කීඩෑ හානියෙන් මහ කන්නය බේරාගනිමු – බතලගොඩ වී පර්යේෂණ ආයතනයෙන් උපදෙස්

60

කීඩෑ හානිය නිසා මහ කන්නයේ කීඩෑ හානිය නිසා මහ කන්නයේ වී වගාවෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වීම ගොවී ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලුවකි. දෙසැම්බර් මාසයේ බලපාන ශීතල දේශගුණික තත්ත්වය සහ අධික ආර්ද්‍රතාවය හේතුවෙන් කීඩෑ ගහනය අධික ලෙස වර්ධනය වීමෙන් වී වගාවේ අස්වනු හානිය සිදුවේ.

 1912 වසරේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට හඳුනාගත් දුඹුරු පැළ කීඩෑ හානිය මේ වන විටත් දිවයිනේ කොතනකින් හෝ මතුවෙමින් ගොයමට හානි ගෙන දෙන බව පෙනේ. 1973 වසරේදී දිවයින පුරා වී වගාවේ පැතිර ගිය දුඹුරු පැළ කීඩෑ හානිය මර්දනය කිරීමට නැගෙනහිර පළාතේ ගුවනින් ගොස් පලිබෝධ නාශක යොදන්නට පවා පළමු වරට සිදුවිය.

 දැවී ගිය ගොයම් අල්ලියක් ලෙස ලියද්දේ යම් තැනකින් දුඹුරු පැළ කීඩෑ හානිය දකින විට ලියද්දේ වැඩි කොටසක් එම හානියට ලක්වී අවසන්ව තිබිය හැකිය. මේ නිසා දින දෙක තුනක් යන විට කුඹුරේ ඉතිරි වගාවද වියළී ගොස් පිළිස්සුණු ස්වභාවයක් දැකගත හැකිවේ.

 මේ අවස්ථාව වන විට කීඩෑ හානියට ප්‍රතිකාර කිරීමට ගොවීන් සූදානම් වුවද කීඩෑ පිළිස්සුමට බෙහෙත් නැති බැවින් කළ හැකි දෙයක් නොවේ. කුඹුරේ ඉතිරි ගොයම් ටික රැකගන්නට පවා අධික ලෙස පලිබෝධ නාශක භාවිතා කරන්නට සිදුවේ. ප්‍රතිකාරයට වඩා රෝග වළක්වා ගැනීම මිනිසාට පවා වලංගු වන බැවින් කීඩෑ හානියේදීද අනුගමනය කල යුත්තේ කීඩෑවා කුඹුරට පැමිණීම වළක්වා ගැනීමයි.

 කීඩෑවුන් කුඹුරට පැමිණීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා පලිබෝධයාගේ ගති ගුන හඳුනා ගැනීම වැදගත්වේ. කීඩෑවාගේ එකම ආහාරය වන්නේ ගොයම් ගසේ යුෂයි. මෙම පලිබෝධකයා ළපටි ගොයමට වඩාත් ප්‍රියතාවයක් දක්වයි. ඒ නිසා යම් කාලයකට කුඹුරුවල ළපටි ගොයම් නැති වටපිටාවක් ඇතිකළ හැකිනම් ඒ වන විට කුඹුරේ සිටින සියලුම කීඩෑවන් විනාශ වී යනවා. දුඹුරු පැළ කීඩෑ හානියෙන් තොර වී වගාවක් බලාපොරොත්තු වන්නේ නම් මේ තත්ත්වය ඇතිකළ යුතු වන බව පෙන්වා දෙන බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ වී වගාව පිළිබඳ ප්‍රධාන විශේෂඥ රෝහණ තිලකසිරි මහතා ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර 5 ක් අපට පෙන්වා දෙනවා.

1 පියවර
 

නිරි වගාව ඇති නොවන ලෙස කටයුතු කිරීම

 මේ වන විට යල කන්නයේ ගොයම් කැපීම ආරම්භ කර තිබෙන අතර ගොයම් කපා අස්වැන්න ලබා ගැනීමෙන් පසු කුඹුරේ ඉතිරි වන ඉපනැල්ලෙන් නිරි වගාව මතු වෙන්න පටන් ගන්නවා. මෙසේ අලුතින් හට ගන්නා ගොයම් පැළ පලිබෝධකයාගේ පැවැත්මට ආශිර්වාදයක් වෙනවා. කීඩැවා මේ අලුත් පැළ මත පෝෂණය වෙමින් උගේ පැවැත්ම තහවුරු කර ගන්නවා. ඒ නිසා කීඩෑ හානිය වළක්වා ගැනීමට නම් කුඹුරේ කීඩෑවාට වර්ධනය වීමට ඇති හිතකර පරිසරය නැතිකළ යුතු වෙනවා.

 ඒ සඳහා ගොයම් කපා ගැනීමෙන් පසු වහාම පළමු සී සෑම කර කුඹුරේ ඉපනැල්ල පසට යට කර කුණුවෙන්න සැලැස්විය යුතුයි.

2 පියවර
 

මුළු යායම දින කීපයක් ඇතුළත වගා කිරීම

 දින කීපයක් ඇතුළත යායම වගා කර අවසන් කිරීමෙන් සිටින කීඩැවුන් දෙතුන් දෙනා පවා අවතැන් වන අතර ඉදිරි පැවැත්ම තහවුරු කර ගැනීමට ළපටි ගොයමක් නැති නිසා ඒ කීඩෑවුන් කිහිප දෙනාද ටික දිනකින් විනාශ වී යනවා.

3 පියවර
 
 කන්නය මඟ නොහැර නියමිත දිනයට වගා කිරීම


 කන්නය අනුගමනය කරමින් වී වගාව සිදුකළ විට නියම ආකාරයට වැස්ස ලැබේ. එවිට කෘමි හානිද අඩුය. කන්නය පසුකර වගා කළහොත් ළපටි ගොයමට වැස්ස නැති වියළි කාලයකට මුහුණ දීමට ළපටි ගොයමට සිදුවේ. මෙම තත්ත්වය කෘමින්ගේ වර්ධනයට වඩා හිතකරය. පැළ මැක්කා වැනි පලිබෝධකයන් බහුලව බෝ වෙද්දී ගොවියාට පලිබෝධ හානි වළක්වා ගැනීමට වෙනත් විකල්පයක් නොවන බැවින් කෘමිනාශකවල පිහිට පැතීමට සිදුවේ. මෙසේ කෘමි නාශක යෙදීම නිසා පැළ මැක්කන් වැනි අහිතකර කෘමීන් පමණක් නොව බත් කූරන් ඉඹි කුරුමිණියන් මකුළුවන් වැනි අහිංසක සතුන් රැසක්ද විනාශ වී යනවා. මොවුන් වැඩි දෙනෙක් දුඹුරු පැළ කීඩෑවුන් ආහාරයට ගන්නා බැවින් ගොවියාගේ මිතුරන් වන අතර කීඩෑවාගේ සතුරන් වේ. මේ නිසා කන්නය පසුකර වගාකළ විට කීඩෑ උවදුර ඉස්මතු වේ.

4 පියවර
 
 කාෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන ප්‍රමාණයට නයිට්‍රජන් පොහොර හෙවත් යූරියා කඩින්කඩ කුඹුරට යෙදීම.


 නයිට්‍රජන් පොහොර හෙවත් යූරියා වැඩිවෙන විට ගස් සරුවට වැඩේ. ඒ නිසා යූරියා වැඩිවෙන විට පලිබෝධ උවදුරු ද වැඩිවේ. මේ නිසා කුඹුරට අධික ලෙස පලිබෝධ නාශක යෙදීමට සිදුවේ. ඒ නිසා දුඹුරු පැළ කීඩෑවා කුඹුරට ඒම වළක්වා ගැනීමට නම් රසායනික පොහොර විදීමත් ලෙස හා පාලනයකින් යුතුව යෙදිය යුතුයි.

5 පියවර
 
 නියම ප්‍රමාණයට වඩා පැළ ගහනයක් ඇති වන සේ වැඩි බිත්තර වී ප්‍රමාණයක් වැපිරීමට කටයුතු නොකිරීම.


 කුඹුරේ පැළ ගහනය වැඩිවෙන කොට සෙවන වැඩිවෙනවා. ගොයම් ගස් අතර තිබිය යුතු නියම ක්‍ෂුද්‍ර පරිසර තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එකට ඇහිරිලා තිබෙන ගොයම දුඹුරු පැළ කීඩෑවාගේ වර්ධනයට වඩාත් හිතකර වේ. ගොයම් පාදිය ප්‍රදේශය උඩින් බැලූ විට ගොවියාට හොඳින් නොපෙනේ. ඒ ප්‍රදේශයේ කීඩෑවුන් බෝවන අතර කීඩෑ පිළිස්සුම කියා ගොයම් අල්ලියක් පිළිස්සී ගියාට පස්සෙ තමයි පිටතට දැකගත හැකිවෙන්නේ. ගොවීන් කලබල වෙන්නෙ මේ අවස්ථාවට පැමිණි පසුවයි. නමුත් ඒ වන විට කීඩෑ හානිය ඇති වී අවසන් නිසා කළ හැකි දෙයක් නැති වෙනවා.

 මෙම පියවර 5 අනුගමනය කිරීමෙන් ඉදිරි මහ කන්නයේ කීඩෑ උවදුරට එරෙහිව කරන අරගලය ජයගත හැකි බව රෝහණ තිලකසිරි මහතා පෙන්වා දෙනවා.

● පී. එල්. ජයවර්ධන

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment