ඔබ වෙනුවෙන් අද ඉදිරිපත් කරනුයේ පිළිසිඳගත් දරු සම්පතක් වෙනුවෙන් නිවැරදිව පත්තිනි මෑණියන්ට බාරයක් වෙන ආකාරය පිළිබඳවයි.
විශේෂයෙන්ම දරුවකු කුස තුළ සිටින මවක් නොකළ යුතු අකැප දේවල් බොහෝමයකි. පොල් ගැසීම, පොල් බිඳීම, බිත්තර කැඩීම සහ තැම්බීම ද නොකළ යුතු බව අතීතයේ සිට එන පිළිගැනීමකි. එමෙන්ම එම වකවානුව තුළ ගැබිනිය ජීවත් වන නිවසේ ඇණ ගැසීම, වහලය වෙනස් කිරීම, බිත්ති බැඳීම ද සිදු නොකරයි. එසේම එම තැනැත්තියට දෙහි කැපීම ද හොඳ නැත. ඇතැම් ප්‍රදේශවල නූල් ගැට ගැසීම පවා සිදු නොකරයි. මෙයින් අදහස් කරනුයේ හිරකිරීම්, බිඳීම් හොඳ නැති බවයි. ඒ තුළින් මවට දරු ප්‍රසූතියේදී යම් බාධක අවහිරවලට ලක්වීමට ඉඩ ඇති බවත් දරුවාට ද ඉන් අනිටු ප්‍රතිඵල අත්වීමට හැකියාව ඇති බව අතීතයේ සිට එන පිළිගැනීමයි. අපේ උතුම් ප්‍රාර්ථනාව නිරෝගී දරු සම්පතක් මෙලොවට බිහිකර ගැනීමයි.
එහිදී මව ද අතහැර සැලකිය නොහැකිය. මේ දෙදෙනාම නිරෝගීව කරදරයකින් බාධකයකින් තොරව සිටීම වැදගත්ය. එසේ හෙයින් අද අප ඔබට කියා දෙන්නේ ගෙදරදීම නිවැරදිව මෙවැනි බාරයක් වන ආකාරය පිළිබඳවයි.
නිදන කාමරයක හෝ වැසිකිළි අසල වැනි අපිරිසුදු ස්ථාන නොමැතිව නිවසේ පිරිසිදු ස්ථානයක් තෝරා ගන්න. මේසයක් මත සුදු හෝ කහ පාට පිරිසිදු රෙදි කැබැල්ලක් එළන්න. තිබේ නම් පත්තිනි මාතාවගේ පින්තූරයක් හෝ පිළිමයක් ඒ මත තබන්න. ඒ ඉදිරිපසින් එළඟිතෙල් පහනක් සකස් කර ගන්න. පර නොවූ කහ මල් කිහිපයක් ද හඳුන්කූරු ද තබන්න. ඊසාන දිසාව බලාගෙන මේ පහන දැල්වීමට සකස් කර ගන්න. පිරිසිදු කැකුළු හාල් කැට දෙකක පමණ ප්‍රමාණයක් පිරිසිදු මැටි භාජනයකට දමාගන්න. දැන් පඬුරක් ගැට ගැසිය හැකි ප්‍රමාණයේ සහ අඩියක් දිග අඩි භාගයක් පළල ප්‍රමාණයේ තවත් පිරිසිදු රෙදි කැබැලි දෙකක් ද කහ වතුරෙන් සේදූ පඬුරක් ද (තඹ කාසියක් සුදුසු නැත.) සූදානම් කරගන්න.
සෙනසුරාදා හෝ බදාදා යන කෙම්මුර දිනයක පත්තිනි මෑණියන්ගේ දේව බැල්ම වැටෙන පෙ.ව. 11.36ත් 12.00ත් අතර කාලයක මෙම බාර වීම කරන්න. ප්‍රථමයෙන්ම ගෙදර සියලුදෙනා බුදුන් වැඳ ආශිර්වාදය ලබා ගන්න. විහාරස්ථානයකට ගොස් මේ ආගමික කටයුතු කර අදාළ කාලයට පෙර නිවසට පැමිණීමට හැකි නම් වඩා හොඳයි.
මුලින්ම ගැබිනි මාතාව සහ සිය ස්වාමිපුරුෂයා විසින් පත්තිනි මෑණියන් වෙනුවෙන් තබා ඇති පහන සහ හඳුන්කූරු දල්වන්න. සාම්බ්‍රානි දුම් ටිකක් ද අල්ලන්න. පඬුර ගැට ගැසීමට සූදානම් කළ රෙදි කැබැල්ල මත පඬුර තබා පූජාසනය උඩින් තබන්න. ගැට ගසන්න එපා. මීළඟට දෙදෙනාගේම දකුණතින් හාල් මිටක් බැගින් ගෙන අනෙක් රෙදි කැබැල්ල මත තබන්න. දැන් සියලුදෙනාම වැඳ නමස්කාර කරගෙන පහත ගාථාව හොඳින් ඇසෙන සේ කියවන්න.
සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං
අනතුරුව මෙම කන්නලව්ව කරන්න.
ආයු බෝ වේවා! ආයු බෝ වේවා! ශ්‍රී සිද්ධ පත්තිනි දේවීන් වහන්ස. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උතුම් පත්තිනි අම්මේ… මා අත හෝ, මාගේ ස්වාමියා අත හෝ, අප පවුලේ කෙනකු අත හෝ අත්වැරැද්දක්, කට වැරැද්දක් සිදු වී ඇත්නම් ප්‍රථමයෙන් සමාවන්න… ඔබ වහන්සේ මේ ලොව සියලු සත්ත්වයන්ට එක සේ පිහිට වෙනවා… ඔබ කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින්, විශ්වාසයකින් මා විසින් ඔබ ඉදිරියේ කියා සිටින්නා වූ මේ කාරණාව දිව් කනින් අසා දිව් නෙතින් බලා ඉෂ්ට කර දෙන සේක්වා… මා කුස තුළ සිටින්නා වූ මාගේ උතුම් සම්පත වූ දරු සම්පත ආරක්ෂා කර දී මෙලොවට බිහි කරන විටත් කරදරයක්, බාධකයක්, විපතක් දරුවාටත්, මටත් සිද්ධ නොවන්නට අප ආරක්ෂා කරන්න අම්මේ… දරුවා බිහිකර මාස තුනක් ගිය තැනේදී ඔබ වහන්සේ වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක් පුද කරන්නට අද දින පොරොන්දු වෙනවා… ඒ වෙනුවෙන් බාර කරන පඬුරු බාරයද, පිරිසිදුව වෙන් කළ හාල් දෙමිට ද භාරගන්න උතුම් මෑණියනේ…
මේ සමගම පඬුර හිර නොකර නොවැටෙන සේ පටලවන්න. හිරකර ගැට ගැසීම හොඳ නැහැ. හාල් දැමූ රෙදි කැබැල්ල ද හිර නොකර පටලවන්න. මෙදින වෙන්කළ කැකුළු හාල් දෙමිට කිරි අම්මා දානයේදී කිරිබත් හෝ කිරි කෑලි හැදීමේදී අනිවාර්යයෙන්ම ගත යුතුයි. කිරි මෑණිවරුන්ගේ දානය දී පත්තිනි දේවාලයකට ගොස් පූජා වට්ටියක් පුදකර පඬුර නිදහස් කරන්න. එතෙක් පඬුර සහ හාල් පොට්ටනිය පිරිසිදු උඩ ස්ථානයක තබන්න. බාරය වීමෙන් පසුව පත්තිනි මෑණියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන්ට ආකාසට්ටාච බුම්මට්ටා.. යන ගාථාව කියා පින් දෙන්න. පසුව, මට පිහිට වන මගේ ඉෂ්ට දේවතාවුන්ට ද පින් අත් වේවා! යැයිද ප්‍රාර්ථනා කරන්න. මේ සියල්ල විශ්වාසයකින්, භක්තියකින් කරන්න.
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී,
විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242