ලොකු හාල් මෝල් හිමියන් කීරි සම්බා සඟවලා
සඟවන මාෆියාව නිසා ‘සීනි’ ගෙන්වීමත් නවත්වති
මේ රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් හා සීනි ව්‍යාපාරිකයන් විසින් කීරි සම්බා සහ සීනි තොග සඟවා උත්සව සමයේ කෘතිම හිඟයක් නිර්මාණය කර ඇති බව වෙළෙඳ හා වානිජ ආහාර සුරක්‍ෂිතතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී හෙළිවී තිබේ.
මේ නිසා එක් පියවරක් ලෙස කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනන්දු මහතා පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් තොග නිකුත් නොකර සඟවා ගැනීම මගින් කෘත්‍රිම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවයි. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමුකර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනිම හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බවත් වෙළෙඳපොළේ සීනි බෙදාහැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වන බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් සීනි තොග හිඟවීමේ අවධානමක් පවත්නා බවත්, කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත්කිරීමට කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී දේශීය වෙළෙඳ පොළේ සීනි බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බව අවධාරණය කළේය.
මිල වැඩිවීමක් වුවහොත් ඉන් අධික ලාභය ලබා ගැනීම මෙම වෙළෙඳ මාෆියාවේ අරමුණ වී ඇති බව ජනතාව ප්‍රකාශ කරති.
මේ අතර සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙළක් සැකසීමට නිලධාරීහු කාරක සභාවේ අවධානයට යොමු කළහ. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබේ.
මෙරට සීනි අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 06 ක් පමණ වන බව නිලධාරීහු කාරක සභාවට පෙන්නවා දුන්හ. කෙසේ වෙතත් එම අවශ්‍යතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙනුයේ 10%ක ප්‍රමාණයක් නොඑසේනම් මෙටි්‍රක් ටොන් හැටදහසක් පමණක් බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් මාස තුනක් තුළ සකසා භාරදෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතිය ද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළෙඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීහු මෙහිදී පැවසූහ. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම ද නිලධාරීහු මෙහිදී සිහිපත් කර තිබේ.
චමින්ද සිල්වා, අකිත පෙරේරා, රනිල් ධර්මසේන