කිරි බින්දුව කඳුළු බින්දුවක් වූ වගයි!

85

ලොව පුරා ඇවිලෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන් මධ්‍යයේ මුළු ලොවම මහා සාගතයක් අභියසට පැමිණීමේ අභියෝගයට මුහුණදී සිටී. ලොව සුපිරි බලවතුන් මිනිස් වර්ගයාගේ යහ පැවැත්ම ගැන ප්‍රමුඛ අවධානය යොමුකරනු වෙනුවට තම දේශපාලන ආධිපත්‍යය සඳහා ගැටුම් වැඩිකර ගනිමින් සිටීම අපි දස අතින් දකිමින් සිටිමු.

එක් පැත්තක යුක්රේන යුද ගැටුමය. අනෙක් පැත්තෙන් කිසිසේත් නිවා දමන්නට වුවමනාවක් නෙපෙන්වන, මැදපෙරදිග කලාපයේ දිගින් දිගටම සිදු කරමින් සිටින්නා වූ ගැටුම්ය. දැන් ඒ ගැටුම් ආසියා – පැසිපික් කලාපය තුළද මතුකෙරෙන ලකුණු පහළ වෙමින් පවතී.

ජාත්‍යන්තර බල තුලනය වෙනස් කිරීමට ගන්නා වූ උත්සාහයන් පිටුපස සිටින බලවේගයනට රතු එළිය දල්වන්නා වූ සමුළුවක් පසුගිය සතියේ ආසියාවේ පැවැත්විණ. ඒ ජපානයේ ටෝකියෝවේදීය. ඒ අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවේ සහභාගීත්වයෙනි. මේ රටවල් දැන් හැඳින්වෙන්නේ “ QUAD Nations” හෙවත් “ක්වාඩ් රටවල්” ලෙසිනි. ඇතැමුන් මේ සංවිධානය ආසියාවේ නේටෝ (NATO) සංවිධානය ලෙසින් හඳුන්වන්නට පටන්ගෙන ඇත.

1940 ගණන්වලදී ඇරඹුණු නේටෝ සංවිධානයේ ආරම්භක අරමුණ වූයේ, ජර්මනිය වැනි අධිපතිවාදී බලවේගයන්ගෙන් බටහිර යුරෝපය ස්ථාවර ලෙසින් ආරක්ෂා කර ගැන්මේ සංවිධානයක් නිර්මාණය කරගැන්මයි. සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් කඳවුර ප්‍රබලව සිටි අවධියේදී ඒ සීතල යුද්ධය හේතුවෙන් මේ සංවිධානයේ පැවැත්ම තවදුරටත් අවශ්‍ය ලෙසින් සැලකිණ.

සෝවියට් කඳවුරේ බිඳවැටීම සමගින් කොමියුනිස්ට් කඳවුරේ තර්ජනය පහව යෑම හේතුවෙන් තවදුරටත් බටහිරට මේ සන්ධානය (NATO) අවශ්‍යද යන ප්‍රශ්නය මතුවී තිබිණ.

එසේ වුවද 1999 දී වොෂින්ටන්හිදී නිකුත් කරන ලද හයවන උපායමාර්ගික සංකල්පය, නේටෝ සංවිධානයේ සන්ධිස්ථානයක් සටහන් කරයි. ඉන් සිදුවූයේ, යුරෝපය මුල්කරගත් සංකල්පය වෙනුවට, “Global Security Provider” හෙවත් “ගෝලීය ආරක්ෂාව සපයන්නා” භූමිකාවකට නේටෝ සංවිධානය ප්‍රවේශ වීමය.

මේ අනුව රුසියාවේ විරෝධය නොසලකා චෙකෝස්ලෝකියාව, හංගේරියාව, පෝලන්තය නේටෝ සංවිධානයට ඇතුළත් කර ගැන්ම සිදුවිණ. මේ අනුව බටහිර යුරෝපයේ ආරක්ෂාව මුල්කරගත් සන්ධානයක් වෙනුවට, Global Security Provider අරමුණට යෑමේ නව ප්‍රවේශයට අනුව ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිවන සටනද මේ සන්ධානයේ එක් බැඳීමක් වීම සිදුව ඇත.

මේ පසුබිම පසුගිය සතියේ ජපානයේ පැවති ආසියාතික හමුව සිදුවන කාල පරාසය තුළ ජපානයට ආසන්න මුහුදු තීරයේ චීනය සහ රුසියාව ඒකාබද්ධව ගුවනින් ආරක්ෂක අභ්‍යාසවල යෙදීම සිදුවිණ. මෙම මෙහෙයුම ජපානයේ සීමාවන් තුළට නොපිවිසුණද, එය ජපානය සැලකුවේ ප්‍රකෝප කිරීමක් ලෙසිනි. අමෙරිකානු ජනපති බයිඩන්ගේ ආසියානු කලාපය තුළ ගත කළ මේ දිනවල උතුරු කොරියාව දෙසින්ද මෙවැනිම හැසිරීමක් ගැන මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ අතර මාධ්‍යවේදියෙකුගේ පැනයට පිළිතුරු දෙමින්, මෙම ආසියානු සංචාරය අතරතුර ජනාධිපති බයිඩන් තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට චීනය දැඩි කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත. බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වුවහොත් තම බලය පාවිච්චි කිරීමට පසුබට නොවන බවයි.

ලෝකයේ දේශපාලන ආධිපත්‍ය සඳහා ලෝක බලවතුන්ගේ මේ ගැටුම්, ලොවපුරා ගිනිදැල් දල්වමින් සිටින පසුබිමක, මිලියන දෙසීයකට අධික ජනතාවක් ලොවපුරා බරපතළ ලෙසින් බඩගින්නේ අභියෝගයට මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තයන් ලොවට හෙළිකර සිටී.

පසුගිය දිනවල පැවැති World Economic Forum හෙවත් ලෝක ආර්ථික සමුළුව ඇමතූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී Kristalina Georgieva ප්‍රකාශ කර සිටියේ, “ ලොව පුරා සිදුවෙමින් පවතින මෙම ගැටුම් හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට නැගෙමින් පවතිනවා” යන්නයි.

ලොවපුරා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්ව ඇති මේ අවාසනාවන්ත තත්ත්වයන් මැද, ලොවපුරා අවුලුවා ඇති මේ යුද

ගිනි සහ ගැටුම් අත්හිටුවා සාමකාමී වාතාවරණයක් ඇතිකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම තුළින් යම් ක්‍රියාදාමයකට අප්‍රමාදව ප්‍රවේශවීම සඳහා ලොවපුරා සිටින රටවල් බල කර යුතුව ඇත.

රටක් වශයෙන් ශ්‍රී ලංකාවද මේ ජාත්‍යන්තර තත්ත්වයන් හොඳින් අවබෝධ කරගත යුතුව ඇත. පසුගිය කාලය තුළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරව අපේ පාලකයන් අනුගමනය කළ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තියද ජාත්‍යන්තර තලය තුළ හැම පැත්තකින්ම බැට කන පාපන්දුවක් බවට ශ්‍රී ලංකාව ගොදුරු කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවිණ.

චිංගිස් ආයිත්මාතාව් ලංකාව ගැන මෙසේ කීවේය. “ශ්‍රී ලංකාව යනු ඉන්දියාව නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බින්දුවකි. එහෙත් ඒ කිරි බින්දුව අද කඳුළු බිංදුවක් වී තිබේ. සෞභාග්‍යය සිහිනයකට හසුවී ගොස් අභාග්‍යය දොරින් දොරට ගොඩ වැදී තිබේ.”

පසුගිය දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී Kristalina Georgieva ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් මේ සටහන සමාප්ත කරන්නට කැමැත්තෙමි.

“කලක් තරමක සමෘද්ධිමත් දේශයක්ව පැවැති ශ්‍රී ලංකාවේ අද සිදුවෙමින් පවතින දෑ පිළිබඳ පින්තූරය දකින කල මගේ හදවත කම්පා වෙනවා. එය පැහැදිලිවම වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක්මය. දැන් සිදුවිය යුතු ඉතා වැදගත්ම දේ වන්නේ රට නැවත තිරසාර, නිවැරදි ආර්ථික ප්‍රවේශයකට යෑමයි. අප්‍රමාදව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණයකට යා යුතු වෙනවා. මේ ඉදිරි සියලු කටයුතුවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දෙන්නට අපි අපේකෂා කරනවා. ”

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment