ලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසීයවසක දුඛ්‍ය සත්‍යය

ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය

වතු රෝහල්වල දොස්තරලා නැහැ අනෙක් සේවකයෝ නැහැ බෙහෙත් නැහැ අනිත් උපකරණ නැහැ

රත්නපුරේ පාසල් ගුරු එම්.චන්ද්‍රකුමාර්

එදා අපේ මිනිස්සුන්ව තමිල්නාඩුවේ ඉඳන් මෙහෙ ගෙනැවිත් වතු ලයිම්වලට කොටු කළා. අදත් අපේ ජීවිතය තියෙන්නේ ඒ තත්ත්වයේම තමයි

බදුරලිය අස්ක්වැලිය වත්තේ එස්.පත්මනාදන්

යටත් විජිත පාලකයන් විසින් පළමුව කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත් දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සියවස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන් ගැන වැඩි අවධානයක් තිබුණ ද ඒ හා සමාන අර්ධ වහල් කම්කරු ප්‍රජාවක් වූ රබර් වතු කම්කරුවන් කෙරෙහි පවතින සැලකිල්ල අවමය.

ඔවුහු ද මෙරටට ගෙන එන ලද යුගයේ සිට ම නොසලකා හරිමින් ද යටත් භාවයටත් පාත්‍ර කරමින් ද පුරවැසි පනත්, හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී අණපනත් ඔස්සේ මර්දනය කරමින් ද ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය ත්‍රස්තවාදය, ජනපදකරණය, ආදී පිළිවෙත් මගින් වෙනස් ලෙස සැලකීමට භාජනය කරමින් ද දීර්ඝ කාලීන පීඩනයකට පාත්‍ර වූහ.

ශ්‍රම සූරාකෑමේත්, ජාතික පීඩනයෙත් ගොදුරක් බවට පත්කොටගත් ඔවුහූ, සියවස් දෙකකට වැඩි කලක සිට ලේ, කඳුළු, දහදිය කැප කොට ඇතැම් අවස්ථාවන්හී ජීවිත පවා පුදමින් ලංකා ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබාදෙමින් අවම ජීවන තත්ත්වයක් යටතේ අදටත් දිවි ගෙවති. එහෙත් ඔවුන් විසින් ලංකා ආර්ථිකයට එක් කළ අතිරික්ත වටිනාකම නිසා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වුවද, ඒවා වතු කම්කරුවන් කරා ළඟා වූයේ නැත. අදටත් ඔවුන්ට මෙරට බිම් අඟලක අයිතිය නොමැත. ජීවන වියදමට සරිලන වැටුපක් නොමැත.

රබර් වගාව ඇරඹීම.

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු

දකුණු ඇමෙරිකානු ඇමසන් වනයේ හටගත් රබර් ගස නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදන බ්‍රසීලයේ ඉමහත් ප්‍රචලිත වන්නට විය. 1876 දී වාණිජ වැවිල්ලක් ලෙසින් ආසියානු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට හඳුන්වා දෙන්නට පුරෝගාමී වූයේ ශ්‍රීමත් හෙන්රි වික්‍රම් [SIR HENRY WICKHAM] විසිනි. ජෝර්ජ් තවිටෙස් [GORGE THWAITES] 1881 දී හෙනරත්ගොඩ [ගම්පහ] උද්‍යානයේදී මෙරට පළමු රබර් පැළය රෝපණය කරනු ලැබිණි. එහෙත් ඒ වනවිටත් සාර්ථකව පැවැති තේ වගාව හේතුවෙන් එතරම් වේගයෙන් ප්‍රචලිත නොවුණ ද 20 වැනි සියවස උදාවත් සමගින් ඇරඹි මෝටර් රථ කර්මාන්තයේ වර්ධනයත් සමගින් තෙත් කලාපය ආශ්‍රිතව රබර් වගාව පැතිර යන්නට විය. පසුව ප්‍රධාන අපනයන බෝග අතර තේවලට පමණක් දෙවැනි වෙමින් රබර් වගාව ප්‍රචලිත වූයේ රටේ ආදායම ශක්තිමත් කරමින්ය. මේ සමගින් 1909 දී යටත් විජිත වතු හිමියන් එක්ව කළුතර දී රබර් පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන්නට විය.

1956 වසරේ දී කියුබානු විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව සමාජවාදී ආණ්ඩුවේ කර්මාන්ත ඇමැති වූ අර්නස්ටෝ චේගුවේරා ලංකාවේ සංචාරය කරමින් කළුතර දිස්ත්‍රිකයේ යහලතැන්න වත්තේ දී රබර් කර්මාන්තය ගැන අධ්‍යයනයක නිරත වීම, හැටේ දශකයේ දී එළැඹී චීන – ලංකා රබර් – සහල් ගිවිසුම ද රබර් නිෂ්පාදනය කෙතරම් වර්ධනය වූයේ ද යන්නට මනා නිදසුන් ය.

කෑගල්ල හා රත්නපුර වැඩියෙන්ම රබර් වගා කෙරෙන දිස්ත්‍රික්කයන් වේ. එනම් සබරගමුව පළාතේය. රත්නපුර දිස්ත්‍රික්කයේ රබර් වතු 435කි. ඉන් දැනට අත්හැර දමා ඇති වතු ප්‍රමාණය 51කි. කෑගල්ල රබර් වතු 354කි. ඉන් දැනට අත්හැර දමා ඇති වතු ප්‍රමාණය 61කි. කළුතර දිස්ත්‍රික්කයේ වතු -302කින් දැනට අත්හැර දමා ඇති වතු 49කි. ගාල්ල දිස්ත්‍රික්කයේ වතු 153 කි. අත්හැර දමා ඇති වතු සංඛ්‍යාව 21කි. මාතර දිස්ත්‍රික්කයේ වතු 118කි. අත්හැර දමා ඇති වතු 09කි. කොළඹ දිස්ත්‍රික්කයේ වතු 103කි. ඉන් 14ක් අත්හැර දමා ඇත. රබර් වගා කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 130,000කි.

රබර් වගාව සඳහා වැඩිම භූමි ප්‍රමාණයක් වන හෙක්ටයාර් 49,919ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. රත්නපුරය හෙක්ටයාර් 34,381කි. කළුතර හෙක්ටයාර් 32,644කි. කොළඹ හෙක්ටයාර් 9,954කි. ඊට අමතරව මොනරාගල දිස්ත්‍රිකයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක රබර් වතු පිහිටා තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 250කට වැඩි රබර් වතු පහකි.

අගලවත්ත, බළංගොඩ, බෝගොවන්තලාව, ඇල්පිටිය, හපුගස්තැන්න, නමුණුකුල, හොරණ, කහවත්ත, කෑගල්ල, කැලණි වැලි, කොටගල, මල්වත්ත, උඩුපුස්සැල්ලාව, වටවල, දුන්හිඳ රබර් වගාව සම්බන්ධ වැවිලි සමාගම් වේ.

නව කම්කරු පන්තියක්

ලංකාවේ වතු කම්කරු ඉතිහාසයේ පළමු වැඩ වර්ජනය දියත් කර ඇත්තේ රබර් වතු කම්කරුවන් විසිනි. සටන්කාමී වෘත්තීය සමිති නායකයකු වූ එම්.ජී. මෙන්ඩිස් චරිතාප්‍රදානය ලියන ලයනල් සරත් සටහන් කොට ඇත්තේ එම්.ජී. කිරන්තිඩියේ වාසයට ගොස් මාස පහක් ගතවූ තැන එහි වූ සුද්දන්ගේ වතු යායේ වැඩ වර්ජනයක් ඇරඹිණි. ඊට මඟ පෙන්වන ලද්දේත් එය සංවිධානය කළේත් ඇම්.ජී. ලෙසයි. 1938 ජූලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුළ ජයග්‍රාහිව අවසන් කළ එම සටන ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය යනුවෙන් සමසමාජය පත්‍රයේ මෙසේ වාර්තා විය.

සහෝදර එම්.ජී. මැන්ඩිස් ගේ ආධාරයෙන් ඇතිවූ අන්නාසිගල වතු කම්කරුවන්ගේ මෙම ස්ට්‍රයික් එක ලක් ඉතිහාසයෙහි පළමුවරට සිදුවූවකි. පස්දුන් කෝරළවාසී සියලුම වතු කම්කරුවන්ට මෙම සමගි බල ජයග්‍රහණය ආදර්ශයක් විය යුතුය.

අතීතයේ රබර් වතු කම්කරුවන්ගේ ජය බිමක් ලෙස එසේ සටහන් වී ඇති කළුතර දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

එදා අපේ මිනිස්සුන්ව තමිල්නාඩුවේ ඉඳන් මෙහෙ ගෙනැවිත් වතු ලයිම්වලට කොටු කළා. අදත් අපේ ජීවිත තියෙන්නේ ඒ තත්ත්වයේම තමයි, යැයි කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය අස්ක්වැලිය වත්තේ සංවර්ධන සමිතියේ සභාපති එස්.පත්මනාදන් කියයි. එහෙත් ඔහුගේ වැඩිදුර පැහැදිලි කිරීම් අනුව එදා පැවැති වාතාවරණයට වඩා අද වනවිට ඔවුන් දිවි ගෙවන්නේ ඉමහත් දුෂ්කරතා මැදය.

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම

එදා මරණයක් වුණාම පෙට්ටියට සල්ලි වත්තෙන් දුන්නා. සොහොන බඳින්න සිමෙන්ති දුන්නා. ලයිමේ මිනිස්සුන්ගේ රෙදි සෝදන්න අරන් යන්න ඩොබි සුමානෙකට වතාවක් එනවා. කොණ්ඩ කපන්න බාබර් එනවා. එයාලට පඩි දෙන්නේ වත්තෙන්. කෝවිල් උත්සවේ වියදම් දරන්නේ වත්තෙන්. පඩියෙන් කපා ගන්න සහන මිලට වියළි ආහාර දුන්නා. අද ඒ කිසිම සහනයක් නැහැ. පද්මනාදන්ට අනුව සහන කප්පාදුව සෑම රබර් වත්තකට ම පොදු වූවකි. ඉහළ යමින් තිබෙන ජීවන වියදම හමුවේ වැඩ කරන දිනකට ගෙවන රුපියල් 900ක සොච්චම් වැටුප මේ කම්කරුවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වතු කම්කරුවන්ට වැඩි කරනු ලැබූ දෛනික වැටුප රුපියල් දහස ඔවුන්ට අහිමිය.

සිය දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක්, ඔහුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සහ ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පිළිකාවක් වැළඳීමෙන් විසිහතර වසක කිරි කැපීමේ සේවයට සමු දුන් සෙල්වී පවසන්නීය.

දැන් මහත්තයා විතරයි වැඩ. ඒත් වත්තේ වැඩ හැම දාම නැහැ. වහින දවසට මුකුත්ම නැහැ.

චින්තාමණී තිස්පස් වසරක් පුරා මාවතගම මොරතැන්න වත්තේ රබර් ගහින් ගහට ගොස් යුහුසුලුව කිරි එක්කාසු කරනා ජව සම්පන්න ස්ත්‍රියකි. දැනට විසිපස් වසරකට පෙර තේ වගා බිමක් වූ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර භූ ගෝලීය පිහිටීමක ඇති මොරතැන්න වත්තේ ද අනෙකුත් රබර් වතුවල මෙන්ම කිරි කැපීමේදීත්, කිරි එකතු කිරීමේදීත් ප්‍රමුඛ වන්නේ ස්ත්‍රීන්ය.

උදේ ම ගස් 300ක කිරි කට්ටි කපන්න ඕනේ. පස්සේ පැයකින් විතර කිරි එකතු කරන්න ඕනේ. කිරි බාල්දි උස්සා ගෙන කඳු බෑවුම් නැඟලා බැහැලා යන්න වෙනවා ගහින් ගහට. ඔය වෙලාවට අපේ අය වැටිලා තුවාලත් වෙනවා. ඒ මදිවට කූඩැල්ලෝ, සතා සර්පයෝ කනවා. එහෙම වෙලත් අපිට දවසේ පඩිය ලැබෙන්නේ රුපියල් 900යි. ඒක මදි ජීවත් වෙන්න.

උදෑසන හයට පමණ ආරම්භ කෙරෙන ඔවුන්ගේ දෛනික රාජකාරී සවස හතර පහ වනවිට අවසන් වන්නට නියමිත වුවද රබර් කිරි රැගෙන යන බවුසරය පැමිණීමට ප්‍රමාද වුවහොත් තවත් අතිරේක කාලයක් වැය කරන්නට ඔවුන්ට සිදු වේ. හාල්, පිටි, සීනි හැම දෙයක්ම මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඒත් අපේ කම්කරුවන්ගේ පඩිය වැඩි වෙලා නැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා මේකට විසඳුමක් දෙන්න ඕනේ. ජීවන වියදමට සරිලන වැටුපක් අවශ්‍ය බව තිදරු මවක් වූ චින්තාමණී අවධාරණය කරන්නීය.

දෙමාපියන් දෙදෙනාම රබර් වත්තේ රාජකාරි කළත් උපයන මුදල එදිනෙදා වියදමට මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමටත් ප්‍රමාණවත් නොවේ. එම නිසා ඇතැම්දෙනා වත්තෙන් පිට කුලී වැඩ සොයාගෙන යෑමේ ප්‍රවණතාවක් පවතී. පාසල් අධ්‍යාපනය ලබන වයස් සීමාවේ පසුවන ළමුන් තිදෙනකු සිටින මොරතැන්න වත්තේ රංජනී කුමාර් ද ගෙවා දමන්නේ ඉතාමත් දුෂ්කර දිවි පෙවෙතකි.

2004 අවුරුද්දේ ඉඳලා මම වත්තේ වැඩ කරනවා. දවස් 30ම වැඩ කළොත් ඊ.පී.එෆ්. ඊ.ටී.ෆ් කැපිල, යූනියන් එකට කැපිලා අතට ලැබෙන්නේ රුපියල් විසිහතර දාහක් වගේ ගාණක්. ඒක මදි ළමයින්ගේ වැඩ කරන්න. එක්කෙනෙක් ‘ඒ’ ලෙවල් කරනවා. අනිත් කෙනා ‘ඕ’ ලෙවල් කරනවා. පොඩි දුව හයේ පන්තියේ. මහත්තය මේසන් වැඩ හොයාගෙන යනවා.

සෞඛ්‍ය හා ආරක්ෂණය

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
රබර් වත්තක පිහිටි කුඩා වතු රෝහලක්

රබර් කර්මාන්තයේ දී රසායනික ද්‍රව්‍ය යොදාගන්න අවස්ථා බහුලය. විශේෂයෙන් ඇමෝනියා භාවිතය රබර් කම්කරුවන්ට අවදානමක් ගෙන එන්නකි. හම පිළිස්සීම හා සුදු මැලිවීම, ඇස් පිළිස්සීම, නාසයේ හා උගුරේ ආබාධ, දෘශ්‍ය ආබාධ ඇතිවීම, අත් ඇඟිලි තුවාල හා කැපීම් ආදිය ඇති වීමේ අනතුරක් පවතී. ඊට අමතරව සතුන් සපා කෑමේ තර්ජනය රබර් වතු කම්කරුවන් කෙරෙහි ප්‍රබලව බලපාන්නකි.

එමෙන්ම රබර් කර්මාන්තයේ දී රසායනික ද්‍රව්‍යවලින් මෙන්ම විදුලිය කාන්දු වීම් නිසා ද අනතුරු සිදුවීමේ හැකියාව වැඩිය. මෙසේ විදුලිය කාන්දු වීමක් හේතුවෙන් 2018 වසරේ දී ගාල්ල බෝගහගොඩ කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම ගිනිබත් විණි. රසායනික ද්‍රව්‍ය මුසු අප ජලය පරිසරයට මුදා හැරීම නිසා බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කම්හලක් වසා දැමුණේ එම වසර තුළම ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ලෝක කම්කරු සංවිධානයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියා කරන බවට මෙරට රබර් කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම් ඔවුන්ගේ වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කළ ද වැඩබිමේ දී ඒ කිසිවක් යථාර්ථයක් වී නොමැත.

අත් වැසුම්, පාවහන්, හිස් වැසුම් ආරක්ෂිත ඇඳුම් තමන්ට නොලැබෙන බව කුරුණෑගල, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, ආදී සෑම ප්‍රදේශයකම කම්කරුවන්ගේ පිළිතුරයි. වැඩබිමේ සෞඛ්‍ය හා ආරක්ෂණ පිළිවෙත් ගැන ඔවුන්ට අවබෝධයක් නොමැති තරම්ය. ඔවුන්ගේ මේ අයිතීන් ගැන දැනුවත් කිරීමට වෘත්තීය සමිති දක්වා ඇත්තේ ද උදාසීන බවකි.

වතු රෝහල්වල තත්ත්වය ඉතාමත් ශෝචනීය. බොහෝ වතු සමාගම් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති තරම්ය.

වතු රෝහල්වල දොස්තරලා නැහැ. අනෙක් සේවකයෝ නැහැ. බෙහෙත් නැහැ. අනිත් උපකරණ නැහැ.

ගොඩක් රෝහල් වසා දමලා. විශේෂයෙන් ළමා හා වැඩිහිටි සෞඛ්‍ය කෙරෙහි අවධානයක් නැහැ යැයි රත්නපුරේ පාසල් ගුරුවරයකුවන එම්.චන්ද්‍රකුමාර් පවසයි. ඔහු දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ද වෙයි.

වතු අධ්‍යාපනය

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම

දශක ගණනාවක් පුරා තමන්ගේ මුතුන් මිත්තන් ගේ සිට කර ගෙන එන කිරි කැපීමෙන් සිය දුවා දරුවන් මුදා ගනිමින්, වඩාත් හොඳ සමාජ තත්ත්වයක් හා ජීවන මාර්ගයක් ලබාදීම මෙහි සෑම දෙමාපියකුගේම අරමුණ වී තිබේ. ඔවුන්ගේ සිහින සැබෑ කර ගන්නට හැකි එකම මාර්ගය වන්නේ හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමයි. එහෙත් වතු පාසල් අධ්‍යාපනයේ පවතින දුර්වල තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි පරම්පරාව ද වත්තේ ලයිම් කාමරවලට ම සීමා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

රබර් වතු කම්කරුවන් වැඩිවශයෙන් වෙසෙන රත්නපුරේ දිස්ත්‍රිකයේ දෙමළ මාධ්‍ය අධ්‍යාපනය ඇත්තේ ඉතාමත් සෝචනීය තත්ත්වයකය. නිවිතිගල දොළොස්වල වත්තේ කම්කරු පවුලකට අයත් අන්තෝනි මන්සිල්මනි දිස්ත්‍රිකයේ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට උත්සහා ගන්නා උද්යෝගිමත් තරුණයෙකි.

සාමන්‍ය පෙළ දක්වා පාසල් 40ක් තිබ්බත් අපේ ළමයින්ට විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වගේම තාක්ෂණික විෂයන්වලට ගුරුවරු නැහැ. ඒ ලෙවල් කවුරු හරි පාස් කළොත් ඒ ඉතින් කලා විෂයන්වලින් විතරයි. රත්නපුරේ උසස් පෙළ තියෙන දෙමළ පාසල් 22ක් තියෙනවා. ඒත් විද්‍යා-ගණිත විෂයන් නැහැ. නුවර, කොළඹ පාසල්වලට අපේ ළමයි ගන්නේ නැහැ. ඔහු පවසන්නේ වේදනාවෙනි. එහෙත් සිවිල් සමාජ සංවිධාන එක්ව වතු පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ උපකාරක පන්ති පවත්වමින් මන්සිල්මනි අනගි කාර්යක් ඉටු කරමින් සිටී.

බළංගොඩ,කහවත්ත, පුස්සැල්ල, අගලවත්ත, දුන්හිඳ සහ මතුරට සමාගම් යටතේ පාලනය වන රබර් වතු 20කි. ඇතැම් වතුවල තේ සහ රබර් බෝග දෙවර්ගමය සමන්විත වන අතර කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් බහුතරය කුඩා තේ වතු හිමියන්ය.

වත්තේ ළමයි කිව්වාම

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
දේවරාජ්
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
පත්මනාදන්

විද්‍යාගාරවලට, පිහිනුම් තටාකයට බහින්න දෙන්නේ නැහැ. මේවා ගුරුවරුත් විදුහල්පතිලත් අනුමත කරනවා. ආදී ශිෂ්‍ය සංගමයේ දී ඒ ගැන කතා කළොත් අපේ ළමයින්ට ගහන්න එනවා යැයි අස්ක්වැලිය වත්තේ වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති පත්මනාදන් පවසයි. ඒත් මීට විකල්පයක් වශයෙන් මතුගම නගරය ආසන්නයෙන් අක්කර පහක ඉඩමක් ආණ්ඩුවෙන් වෙන් කරවා ගෙන දෙමළ පාසලක් ගොඩනැඟීමට ඇරඹි උත්සහාය තවමත් ප්‍රමාද වී ඇත්තේ ප්‍රදේශයේ බහුතරයක් වූ සිංහල අධ්‍යාපන පරිපාලන නිලධාරින් විසින් අනුමැතිය ලබාදීම දිනෙන් දින පමා කිරීම හේතුවෙනි.

දෙමළ බසින් මුප්පනේ ලෙසින් වහරන 60 දශකය ආරම්භයේ දී පිහිටු වනු ලැබූ මොනරාගල දිස්ත්‍රික්කය පැරණි මාගම් රාජධානියට මෙන්ම වැදි රටට අයත් ප්‍රදේශ කිහිපයකට හිමිකම් කියන්නකි. දිස්ත්‍රික්කය පිහිටු වීමෙන් පසු බහුතරයක් නව පදිංචි කරුවන් වූයේ මාතරින් පැමිණි ආගන්තුකයෝය. මොනරාගල, බිබිල සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන අතරින් බඩල්කුඹුරේ ඇත්තේ තේ පමණක් වන අතර අනෙක් ඒවාහි බොහොමයක්ම රබර් වතුය. මොනරාගල කුමාරවත්ත ආසන්නයේ වූ අලියාවත්ත හා සිරිගල වත්ත ලයිම් කාමර පමණක් ඉතිරි කරමින් කැලෑවට අත්හැර දමා තිබේ.

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
රංජනී
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු
චින්තාමණී

වතු කම්කරු දරුවන් වෙනුවෙන් වූ දෙමළ මාධ්‍ය පාසල් තිබුණ ද ඒවා ගුරුවරු හිඟය හා පහසුකම් අවම වීම ඔහුන්ගේ අධ්‍යාපනය ශෝචනීය තත්ත්වයට පත් කර ඇත. බොහෝ පාසල් සීමා වන්නේ 10 වසරට පමණි. උසස් පෙළ හැදෑරීමටනම් වත්තේ සිට දුෂ්කර මාර්ග ඔස්සේ කිලෝ මීටර් හයක දුරක් ගෙවා නගරාසන්නයේ පාසලකට පැමිණිය යුතුයි. එහෙයින් ඔවුහු අධ්‍යාපනය අතර මැද අත් හැර වත්තේ කිරි කට්ටියක හෝ වෙනත් රැකියාවකට යොමු වෙති.

ඉඩම් හා නිවාස අයිතිය

ඉකුත් සියවස් දෙකම පොදුවේ වතු කම්කරු ජනතාව සිය ජීවිත ගත කරනු ලැබුවේ ලයිම් කාමර නමින් යටත් විජිත පාලකයන් හඳුන්වාදුන් වර්ග අඩි 10 ක තරම් වූ කුඩා ඉඩකඩකය. වත්තේ වැඩ ලැබුණ ද එහි නිවෙසක හෝ කිසිදු බිම් අඟලක අයිතිය මෙතෙක් ඔවුන් සතු වී නොමැත. ඇතැම් අවස්ථා වලදී සිය ලයින් කාමර තම වියදමින් අලුත් වැඩියා කර ගැනීමේ හා පුළුල් කර ගැනීමට අවසරය ලැබුණත් එය ඉතා කලාතුරකින්ය.

( ශ්‍රීලංකා ඉන්ටර් නිවුස් අනුග්‍රාහයෙනි )

ඉතිරිය ලබන සතියට
සේයා හා සටහන
ඉෂංඛා සිංහආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment