කිරි, පලතුරු මැෂිමෙන් බෙහෙත් හදලා

5165

විගණනයෙන් සැකයක්

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව හෙළි වී ඇත.

අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවත් 2017-2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවත් නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බව සනාථ වී ඇතැයි ද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා තිබේ.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු නියාමන අධිකාරි අධ්‍යක්ෂ මණ්ඩලය ද හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත චන්ද්‍රගුප්ත, අතිරේඛ ලේකම්, සමන් රත්නායක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කණ්ඩායම දැනුවත්ව අදාළ සමාගමට බාල ඖෂධ ගෙන්වීමට අවසර ලබාදී ඇති බවත් එම තත්ත්වය ප්‍රශ්නගත බවත් එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ද කඩිනම් විය යුතු බවත් සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කියා ඇත.

සුජීව තත්සර, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment