. එදා මම ගෙදරින් දොට්ට බැහැල කුඹුරු ගොවිතැන් ටිකත් බලාගෙන වැවට යනව. එහෙම යද්දි බත් අහුරක් දෙකක් අරන් යන එක මගේ පුරුද්දක්. වැවේ මාළුන්ගේ බඩ කට පුරවන්න තමයි මම එහෙම දෙයක් කරන්නේ. මාළුන්ගෙ බඩ කට පිරෙනව බලන් ඉඳල සතුටක් ලබන එක මගේ පුරුද්දක්. එදා මම වැවට යද්දි අපේ පොඩි හාමුදුරුවෝ එතනට වැඩම කරල හිටිය. මම යද්දි උන්වහන්සේ මංකඬේ දිය නානව. ඒ වෙද්දි වෙලාව උදේ 8:30 ට විතර ඇති. උන්වහන්සේ දිය නාද්දී වැවට බහින එක යුතුකමක් නොවෙන හින්දා මං ටික වෙලාවක් වැව් බැම්මට වෙලා හිටිය. ඊට ටික වෙලාවකට පස්සෙ දනක් වතුරට බැහැල රෙදි කෑලි කීපයක් හෝදගත්ත. ඒ අතරතුර තමයි පොඩි හාමුදුරුවෝ දිය නාල අහවර වෙලා ‘‘යන්නම් මාමෙ” කියාගෙන වැවෙන් ගොඩට යන්නෙ. ඊට පස්සේ තමයි මම ඇඟපත හෝද ගන්න කරවටක් වතුරට බැස්සෙ.”

කිඹුල් කටින් ගම්වැසියාව බේරාගත් පොඩි හාමුදුරුවෝ... පොඩි හාමුදුරුවෝ වැව් බැම්මේ ඉඳල කිඹුලගෙ පිටට පැන්නා..

මේ මොහොත වන විට මයිලගස්වැව විහාරවාසී පැල්ලන්දෙනියේ පියනන්ද හිමියන් සහ විජේරත්න හැරුණුකොට වෙනත් කිසිම පුද්ගලයෙක් එම ස්ථානයේ හෝ ඒ අවට දකින්නට ලැබී නැත. එහෙත් කිසිවෙක් නොසිතන යමක් එම මොහොත වන විට වැව් දිය යට සිදු වෙමින් තිබී ඇත. මිනිස් ගොදුරකට ඉව කළ දැවැන්ත කිඹුලෙක් ඒ වන විට විජේරත්න මාමාට ළං වන බව වැව් බැම්ම මත වැඩ සිටින පොඩි හාමුදුරුවන් මෙන්ම වැව් දියේ කරවටක් ගිලී ඇඟපත සෝදමින් සිටි විජේරත්න මාමාවත් දැන සිට නැත. එම බිහිසුණු විනාඩි කිහිපය විජයරත්න මාමා විසින් නැවතත් මෙනෙහි කරන්නට විය.

‘‘මම දත කට මැදල එහෙම දෙපාරක් කරවටක් වතුරේ ගිලූණා. තුන්වෙනි පාර වතුරේ ගිලෙද්දි තමයි මේ සිද්ධිය වෙන්නේ. එකපාරටම මගේ කකුලක් හිර වෙනව දැනුන. අවුරුදු හැත්තෑවක් තිස්සේ මම මේ වැවට යනව එනව. මීට පෙර කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. වැවේ කිඹුල්ලූ ඉන්න බව දන්නව. නමුත් කවදාවත් කාටවත් කරදරයක් වෙලා තිබුණෙ නෑ. එදා මට තේරුණා කිඹුල තමයි මාව ඇල්ලූවෙ කියල. ලොකු බයක් දැනුණා. ඒත් එක්කම මගේ හිතට ලොකු නිර්භීතකමක් ආව. ඒ පාර මම මොකද කළේ තනි කකුලට ලොකු ශක්තියක් අරගෙන වම් අතින් කිඹුලගෙ බෙල්ල අල්ලගන්න ලොකු උත්සාහයක් ගත්ත. සාර්ථක වුණේ නෑ. අත ගිහින් නතර වුණේ කිඹුලගෙ කට ඇතුලේ. තත්පරයක් යද්දී කිඹුලගෙ කට ඇරුණ. ඒ පාර කිඹුලා එකපාරටම මගේ දකුණු කකුලෙන් ඇල්ලූව. මට තේරුණා මාව වතුරට ඇදගෙන යනව කියල. ඒ පාර තමයි ‘‘අනේ පොඩි හාමුදුරුවනේ… මාව බේරගන්න..” කියල මම කෑගහන්නෙ.. ‘‘විනාඩියක් ගියේ නෑ. පොඩි හාමුදුරුවෝ උකුස්සෙක් වගේ වැව් බැම්මේ ඉඳල කිඹුලගේ පිටට පැන්න. ඔය වෙද්දි පොඩි හාමුදුරුවෝ හුරතලේට ඇති කරන සුනඛයත් උන්වහන්සේ ළඟ දැවටි දැවටි හිටිය. පොඩි හාමුදුරුවෝ වැවට පනිනවා දැක්ක ඒ සතාත් ඊට පස්සේ වැවට පැන්නා….”

එතැන් සිට මෙම කතාවේ තීරණාත්මක තත්පර කීපය එළැඹෙන අතර එම බිහිසුණු අත්දැකීම් අප හා විස්තර කර සිටියේ මෙම කතාවේදී සැබෑ වීරත්වය පෙන්වූ පැල්ලන්දෙනියේ පියනන්ද හිමියන් විසින්ය. මේ වන විට තිස් හැවිරිදි වියේ පසුවන පියනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසර අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ මෙම සිදුවීමට මුහුණ දෙන්නේ නිවාඩුවක් පිණිස විහාරස්ථානයට වැඩම කර සිටින අවස්ථාවකය.

‘‘මේ වැවේ ඉඳලා විහාරස්ථානයට මීටර් දෙසීයක් පමණ දුරක් තිබෙනව. ඒ වගේම තමයි ගමේ මිනිස්සුන්ට දියනාන්න මේ වැවට අයත් දිය මංකඩවල් තුනක් තියෙනව. ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වන අපත් මේ කියන දිය මංකඩවල් තුනෙන් එකක තමයි දිය නාන්නේ. එදා උදේ මං දිය නාන්න ගියේ ඔය කියන අනතුර සිද්ධ වෙන දිය මංකඩට. මම දිය නාගෙන වැව් කණ්ඩියට ඇවිත් විනාඩි දෙකක්වත් ගියේ නෑ විජේරත්න මාමා කෑ ගහනව ඇහුන. එයා කෑ ගැහුවේ ”අනේ පොඩි හාමුදුරුවනේ.. මාව බේරගන්න..” කියල. ඒත් එක්කම මම දැක්කා විජේරත්න මාමාව වැව දිහාවට ටික ටික ඇදිල යන ආකාරයත්. මට තේරුණා එයාව කිඹුලෙක් අල්ලලා කියල. ඇත්තටම එහෙම අත්දැකීමකට ඊට පෙර මම මුහුණ දීලා හිටියේ නෑ. ඒ දිහා බලා හිටපු මම තත්පර කීපයක් ඇතුළත තීරණයක් ගත්තා. මගෙන් උදව් ඉල්ලලා කෑ ගහද්දි මට ඒක නොකර ඉන්න බැරි වුණා. විජයරත්න මාමා මගෙන් ජීවිතය ඉල්ලලා කෑ ගහද්දි තවදුරටත් මට බලා ඉන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. උදව්වක් ඉල්ලන්න පේනතෙක් මානයක වෙන කවුරුවත් හිටියෙත් නෑ. මට පීනන්න පුළුවන්. ඒ විශ්වාසය මා තුළ තිබුණා. ඊටත් වඩා ලොකු ආත්ම විශ්වාසයක් ඒ වෙලාවේ මට දැනෙන්න ගත්ත. ඒ පාර තමයි සිවුර ගලවල වැව් බැම්මක් උඩ තියල මම කිඹුලගෙ පිට උඩට පැන්නෙ. එහෙම පැනපු ගමන් මම කිඹුලගෙ ඔලූවෙන් අල්ලල ඇද්දා. මගේ ඇඟට ලොකු ශක්තියක් ඒ වෙලාවෙ ආව. ගලවගන්න බැරිම නම් කිඹුලවයි විජේරත්න මාමවයි දෙන්නම අරගෙන වැව් ඉවුරට එන එක තමයි මගේ අරමුණ වෙලා තිබුණේ. නමුත් මම කිඹුලගේ පිට උඩට පනිනවාත් එක්කම කිඹුලා බයවුණා. ගොදුර අතහැරුණ. ඊට පස්සේ තමයි විජයරත්න මාමව අමාරුවෙන් වගේ වත්තන් කරන් ඉවුරට ගෙනාවේ. ඒ වෙද්දී එයාගේ කකුල් දෙකේම කඳ කලවා ප‍්‍රදේශයට ලොකු හානියක් වෙලා තිබුණා..”

උන්වහන්සේගේ මෙහෙවර එතෙකින් නිමාවට පත් වී නැත. වහාම මෙම පුවත ගම්වැසියන්ට දැනුම් දීම පිණිස උන්වහන්සේ පා ඔසවන්නේ තෙතබරිත අඳනකඩය පිටින්ය. ඒ බව දකින ගම්වැසියන් පළමුව කලබලයට පත්ව ඇත්තේ උන්වහන්සේට යම් අනතුරක් සිදුවී ඇතිද යන දෙගිඩියාවෙන් යුක්තවය. ගම්මුන් විසින් මෙම සිදුවීමේ සුලමුල අවබෝධ කරගනු ලබන්නේ උන්වහන්සේ විසින් අදාළ සිදුවීම විස්තර කිරීමෙන් අනතුරුවය. ඒ අනුව පිරිස වහාම වැව් බැම්මට එක්රොක් වන අතර එහිදී ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ දියමංකඩ අසල බරපතළ තුවාල සහිතව වැටී සිටින විජේරත්න මාමගෙ රුවය. ඉන් අනතුරුව පවුලේ උදවිය සහ ගම්මුන් එක්ව ඔහුව කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කොට ඇත. එහිදී සිදුකරන ලද මූලික ප‍්‍රතිකාර වලින් අනතුරුව අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවන විජේරත්නව එහිදී සැත්කමකට භාජනය කොට ඇත.

ඈත දුර බැහැර අනුරාධපුරයෙන් ඇසෙන මෙම කථාව රටම ආදර්ශයට ගත යුතුව ඇත. යම් අනතුරක් සිදු වූ වහාම අත රැඳි ස්මාර්ට් දුරකථනයෙන් එය ඡායාරූපයට නැගීම මෝස්තරයක් බවට පත්ව ඇති රටකට මහා පූර්වාදර්ශයක් සපයන්නට මෙම කතා පුවත පමණක් වුවද ප‍්‍රමාණවත්ය.

මෙහි පවතින තවත් විශේෂත්වයක් වන්නේ තරුණ හිමිනමක් ඒ සඳහා මැදිහත් වීමය. ඇවැත්මෙන් පැවැත්මෙන් පමණක් නොව මැදිහත් විය යුතු යම් දෙයක් වේ නම් ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වුවද ඉදිරිපත් වන වන්දනීය පූජනීය බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලා තවමත් හිඟ නැත. මෙම සිදුවීම හරහා ඒ බව පැල්ලන්දෙනියේ පියනන්ද හිමියන් විසින් රට හමුවේ මනාව ඔප්පුකොට පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment