කිරිපිටි, ගෑස්, පාන්පිටි සිමෙන්ති මිල ඉහළ ගිය හැටි මෙන්න

246

තෙල් මිලත් යළි වැඩි කරන්න ඉල්ලයි

බඩු මිල ප‍්‍රශ්නයට ඩොලර් හිඟයත් ප‍්‍රධාන හේතුවක්

ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළට

කොරෝනා වසංගතය සමග මේ ගෙවෙමින් තිබෙන්නේ සාමාන්‍ය කාලයක් නොවේ. මේ නිසා ආර්ථිකයේ පැවති ප‍්‍රශ්න මේ වසංගතය නිසා වඩා උග‍්‍ර වී ඇත. එය සත්‍යයක් වුවත් සියලූම ආර්ථික ප‍්‍රශ්න කොරෝනා වසංගතය පිට දමා ඇ`ග බේරා ගැනීමට ද නොහැකිය. කොරෝනා වසංගතයේ අහිතකර බලපෑම්වලට සෑම රටකටම මුහුණ දීමට සිදුව තිබුණත් එම බලපෑම් විවිධ රටවලට බලපා ඇත්තේ එක සමානවම ද නොවේ. විවිධ රටවල් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත් අතර ඒ අනුව ඒ ඒ රටවල් කොරෝනා පාලනය සමබන්ධයෙන් සාර්ථක වූයේ ද එකසමානව නොවේ. විවිධ මට්ටම්වලින් අඩුවැඩි වශයෙනි. වසංගතය පාලනය කර ගැනීමට නිසි වෙලාවේ නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම සහ ආර්ථික කළමනාකරණය වඩාත් හොඳින් කිරීමට අදාළ තීන්දු තීරණ හරිහැටි ගැනීමට අසමත් වීම නිසා ද අප රටට වෙනත් රටවලටත් වඩා වැඩි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුව තිබේ. පසුගිය සතියේ ගෑස්, සිමෙන්ති, කිරිපිටි සහ තිරිගු පිටි මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. රජය මේ භාණ්ඩවල මිල පාලන ක‍්‍රියාමාර්ග අත හැරියේය. ඊට පෙර හාල්වලටත් මේ දෙයම සිදු විය. ඒ අනුව මේ මිල ගණන් කොතනක නතරවේද කියා සිතා ගැනීමටත් අපහසුය. කොරෝනා විපතින් ඉමහත් පීඩාවට පත්ව සිටි ජනයාට මේ භාණ්ඩ මිල වැඩි වීම් ගහින් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්වයක් උදා කර තිබේ. මේ නිසා බඩු මිල පීඩනයට එරෙහිව දසතින්ම මහජන විරෝධය එල්ල වෙමින් තිබේ.

මේ භාණ්ඩ මිල වැඩි කිරීම් සඳහා ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතු වූ බවට කරුණු කියනු මේ දිනවල ජනයාට අසන්නට ලැබෙයි. එහෙත් ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් ඉහළ ගියේ එකවර නොවේ. විටින් විට කළ යුතු මිල සංශෝධන කලක් තිස්සේ නොකර සිට එකවර විශාල මිල පීඩනයකට ජනයාට මුහුණ දීමට සිදුව තිබේ. මීට ටික දිනකට පෙර වෙළෙඳ ඇමැතිවරයාම පම්පෝරි ගැසුවේ ගෑස් මිල වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. ඒ ගැන 2021 ජුලි 21 දින ‘දිවයින’ පුවත්පතේ මාධ්‍ය වර්තාවක ද සඳහන්ය. එසේ කීවත් අන්තිමට රුපියල් දහසකටත් වැඩියෙන් එකවර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා තිබේ. කිරිපිටි මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ගෑස් සමාගම් සහ කිරිපිටි ආනයනකරුවන් කලක සිටම මිල වැඩි වීම් ඉල්ලා සිටියත් ඊට අවසර නොලැබුණු බව අපට මතකය. රජයට භාණ්ඩ මිල පාලනය සම්බන්ධයෙන් මීට වඩා නිසි වැඩපිළිවෙළක් තිබුණා නම් මේ අධික මිල පීඩනය මීට වඩා අඩු කර ගැනීමට මෙන්ම එකවර ජනයාට මෙතරම් විශාල මිල පීඩනයක් මුදාහරින තත්ත්වය වළක්වා ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණි.

ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය විට අපට ඒවා ආනයනය කිරීමේ වියදම් ඉහළ යයි. එය සත්‍යයකි. ඒ නිසා එම ආනයන මිල ගණන් වලට වඩා අඩුවෙන් එම භාණ්ඩ විකුණුවොත් වන්නේ එම ආනයනකරුවන්ට පාඩු විඳ ගැනීමටය. ඒ කිසිවෙක් පාඩු විඳ ගැනීමට කැමති වන්නේ නැත. කිරිපිටි, ගෑස් වැනි භාණ්ඩවල පසුගියදා හිඟයන් ඇති වූයේ එම භාණ්ඩ ඇත්තවශයෙන්ම හිඟ වීම නිසාම නොවේ. ඔවුන්ට මිල වැඩි කර ගැනීමට අවශ්‍යතාවක් තිබූ නිසාය. එසේම එම මිල වැඩි කිරීම් සඳහා අවසර නොලැබුණු නිසාය. අනිත් අතට ඩොලර් හිඟයද භාණ්ඩ මෙරටට කලට වෙලාවට ගෙන්වා ගැනීමට බාධා ඇති කළේය. මෙරට වරායට පැමිණි කිරිපිටි තොග පවා විදේශ විනිමය හිඟය නිසා නිදහස් කර ගැනීමට බොහෝ ප‍්‍රමාදයන් ඇති විය. අනිත් අතට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල පිරිහීම නිසා ද අපගේ ආනයන වියදම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය හමුවේ සැලකිය යුතු කාලයක් භාණ්ඩ මිල වැඩි වීමට ඉඩ නොදී සිටි රජය ගිය සතියේ දී හදිසියේම ප‍්‍රධාන භාණ්ඩ කිහිපයක මිල පාලන ක‍්‍රියාමාර්ග අතහැර දැමුවේය. ඊට පෙර හාල් සඳහා උපරිම මිල නියම කිරීමෙන් ද රජය ඉවත් වුයේය. ඒ නිසා එම භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. තෙල් සංස්ථාව ඉල්ලා ඇති මිල වැඩි කිරීමත් ලබා දුන්නොත් තවත් වටයකින් භාණ්ඩ මිල ඉහළ යෑම වැළැක්විය නොහැකිය.

ඛනිජ තෙල්, ගෑස් වැනි භාණ්ඩ ආනයනය කරන්නේ බොහෝ දුරට ආණ්ඩුවට අයත් ආයතන විසිනි. තෙල් ආනයනය කරන්නේ තෙල් සංස්ථාවයි. මේ ආයතන පාඩුවට එම භාණ්ඩ විකිණීමෙන් අවසානයේ ඒ බර දැරීමට සිදුවන්නේ ද බදු ගෙවන සියලූ ජනතාවටමය. ඒ බව ද අප අමතක නොකළ යුතුය. එනම් තෙල් සංස්ථාව පාඩු ලැබූ විට එය පියවීමට සිදු වන්නේ මහාභාණ්ඩාගාරයටය. මහාභාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ මහජනයාගෙන් බදු අය කිරීමෙනි. මේ නිසා ලෝක මිල ගණන් අනුව විටින් විට මිල සංශෝධන කරන්නේ නම් ජනයාට එය දරා ගැනීමට පහසුවන අතරම ඒ අනුව වෙළෙඳපොළේ හැඩගැසීම් ද සිදු වේ. එනම් භාණ්ඩ මිල ඒ ඒ අවස්ථාවේ වෙනස් වීමෙන් ඒවා භාවිතයේ ද වෙනස්කම් සිදු වේ. එනම් තෙල් මිල වැඩි වීමෙන් තෙල් භාවිතය අඩු වීමට බලපෑමක් ඇති වේ. ඇත්තවශයෙන්ම තෙල් වැනි විශාල වියදමක් දැරීමට සිදුවන ආනයන වියදම් අප විසින් කිසියම් සීමා කර ගැනීමක් සිදු කර ගැනීම අවශ්‍ය දෙයකි. මේ සඳහා අපගේ දුම්රිය සහ බස් රථ පොදු ප‍්‍රවාහනය ද අප විසින් දියුණු කරගත යුතු වේ. එසේ නොවීම නිසා වන්නේ සෑම කෙනෙක්ම පෞද්ගලික වාහන පරිහරණයට යොමු වීමයි.

ආනයනකික භාණ්ඩ රටට ගෙන්වා ගැනීමට විදේශ විනිමය අවශ්‍ය වෙයි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ අපගේ සංචාරක ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක පමණ විනිමය ආදායමක් අපට අහිමිව තිබේ. එසේම අපට විශාල ණය වගකීම් පියවීමට සිදුව තිබේ. මේ විශාල ණය පියවීම් සිදු කිරීමට තිබෙන නිසා සහ ඒ සඳහා අපට විදේශ සංචිත ප‍්‍රමාණවත් ලෙස නොමැති වීම නිසාත් කොරෝනා වසංගතය හමුවේ වෙනත් රටවලට වඩා වැඩි පීඩනයකට අපට මුහුණ දීමට සිදුව තිබේ. මේ වන විට අපගේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් දක්වා පහත වැටී මේ වන විට ශුද්ධ විදේශ වත්කම් පවතින්නේ ඍණ මට්ටමකය. මෙසේ අපට විදේශ සංචිත හිඟ වූ නිසා මේ ආර්ථික බලපෑම්වලට දැඩිව මුහුණ දීමට ද සිදුව තිබේ. අපේ රුපියල ද දිනෙන් දිනම පිරිහීමට ලක් වූ අතර ඒ නිසා එම බලපෑම් ද අපේ ආනයන වියදම් ඉහළ යෑමට හේතු වී තිබේ. පොදුවේ ගත් විට බොහෝ රටවල පාරිභෝගික මිල උද්ධමනයේ ඉහළ යෑමක් සිදුව ඇත. වසංගත තත්වය නිසා භාණ්ඩවල ඉල්ලූම් හා සැපයුම් තත්වයන්ගේ නොගැලපීම් ද මෙයට ප‍්‍රධාන හේතුවකි. මේ අනුව ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම නිසා අපගේ එම ආනයනික භාණ්ඩවල දේශීය මිල ගණන් වැඩි කිරීමට සිදුව ඇත. මෙලෙස ලෝක වෙළෙඳපොළේ විශාල වශයෙන් මිල ඉහළ ගිය භාණ්ඩ අතර ඛනිජ තෙල්, ගෑස් සහ ගල් අඟුරු වැනි බලශක්ති නිෂ්පාදන, ආහාර වර්ග මෙන්ම නැව් ගාස්තු ද ප‍්‍රධාන වශයෙන් ඇතුළත් වේ. මේ නිසා නැව් ගාස්තු ඉහළ යෑම ද ලෝක මිල ගණන් ඉහළ යෑමට අමතරව අපගේ ආනයන වියදම් වැඩි වීමට හේතු වී ඇත. විශේෂයෙන් මේ වර්ෂය තුළ මේ වන විට බොරතෙල් මිල ගණන් සියයට 62.2 කින් ද, එල්පී ගෑස් මිල සියයට 74.4 කින් සහ ගල් අඟුරු මිල සියයට 202.3 කින් ඉහළ ගොස් තිබෙන අතර ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර මිල දර්ශකයේ ( FAO Food price index ) ඉහළ යෑම අනුව මේ ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑම පැහැදිලි වේ. දැනට පවතින මිල පීඩනයන් ගැන මහ බැංකුව පසුගියදා නිකුත් කළ ඔක්තෝබර් මස මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

කිරිපිටි, ගෑස්, පාන්පිටි සිමෙන්ති මිල ඉහළ ගිය හැටි මෙන්න

‘‘ඉහළ මට්ටමක පවතින ආහාර උද්ධමනය සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය යම් ඉහළ යෑමක් වාර්තා වීම හේතුවෙන් මෑත මාස කිහිපය තුළ උද්ධමනය ඉහළ ගියේය. ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉවත් කිරීමට රජයට සිදුවිණි. මෙම හේතුව සහ මෙමගින් ඇති වන සෙසු වෙළෙඳ පොළ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් නුදුරු කාලීනව මතුපිට උද්ධමනය අපේක්ෂිත මට්ටම්වලින් තරමක් වෙනස් විය හැකිය. එවැනි නුදුරු කාලීන සැපයුම් අංශයේ ප‍්‍රවණතා මුදල් ප‍්‍රතිපත්තිය දැඩි කිරීමට බලනොපාන අතර පොලී අනුපාතික සහ වෙළෙඳ පොළ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති පියවර මැදිකාලීන ඉල්ලූම් පීඩනයන්හි බලපෑම අවම කිරීමට උපකාරීවනු ඇත.’’

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, පසුගියදා (2021 ඔක්තෝබර් 13) පැවති රැස්වීමේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කළ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4.00 ක මට්ටමේ නො වෙනස් ව පවතී. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණ බව මහ බැංකුව පවසයි. ඉදිරි කාලය තුළ දී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වන අතරම සුදුසු ක‍්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කර තිබේ.

ජලයේ අමාරුවෙන් ඔබාගෙන සිටි රබර් බෝලයක් එකවිටම අතහැරියා වැනි තත්වයක්, මෙසේ මිල පාලන උත්සාහයන් රජය විසින් එකවර අතහැර දැමීමෙන් ද සිදුව තිබේ. මේ අනුව භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමේ රජයේ සියලූ උත්සාහයන් අසාර්ථක වී තිබෙන බව පැහැදිලි වෙයි. රජය පැනවූ උපරිම මිල සීමා හරිහැටි ක‍්‍රියාත්මක වූයේ නැත. දැන් සීනි සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයක් උද්ගතව තිබේ. එනම් වෙළෙඳපොළේ බොහෝ තැන්වල සීනි දැන් රජයේ උපරිම මිලට දක්නට නැත. මේ ක‍්‍රියාමාර්ග නිසා අවසානයේ වූයේ විශාල දරාගත නොහැකි දැඩි මිල පීඩනයක් එකවර මහජනයා වෙත මුදාහැරීමට කටයුතු කිරීමෙන් ජනයා වඩාත්ම පීඩාවට පත් වීමයි. ක‍්‍රමානුකුලව අදාළ මිල වැඩි වීම් ඒ ඒ අවස්ථාවල සිදු වීමට ඉඩ හැරියා නම් මෙවන් තත්වයක් උදා වන්නේ නැත. එසේ නොකළ අදාළ බලධාරීන් දැන් ලෝක වෙළෙඳපොළේ මන්ත‍්‍රය ජප කරමින් සිටී. මෙසේ භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව පසුගිය දිනවල දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම විරෝධතා ද පැවැත්වුණි. රජය පසුගිය කාලයේ අනුගමනය කළ ක‍්‍රියාමාර්ග දෙස බලන විට පෙනෙන්නේ, බඩු මිල පාලනය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ස්ථිර වැඩපිළවෙළක් රජයට නොමැති බවයි. රටින් ගේන දේවල් පමණක් නොව මෙරට නිපදවන හාල් සහ එළවළු සම්බන්ධයෙන් ද රජයට හරිහමන් ප‍්‍රතිපත්තියක් නොමැති බව පෙනේ. වහාම කාබනික පොහොර භාවිතයට යොමු වීමට රජය ගත් තීරණය නිසා සිදුව ඇති ව්‍යසනය රට පුරා ගොවි උද්ඝෝෂණ වලින් පැහැදිලි වේ. මේ අනුව පොහොර නොමැති කමින් සිදුවන අස්වැන්නේ අඩු වීමෙන් මෙරට නිපදවන එළවළු සහ හාල් මිල ගණන් ද ඉහළ යනු ඇත.

මේ පසුබිම තුළ අදවන විට කොරෝනා මාරයාගෙන් බැට කමින් සිටින ජනයා මේ අසාමාන්‍ය එකවර දැරීමට අපහසු බඩු මිල වැඩි වීම නිසා බලවත් පීඩාවකට පත්ව ඇත. මිල වැඩිවීම් හරහා ජීවන වියදම ඉහළ ගියත් පසුගිය කාලයේ ජනයාගේ ආදායම් මාර්ග වැඩි වූයේ නැත. සිදුවූයේ ආදායම් මාර්ග අහිමි වීම සහ ආදායම් අඩු වීමයි. මේ පසුබිම තුළ මේ බඩු මිල ප‍්‍රශ්නය හමුවේ රජය කෙරෙහි පොදුවේ මහජන අප‍්‍රසාදය බලවත් ලෙස වැඩි වෙමින් තිබේ. වෙනත් කරුණු ගත්තත් මේ රජය බලයට පත් කළ ජනතා අපේක්ෂා පළුදු වෙමින් තිබේ.

මෙරට ප‍්‍රධාන පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පාලන ක‍්‍රියාමාර්ග අතහැරීමට කටයුතු කිරීමත් සමග එම භාණ්ඩවල පමණක් නොව පොදුවේ වෙනත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමට ද බලපෑමක් ඇතිව තිබේ. එනම් පාන් පිටි මිල වැඩි වීම නිසා පාන් ගෙඩියේ සිට සියලූ බේකරි නිෂ්පාදනවල මිල ගණන් දැනටමත් ඉහළ දමා තිබේ. ගෑස් මිල වැඩි වීම ද බේකරි නිෂ්පාදන ඇතුළු අනෙකුත් සියලූ ආහාර වර්ගවල මිල ගණන් වැඩි වීමට මෙන්ම ජනයාගේ ජීවන වියදම වැඩි කරනු ලබයි. මේ මිල වැඩිවීම් සිදු කිරීමට පෙර සිටම තෙල් මිල ඉහළ ගියේය. පාලන මිල ඉවත් කිරීමත් සමග මුලින්ම ඉහළ ගියේ හාල් මිලය. හාල් මිල පාලනය අත හැරීමත් සමග මහා පරිමාණ මෝල් හිමියන් හාල් සිල්ලර මිල ගණන් ඔවුන් විසින්ම ප‍්‍රකාශයට පත් කළේය. ඔවුන් ඔය කියන හාල් මිල ගණන් තව කී දවසක් ඔය මට්ටමේ තබාගෙන සිටී දැයි අප දන්නේ නැත. ඒ අනුව ඉදිරි මිල වැඩි කිරීම් පාලනය කිරීමට රජයට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද ? එසේම හාල් ඇටයක්වත් ගේන්නේ නැතැයි කියා කෘෂිකර්ම ඇමැතිවරයා පසුගියදා කීවත් අන්තිමට ආණ්ඩුව හාල් ආනයනය කිරීමට ද පියවර ගෙන ඇත. ආණ්ඩුව හාල් රටින් ගේන්නේ මේ රටේ හාල් හිඟ නිසා නොව හාල් මිල වැඩිවීමේ තත්වය පාලනය කර ගැනීමට විය හැකිය. එහෙත් මේ රටේ ගොවීන්ගෙන් යම් වී ප‍්‍රමාණයක් මිලට ගෙන ආරක්ෂිත සහල් තොගයක් නඩත්තු කිරීමට රජයට බැරි වීම කනගාටුවකි.

මෙසේ හාල් උපරිම මිල ඉවත් කර ගැනීමෙන් පසු තවත් භාණ්ඩ වර්ග කිහිපයකම මිල ඉහළ ගියේය. ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.2,750 ක් දක්වා වැඩි කර පසුව එම මිල රු.2,675 දක්වා අඩු කර ඇත. කෙසේ හෝ ශුද්ධ වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල එකවර රු. දහසකටත් වැඩියෙන් වැඩි වී තිබේ. ගෑස් සිලින්ඩරයක මිල එකවර මෙතරම් විශාල අගයකින් මෙතෙක් වැඩි වී නැත. මෙසේ ගෑස් මිල සියයට 80 කින් පමණ වැඩි වී ඇත. කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 93 කින් වැඩි විය. පාන් පිටි වැඩි වීමත් සමග පාන් ගෙඩියක් රුපියල් 5 කින් සහ අනෙකුත් පාන් පිටිවලින් හදන බනිස්, මාළු පාන් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ද වැඩි වී ඇත. එසේම ආපනශාලාවල අලෙවි කෙරෙන බත් පාර්සලයේ, ප්ලේන්ටියේ සිට සියලූම ආහාර ද්‍රව්‍යවල අලෙවි මිල ඉහළ දමා ඇත. මෙසේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළ යෑමත් සමඟ රට වැසීමේ ක‍්‍රියාමාර්ග නිසා ආදායම් මාර්ග අහිමිව සිටින පාරිභෝගික ජනයා බලවත් දුෂ්කරතාවට මුහුණ දී ඇත. එසේම මිල ඉහළ දැමීමත් සමග තවමත් ඇතැම් භාණ්ඩවල හිඟයක් ද වෙළෙඳපොළේ පවතී. ඉහළ දැමූ වැඩි මිලට පවා ජනයාට කිරිපිටි ගැනීමට සිදු වූයේ ද පෝලිම්වල සිටිමිනි. එහෙත් මිල වැඩි කළ නිසා වහාම මේ හිඟය නම් නැතිව යනු ඇත.

නගරවල සිටින ජනයා පමණක් නොව අද ගමේ සිටින ජනයා පවා බොහෝ දුරට ගෑස් භාවිතයට හුරුව සිටිති. ගමේ ජනයාට තරමක් දුරට හෝ දර ටිකක් සොයාගෙන ආහාර පිස ගත හැකිය. එහෙත් නාගරික ජනයාට තිබෙන විකල්පය කුමක්ද? විශේෂයෙන් නාගරික මහල් නිවාසවල සිටින ජනයාට ගෑස්වලින් ආහාර පිස ගන්නවා හැර වෙනත් විකල්පයක් නැත. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වූ විට ඒවා අඩු මිලට දීමට අපහසු බව ඇත්තය. එහෙත් ලෝක මිල ගණන් අඩු වූ විට මේ ආණ්ඩුව තෙල් මිල අඩු කරේ නැත. ජනයාට ඒ සහනය ලබා දුන්නේ නැත. ඒ වෙනුවට තෙල් ස්ථායිකරණ අරමුදලක් කියා එකක් පිහිටුවාගෙන ඒ සල්ලි ටික දමාගෙන ඒවා යෙදවූයේ පසුව වැඩි වූ තෙල් මිල ස්ථායිකරණයට නොව වෙනත් දේවල් වලටය. මේ නිසා දැන්වත් රජය හරිහමන් මිල පාලන ප‍්‍රතිපත්තියක් ඇති කරගත යුතුව තිබේ. එකවර උපරිම මිල ගණන් ඉවත් කර මිල තීරණය කිරීම වෙළෙන්දන්ටම පවරා දීමට රජයට සිදු වූයේ රජයට මේ සම්බන්ධයෙන් හරි හමන් වැඩපිළිවෙළක් නොමැති නිසාය.

මෙවැනි අමාරු අවස්ථාවක දරා ගැනීමට අපහසු විශාල මිල ඉහළ යෑමකට එකවර රජය ඉඩ දීම ජනයාට බලවත් අපහසුතාවකට ඇද දමා ඇත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම අනුව මීට පෙර කිසියම් මිල ඉහළ යෑමක් සඳහා විටින් විට ඉඩ දුන්නා නම් මේ විශාල මිල පීඩනය එකවර ජනයාට මුදාහැරීමට සිදු නොවනු ඇත. මෙයට හේතුව ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑමේ ප‍්‍රශ්නයම නොවේ. වෙළෙඳ අමාත්‍යංශය ඇතුළු රජයේ අදාළ අංශවලට නිසි ප‍්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති වීමේ

ගැටලූව ද තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීම අනුව මිල වෙනස් කරන්නට නම් ආණ්ඩුවක් මොකටද කියා එදා අහපු අයම රටේ ජනයාට දැන් ලෝක වෙළෙඳපොළේ මන්ත‍්‍රය ජප කරමින් ආර්ථික පම්පෝරි ගසමින් සිටී. එහෙත් රටේ බඩු මිල ප‍්‍රශ්නය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට මේ අය අසමත් වී තිබේ. එසේම රජය වැරදි ලෙස කඩිමුඩියේ කාබනික පොහොර ප‍්‍රතිපත්තියකට යෑම නිසා දැනටමත් ගොවි ජනයාට සහ රටේ ආහාර නිෂ්පාදනයට ද බලවත් හානියක් කර තිබේ. මේ දිනවල් ගොවි ජනයා ඒ අදෝනාව නගමින් සිටින අතර මේ තත්ත්වය රටින් ගෙනෙන ආහාර ද්‍රව්‍යවල පමණක් නොව මෙරට නිපදවන දේවල්වල පවා මිල වැඩි වීමට හේතුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment