විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දුරකතන ඇමැතුමක් ගන්නවාට වඩා ජපන් යෑම ලෙහෙසියි

2016 දී ලක්ෂ 8ක් ගත් තැරුව්කරුවා අද ලක්ෂ 50ක් ඉල්ලනවා

ජපන් ගුවන් තොටුපොළ නිලධාරීන්ගෙන් සිංහලෙන් සකස් කළ අයැදුම් පතක්

ඇමැති විජිත හේරත්ගෙන් අකාර්යක්ෂම නිලධාරීන්ට දැඩි අවවාදයක්

කට්ට කාගෙන හෝ අවංක සිසුවකු වීම ජපානයේ දී හොඳ ආරම්භයක්

මෙය අප රටෙහි එක්තරා මධ්‍යම පන්තික තරුණ පිරිසකට අයත් සිහිනයකි. මොවුහූ ස්වකීය අධ්‍යාපන මට්ටම්වල සීමා සහිත භාවය හේතුවෙන් යම් උපාධියක් හෝ ඉන් ඔබ්බෙහි සුදුසුකමක් ඇත්තවුන්ට මෙන් වෘත්තීය මට්ටමින් ඉහළ නැඟීමේ හැකියාව අහිමිවූවෝ වෙති.

මෙම සිහිනයේ දිග කිලෝමීටර් 4162කි.

ම විසින් එසේ සඳහන් කරනු ලැබුවේ කටුනායක සිට ජපානයේ නරිටා ගුවන් තොටුපොළට ඇති දුර එය වන බැවිනි. ඒ අනුව සිහිනයේ මාතෘකාව “ජපානයේ රැකියාවකට යෑම”යැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි සිතමි.

මෝටර් රථයක් මිලදී ගැනීම, පියකරු නිවසක් පිළිබඳ ආශාව සැබෑ කරගැනීම, ජීවිත කාලයට ම ප්‍රමාණවත් ස්ථාවර බැංකු ගිණුමක් හිමිකර ගැනීම ආදී කාරණා ඔවුනට සපුරා ගතහැක්කේ “ජපානයේ රැකියාවකට යෑමෙන්” පමණක් යැයි ඔවුහු කල්පනා කරති.

ඒ සඳහා වර්තමාන ලෝකයෙහි විවිධ රටවල් පිළිබඳ විවිධ ආරම්මණයන් ඇති වුණද, අපගේ තරුණ පිරිස්වල මූලික තෝරාගැනීම වන්නේ ජපානයට යෑමය. මේ කාරණය සාක්ෂාත් කර ගැනීම සඳහා අද ඔවුන්ගේ ඉටුදෙවියා බවට පත්ව සිටින්නේ ඒ කටයුත්තේ යෙදෙන තැරැව්කරුවන්ය.

මෙම තැරැව්කරුවන් විසින් ජපානයට ගොඩබස්වා අතහරින ලද අප රටෙහි තරුණ පරපුරට අත් වී තිබෙන ඉරණම පිළිබඳව මීට වසර හයකට පෙර එනම් 2018 දෙසැම්බර් 30 ඉරිදා දිවයිනට ම විසින් ලිපියක් සපයා ඇත්තෙමි.

කිලෝමීටර් 4162ක් දිගැති ශ්‍රී ලංකාවේ තරුණ සිහිනය

එවකට ජපානයේ ශ්‍රී ලංකා සංවිධානයේ සංගමයේ සභාපතිවරයා වූ සමන් ප්‍රියංකර මහතාගේ ආරාධනාවක් මත ගිය මේ ගමන සම්බන්ධීකරණය කළ ආචාර්ය අචල ජයතිලක මහතා මා සමග පැවසුවේ, සභාපතිවරයාට මේ “සරණාගත” ප්‍රශ්නය ගැන ද කතා කිරීමට අවශ්‍යව ඇති බවය. ඒ අනුව එවකට ජපානයේ ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා වූ අනිල් ප්‍රියන්ත ගම්මිතිගේ මහතාගේ ද සහයෝගය ලබාගනිමින්, එවැනි තරුණ තරුණියන් ගණනාවක් හා කතා බහ කිරිමේ අවස්ථාව මෙම ලියුම්කරුට උදාවිය.

එහෙත් පොදුවේ ගත් කල මේ සෑම තරුණ තරුණියක්ම ජපානයට පැමිණ තිබුණේ ලක්ෂ හතක හෝ අටක මුදලක් වැය කරමිනි. ඔවුන් වැඩිදෙනකු පැවසුවේ ඉගෙන ගන්නා මුවාවෙන් රැකියාවක යෙදිය හැකි යැයි තැරැව්කරුවා පැවසූ බවය. එහෙත් ඒ අන්දමේ රැකියාවල යෙදීමට ගොස් ශිෂ්‍ය වීසා නැති වූ තැන දැන් ඔවුන් යාන්තමට නොගිලී සිටින්නේ “සරණාගත වීසා” අයැදුම් කිරීම නිසා ලැබුණු තාවකාලික අවසර පත්‍රය මතය.

“නමුත් ජපානයේ රිෆියූජි වීසා කියා දෙයක් නැහැ. මේ තාවකාලික බලපත්‍රය ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය දැන ගන්නාතුරු පමණයි. ඉන්පසු ඔවුන් ආපසු යා යුතුයි” සමන් ප්‍රියංකර මහතා පැවසීය.

සමන් මහතා පැවසූ පරිදි මෙම රිෆියුජි වීසා මුළාව කොතෙක් ප්‍රබලද යන බවට හොඳම උදාහරණය 2018 දී නරීටා ගුවන් තොටුපොළෙහි නිලධාරියකු විසින් මාහට සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ ෆෝරමයක් පිරවීමට ලබාදීමය. මාහට ශ්‍රී ලංකාවේ කිසිවකුගෙන් ජීවිත තර්ජනයක් නොමැති බවත් ජපානයට පැමිණියේ විසා පිණිස ඉල්ලුම් කාරණය සඳහා බවත් පිළිගනිමින් මගේ සියලු තොරතුරු ඇතුළත් කොට එහි අත්සන් කළ යුතු විය. එසේ කරනු ලබන්නේ තරැව්කරුගේ උපදෙස් මත විවිධාකාර දේශපාලන තර්ජන පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් සරණාගත වීසා ඉල්ලීම් වැඩිවෙන්නට පටන් ගෙන ඇති බැවිනි.

ඉන් වසර හයකට පසු මෙම 2025 වසරේ මා සමග කතාබහක යෙදුණු එහි ජපානයේ ශ්‍රී ලංකා සංවිධානයේ නව සභාපතිවරයා වන අනිල් ප්‍රියන්ත ගම්මිතිගේ මහතා පැවසුවේ මේ ආකාරයට ජපානයට පැමිණ අනාථ වන්නන්ගේ තවමත් කිසිදු අඩුවක් නැති බවය.

ජපානයට ඇතුළු වන තරුණයන්ගේ අනාගතය දෛවෝගත පරීක්ෂාවකට ලක් වන්නේ ගොඩ බට තැනෙහි සිටය. මක්නිසා ද යත් ඔවුන් එරටට රැගෙන ආ තැරැව්කරුවා මොවුන්ට අනිවාර්යයෙන්ම රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී නැති බැවිනි. නමුත් රැකියාවකින් තොරව ජපානය තුළ ජීවත්වන්නට උත්සාහ කිරීම ඔක්සිජන් නොමැතිව හුස්ම ගන්නට තැත් කරන්නාක් වැනි කාර්යයකි. අනෙක් බොහෝ රටවලට ගොඩ බැසීම අසීරු වුවත්, ඒවායේදී කෙනකුට ජීවත් වීම උදෙසා මොනවා හෝ කරන්නට ඉඩකඩ තිබේ. නමුත් ජපානය වූ කලී ඉතා මැනවින් සංවිධානය කරන ලද සමාජයක් වීම නිසා මෙවැන්නන්ට සිතූ සිතූ පරිදි රැකියාවල යෙදීමේ හැකියාවක් නැත.

තරැව්කරුවා විසින් මෙහි රැගෙන එන සෑම පුද්ගලයෙක් සඳහාම ජපන් භාෂා විද්‍යාලයකට හය මසකට මුදල් බැඳ, අදාළ ශිෂ්‍ය වීසා රැගෙන දී ඇත. ජපන් භාෂාවෙන්ම රටේ ඉතා වැඩි ප්‍රමාණයක් කටයුතු සිදු කෙරෙන ජපානය තුළ එරටෙහි බස ඉගෙනීම කොතෙක් වැදගත් වුවත්, තැරැව්කරුවා එම අවස්ථාව ලබා දී ඇත්තේ සිය ගනුදෙනුකරුවන්ට වීසා ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණි. අනෙක් පැත්තෙන් බොහෝ සිසුවන් සලකන්නේ ද මෙය ජපන් පොළොවට පය තබාගැනීමට ලැබුණු ඉඩකඩක් වශයෙන් පමණි.

එහෙත් කලට වේලාවට වැඩ කරන ජපන් ජාතිකයා ශිෂ්‍යයින්ගෙන් බලාපොරොත්තු නිසි වේලාවට දෛනිකව පාසලට පැමිණීමය. නියම වේලාවේදී හරියටම තත්ත්පරයට ශිෂ්‍යයා පන්තියට ඇතුළු වී නොසිටියහොත්, දෙවන තත්ත්පරයේදී එළැඹෙද්දී ඔහුගේ ලකුණු ගණනක් කැපෙනු ඇත. ශිෂ්‍ය වීසා යටතේ සෑම සිසුවකුටම සතියකට පැය 28 ක කාලයක්, එනම් දිනකට පැය 04ක කාලයක් වැඩ කිරීමට අවසර පත්‍රයක් දී තිබේ. මේ පැය හතරක කාල සීමාවේ වැඩ කිරීමෙන් ඔහුට උපයා ගත හැක්කේ යාන්තම් කෑම බීමටත්, නවාතැනකට ගෙවීමටත් අදාළ මුදල පමණි.

කිලෝමීටර් 4162ක් දිගැති ශ්‍රී ලංකාවේ තරුණ සිහිනය

එහෙයින් තරුණයාගේ චිත්ත ශක්තිය සහ ඉවසීමේ ගුණය ගැන තමාට ම පිරික්සා බලන්නට සිදු වන්නේ මෙහිදී ය. නමුත් බොහෝ දෙනකුට පාසල් ගමන අමතකව යන අතර, පාසල් ගමන ගැන නොසිතා කීයක් හෝ සොයාගැනීමේ උත්සාහයට පමණක් යොමු වේ.

අධික විඩාව, දිගට ම රැකියාවේ යෙදී සිටීමට සිදුවීම, නිදිමත ආදී කරුණු නිසා ඔහුට නොදැනීම පාසල් ගමන අඩපණ වෙයි. එසේම තවත් අයකු මා හා පැවසුවේ, උසස් වර්ගයේ මත්පැන් පවා අඩු මුදලකට ලබාගත හැකි බැවින් සමහරු මේ කාලය තුළ අධික ලෙස මත් පැන් පානයට යොමුවන බවය. ඒ නිසා ද සමහරුන්ගේ පාසල් ගමන අඩාල වේ.

කොයි අයුරින් හෝ මෙසේ පාසල් නොපැමිණීම නිසා නියමිත පැමිණීමේ ලේඛනය සපුරා නොමැති වූවිට ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි වී ඒ සමග වීසා ද අහිමි වේ. ඒ සමග ම ඔහු රටින් පිටවී ආපසු තම මව් රටට පැමිණිය යුතු තත්ත්වයට පත්වේ.

තැරැව්කරුවන්ගේ ඊළඟ උපදේශය ක්‍රියාත්මක වන්නේ එතැන දීය. එනම් තමා ශ්‍රී ලංකාවේදී දේශපාලනික වශයෙන් මරණ තර්ජනවලට ලක්වීම නිසා මෙරටට පැමිණි බව පවසා සරණාගත වීසා නොහොත් ”රිෆියුජි වීසා” අයැදුම් කරන ලෙසය.

තැරැව්කාරයා එසේ පැවසුව ද “සරණාගත වීසා” ලබාදීමක් ජපානය තුළ සිදු නොකෙරෙන්නකි. නමුත් එරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින රටක් බැවින්, අයදුම්කරුගේ ඉල්ලීම භාර ගෙන, එම කරුණු පිළිබඳ පරීක්ෂා කරන තුර තාවකාලිකව රැඳී සිටීමට අවසර දෙනු ලැබේ. අනතුරුව මාස හයෙන් හයට ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටිය යුතු අතර, අවසර පත්‍රය යළි යළිත් ඉදිරියට මාස 06 බැගින් අලුත් කරනු ලැබේ. නමුත් මේ ආකාරයට ද එවැන්නකුට සිටිය හැක්කේ උපරිම වසර තුනක කාලයක් පමණි. ඉන් අනතුරුව ඔහු නීති විරෝධී සංක්‍රමණිකයකු වන අතර, අසු වුවහොත් සිර ගතවීම සහ ආපසු රටට පිටුවහල් කිරීමට බඳුන් වනු ඇත. තැරැව්කාරයාගේ උපදෙස් වන“රිෆියුජි වීසා” ඉල්ලුම් කර මුදල් ඉපයීම අද දවසේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. දශකයකට ආසන්න කාල පරිච්ජේදයක සිට “මයි නම්බර්” නමින් විශේෂ හැඳුනුම්පතක් එරට දැන් ජනතාවට හඳුන්වාදී ඇත. එය ජපන් ජාතිකයන්ට මෙන්ම එරට නීත්‍යානුකූලව වෙසෙන විජාතිකයන්ට ද හිමි වූවකි. යම් ආයතනයක් විසින් කෙනෙකුට රැකියාවක් ලබාදෙන්නේ ඔහුගේ හෝ ඇයගේ “මයි නම්බර්” හැඳුනුම්පත ඉල්ලා පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවය. මේ තත්ත්වය මත ශිෂ්‍ය වීසා අවලංගු වූ තරුණ තරුණියන්ට එදිනෙදා කෑමබීම සඳහා හෝ මුදලක් සොයාගත හැකි වන්නේ නගරයෙන් ඔබ්බෙහි ගොවිපොළවල් ආදීයෙහි කුලී වැඩවල නිරත වීමෙනි.

නමුත් එවැන්නන්ට සෞඛ්‍ය රක්ෂණයක් නොමැති බැවින් උණක්, හෙම්බිරිස්සාවක් වෙනුවෙන් පවා ලංකාවේ මුදලින් රුපියල් තිස්හතළිස් දහසක් වියදම් කළයුතු වීම තව ප්‍රශ්නයකි. 2016 දී පමණ ජපානයට පැමිණි තරුණයකු මෙම ලියුම්කරු සමග පැවසුවේ තමාගේ සු`ළු තුවාලයකට බෙහෙත් දැමීම සඳහා යෙන් පහළොස් දහසක මුදලක් අය කළ බවය. ඔහුට එම මුදල ගෙවීමට සිදු වූයේ තමාට සෞඛ්‍ය රක්ෂණයක් පවා හිමිව තිබිය දීය.

තැරැව්කරුවන් පැවසූ ආකාරයට “රිෆියජි වීසා” ඉල්ලීමේ ක්‍රමවේදය යටතේ ජපානය තුළ රැඳී සිටීම මේ මොහොත වනවිට බරපතළ අයුරින් අසාර්ථක වී තිබීම, එකී තරුණ පිරිස දැඩි මානසික ආතතියකට පත් කරවා ඇත. තමන්ගේ ඉඩකඩම් උකසට තබා ලබාගත් ලක්ෂ ගණනක් වූ මුදල් සඳහා නිසි පරිදි පොලිය ගෙවීමට සිදුවීම, තමා කෙරෙහි පවුලේ සාමාජිකයන් තැබූ බලාපොරොත්තු ඉටුකළ නොහැකිවේ යැයි බියකින් පෙළීම, සෞඛ්‍යය පිළිබඳව ජපානය තුළදී තමාට ඇති දැඩි අනාරක්ෂිතභාවය, නුපුරුදු දේශගුණයට මුහුණදීමට සිදුවීම, භාෂාව හා සංස්කෘතිය පැත්තෙන් හෝ මෙරට රැකියාවක් අවශ්‍ය වෘත්තීය දැනුමකින් තොරවීම ආදී කාරණා ඔවුන්ගේ ඉච්ඡාභංගත්වයට හේතු වී තිබේ. මෙසේ අසරණභාවයකට පත්වන අතරමංවූ තරුණ තරුණියන් ද අවසානයේදී ළඟා වන්නේ ජපානය තුළ කලක් තිස්සේ ස්ථාපිතව සිටින සිංහල ව්‍යාපාරික ප්‍රජාව වෙතටය. අවස්ථානුකූලව ඔවුන්ගේ දුකට සැපට ලෙඩට දුකට පිහිටක් වෙනවා හැරෙන්නට ජපන් නීතිරීතිවලට පරිබාහිරව වෙනත් කළ හැකි දෙයක් ඔවුනට ද නැත.

කිලෝමීටර් 4162ක් දිගැති ශ්‍රී ලංකාවේ තරුණ සිහිනය

ගෙවී ගිය සය වසර තුළ කෙනකු ජපානයට යැවීම සඳහා අය කරනු ලබන මුදල ලක්ෂ 50ක් දක්වා වැඩි වී ඇති බව මේ වනවිට දැන ගන්නට ලැබී ඇත. එම ලක්ෂ 50 අයකරනු ලබන්නේ නිශ්චිත දින වකවානු පිළිබඳව දැනුම් දීමේ කොන්දේසිවලින් පවා තොරවය.

තරුණයකුට ජපන් යෑම සඳහා ලක්ෂ 50ක් ගෙවන්නට සිදුවීම නවතා දැමිය හැකි එකම තැන වන්නේ මෙරට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයයි. එහෙත් මෙම ලිපිය සැකසීමේදී ඒ සඳහා තොරතුරු දැනගැනීමට දින දෙකක් මුළුල්ලේ දුරකතන ඇමැතුම් ගත් නමුදු, තවකෙකුට බෝලය පාස් කිරීමෙන් පසු දුරකතනය විසන්ධි කිරීමේ අත්දැකීම ලබාගත්තා හැර අන් යමක් දැන ගැනීමට නොලැබිණි. දන්නා අයකු කීවේ මෙතැනට කතා කරනවාට වඩා වෙන රටකට පයින් යෑම වටිනා බවය.

කාර්යාංශයේ තත්ත්වය එසේ වුවද, මීට දින හතරකට පෙර එහි නිලධාරීන් ඇමැතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ විදේශ ගතවන පිරිස සාධාරණ මුදලකට යැවීම තම අරමුණ බවය. නමුත් පසුගිය කාල පරිච්ජේදය මුළුල්ලේ මෙය විනිවිද භාවයකින් සිදුවී නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. තම අදහස ඉටුකර ගැනීමට මෙහි නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, එයට එරෙහිව යමෙක් කටයුතු කරන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවටත් විජිත හේරත් මහතා අවධාරණය කළේය.

මෙතෙක් වේලා ජපන් කතාවේ “නෙගෙටිව්” පැත්ත නොහොත් ඍණාත්මක කරුණු ගැන පමණක් කතා කළ මෙම ලියුම්කරුට ශිෂ්‍ය වීසාවලින් ජපන් රටට ගොඩ බැස සිය අරමුණ සාක්ෂාත් කරගත් තරුණයන් කීපදෙනකු පිළිබඳ ධනාත්මක කතාන්දර කීපයක් දැන ගැනීමට මේ මොහොතේ අවස්ථාව ලැබිණි.

මොවුන් පැවසුවේ යමකු ඒ මොහොතේ නිරත වන කටයුත්තට සිය හෘද සාක්ෂියෙන්ම අවංක බව හා සියයට සීයක්ම කැපවන බව ජපන් ජාතිකයාට ඒත්තු ගැන්විය හැකිනම් සිය ශිෂ්‍ය වීසා ඔස්සේ යමින් වුවද සිය ගමන් මඟ ස්ථාවර කර ගැනීම අපහසු නොවන බවය.

ඔවුන් උදාහරණයක් ලෙස මාහට පෙන්වා දුන්නේ රුපියල් අට ලක්ෂයක මුදලක් ගෙවා වසර හතකට පමණ පෙර ජපානයට ගොඩ බසින ලද තරුණයකු ගැනය. මෙම තරුණයා ශිෂ්‍ය වීසා යටතේ රැකියාවක් සඳහා ජපානයට ගියත්, පාසල් ශිෂ්‍යයකු වශයෙන් එහි විනය නීති මාලාව අනුව කටයුතු කිරීමට ඔහු තිර අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ ය. ඒ සඳහා ඉතා වැදගත් හේතුවක් තිබිණි. එය නම් පාසල් විනයට අනුගතව වැඩ කළහොත් මුල්අවුරුදු දෙකෙහි වීසාවලට කිසිදු ප්‍රශ්නයක් නොවීමය. ඒ සඳහා පාසලට පැමිණීම 80%කට වඩා සිදුවී තිබිය යුතුය. නොතිබුණහොත් ශිෂ්‍යභාවය මෙන්ම වීසා ද අවලංගු වේ. මේ හේතුවෙන් ඔහු ඒ අවුරුදු දෙක මුළුල්ලේ පාසල් ගමන කොතෙක් හොඳින් සිදු කළේ ද යත් එය 100%ක් වූයේය. පාසල් කාලය නිමා වීමේදී ඒ පිළිබඳ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය ඔහුව විශේෂ ප්‍රසංසාවකට ද ලක් කරන ලදී.

ඔහු මේ පාසල් ගමන ගොස් ඇත්තේ කිසිසේත්ම පහසු තත්ත්වයක් යටතේ නොවේ. විද්‍යාල ගාස්තු ගෙවා ගැනීමට ඉතිරි කාලය දිවා රෑ නොබලා වැඩ කර ඇත. වරක් යම් තුවාලයක් සිදුවීම නිසා ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් වෛද්‍ය සහතිකයක් නිකුත් කර තිබුණ ද ඔහු සිය පාසල් ගමන නතර කළේ නැත.

මේ කාලයේ ඔහු දවසකට නිදා ගෙන ඇත්තේ උපරිම පැය 3ක් වැනි කාලයකි. පාසලේ ඉගෙන ගන්නාවිට නිදිමතක් ඇති වුවද ඔහු එය දරා ගෙන ඇත්තේ නින්ද ගියහොත් පැමිණිමේ ලේඛනයෙන් දිනයෙන් භාගයක් පමණ කැපී යෑම වළක්වා ගනු පිණිසය. මේ තරුණයා තමන්ගේ පැමිණිම 100%ක් තත්ත්වයට පත්කර ගත්තේත් එසේ පැමිණි එම පාසලේ එකම ළමයා වූයේත් එවැනි දුෂ්කර ක්‍රියාවක යෙදීමෙනි.

ඔහු ඉන්පසු ඇතුළත් වූ දෙවන පාසල තමා බලාපොරොත්තු වන යම් කාර්මික දැනුමක් ලබාදෙන්නකි. මුදල් අයකරනු ලැබුව ද ඒ සඳහා ද සම්මුඛ පරීක්ෂණයක් තිබේ. මෙහි අවුරුදු දෙක සහ තුන වශයෙන් පාඨමාලා දෙකක් ද වූ අතර, ඔහු එතැන දී තෝරාගෙන ඇත්තේ තුන් වසරක පාඨමාලාවකි. ඔහු එතැනදී කල්පනා කර ඇත්තේ කොතරම් කට්ටක් කෑමට සිදු වුවද තුන් වසරකට වීසා ලැබීම කොතරම් වාසියක් ද යන්නය. තුන් වසරේ පාඨමාලාවට ඔහු තෝරාගැනීමටත් , වසර 3කට එක්වර වීසා අනුමත කිරීමටත් මුල් වී ඇත්තේ ඔහු ලබා ගෙන තිබූ විශිෂ්ට ගණයේ පාසල් පැමිණීමේ වාර්තාවය.

මෙම පාසලේදී ද ඔහු එම අයුරින්ම සියයට 100ක් පැමිණීමේ වාර්තාව සම්පූර්ණ කළ අතර අද මේ මොහොතවනවිට තමා විසින් ලබාගත් පරිගණක ආශ්‍රිත දැණුම යොදවන යහපත් රැකියාවක යෙදෙන්නේ, වසර 3ක් ඇතුළත තමාගේ සියලු ණය තුරුස් ද ගෙවා දමමිනි.

මේ ජීවිත ජයග්‍රහණය ගැන ඔහු පවසා ඇත්තේ “ඉස්කෝලෙ යන්න ආපු කෙනා ඉස්කෝලේ එනවද කියල ජපන් ජාතිකයා බලනවා ඇති. ඉතින් තමා ඉස්කෝලේ පැමිණි බව ඒ ගොල්ලන් දකින්නට ඇති ”යනුවෙනි. අධිෂ්ඨානයත්, අවංක භාවයත් ජීවිතය දිනන්නට යොදාගත් අයෙකු පිළිබඳ මේ කතාව ශිෂ්‍ය වීසා යටතේ හෙට දවසේ ජපානයට ගොඩ බසින්නකුට අඟනා පහන් ටැඹක් යැයි නොසිතේද?

තිස්ස ප්‍රේමසිරි


advertistmentadvertistment