කුංචුට්ටු කෝරළේ අමුතු කෙම් ක්‍රම

359

ගොඩ මඩ වගාවටත් යොදන කෙම් පහන්ක්‍රම

කෘෂිකර්මාන්තය ජීවිතය කරගත් අප බොහෝ ගැමියෝ තම බෝග වගාව රැක ගන්නේ දිවි දෙවැනි කොටය. ගොඩ මඩ ඉඩමේ සිය ශ්‍රමයෙන් වගා කළ වගාවන්ගෙන් ලබා ගන්නා අස්වැන්න සිය ආදායම් මාර්ගය පමණක් නොව කුසගිනි නිවා ගන්නා ප්‍රධාන ආහාර ද්‍රව්‍ය බවට ද පත් කරගෙන සිටිති.

වර්තමානයේ බොහෝ ගොවි ජනතාව සිය වගාව ආරක්ෂා කර ගැනීමටත් අස්වැන්න සරුසාර කර ගැනීමටවත් රසායනික පොහොර, කාබනික පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය බහුලව භාවිත කරති. නමුත් අතීතයේදී අපේ ගැමියෝ සිය වගාවන් රැකගන්න බහුලව භාවිත කළේ සහ විශ්වාස කළේ විවිධ කෙම් පහන් ක්‍රමය.

කැබිතිගොල්ලෑව බටහිර දෙසින් වවුනියාව දක්වා දිවෙන කුංචුට්ටු මහා වනාන්තරයෙන් ද නැඟෙනහිර දෙසින් ඇති මුලතිව් ඝන වනාන්තරයෙන් ද දකුණින් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද උතුරින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද සීමා වූ කුංචුට්ටු කෝරලය ගම්මානයේ ද ජනයා තම පිහිට ආරක්ෂාව සඳහා අතීතයේ සිට වන්නි දෙවියන්ට බෝල්පනා කොළ අත්තක් කඩා පූජා පවත්වන සිරිතකට හුරුව සිටිති.

මහ කැලේ ජීවිතයට ඇබ්බැහි වූ මොවුන් බෝල්පනා කොළ අත්තක් කඩා වන්නි දෙවියන්ට පූජා පවත්වමින් පිහිට ආරක්ෂාව පතති. එසේම ඔවුහු වන්නි දෙවියන්ගේ පිහිටෙන් විවිධ කෙම් ක්‍රම භාවිත කරමින් තම ලෙඩ දුක් අසනීප සුව කර ගැනීමට මෙන්ම තම වගාවන් කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ද හුරුව සිටිති.

මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැතිර යන ඥානය ජනශ්‍රැතිය ලෙස හඳුන්වයි. එය කාලාන්තරයක් තිස්සේ ලබන අත්දැකීම් මත ගොඩනැඟී ඇත. ජනශ්‍රැති ශබ්ද කෝෂයේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පවසා ඇත්තේ ජනශ්‍රැතිය යනු කිසියම් ජන කොට්ඨාසයක් අතර මුඛ පරම්පරාගතව එන ව්‍යවහාර සමුච්චයක් ලෙසය.

ඒ නිසා ජනශ්‍රැතිය යනු සරල වදනක් නොවේ. කවියක්, කතාවක්, පිරුළක් තේරවිල්ලක් ලෙස ජනතාව අතරට පත්වන ජනශ්‍රැතිය විශ්වාස, ඇදහිලි අභිචාර, සිරිත් විරිත්, ජනබස, වෘක්ෂ ශ්‍රැති, සත්ත්ව ශ්‍රැති දක්වා වර්ධනය වේ.

කුංචුට්ටු කෝරළේ ජනයාට ම විශේෂ වූ මෙම කෙම්පහන් ක්‍රම හෙවත් කෙම් ක්‍රම ද ජනශ්‍රැතියෙන් එන්නකි. කුංචුට්ටු කෝරළය යනු දෙමළ භාෂාවෙන් පුංචි උල්පත යන තේරුම සහිත වූ -කුංචි උත්තු යන වචන එකතු වීමෙන් සැදි නාමයකි. මෙම කෝරළය භූමියෙන් වර්ග කිලෝමීටර 612.24 ක් පමණ වේ. පවුල් 7992ක් ජීවත් වෙති.

වියළි දේශගුණයකින් යුක්තය. වර්ෂා කාලයේදී ගිගුරුම් සහිත වැසි අකුණු සර සහිතව ලැබෙන වැසි ජලය කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන ඔවුනට ආශීර්වාදයකි.

රූක්ෂ, පදුරු, දැව ඖෂධ බහුල මෙහි ජනතාවගෙන් බහුතරයක් බෞද්ධයෝය. ඒ අතර දමිළ, මුස්ලිම්, බර්ගර් ජනතාව ද සිටිති. මේ සියලු දෙනා දැඩි ලෙස වන්නි දෙවියන් අදහති. කිසිවකුත් දැක නැති රෙදි කඩක ඇඳි රූපයක් පමණක් සහිත වන්නි දෙවියන්ගේ අණසකට කිසිවකුත් විරුද්ධ නොවෙති.

එසේ වූ විට ඉන් කිසිවකුට ගැලවිය නොහැකි බව බෝගස්වැව ගමේ ප්‍රේමසිරි කපු මහතා පවසයි. ගමේ සියලු ආරක්ෂාවන් සඳහා සිදු කරන කෙම් ක්‍රම දේව අනුහසින් නිසි ආකාරව සිදු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල සුළුපටු නැති බව ද ඒ මහතා සඳහන් කරයි. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන මෙහි ජනතාව තම භෝග වගාවේ ආරක්ෂාව සඳහා මෙන්ම එහි වැඩි අස්වැන්නක් සඳහා දැඩි විශ්වාසයක් තබා ඇත්තේ කෙම් ක්‍රම වෙතය.

වී වගාව, හේන් ගොවිතැන යන ගොඩ මඩ වගාවන් දෙකටම කෙම් ක්‍රම යොදා ගනිති. මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් සිදුවන වගා හානි තුරන් කිරීමට බුලත්, පුවක්, පොල් ගෙඩියක්, හාල් පතක් හෝ දෙකක් ගෙන කුඹුරේ හෝ හේනේ කඩුල්ල ළඟට ගොස් වන්නි දෙවියන් යදිති.

“වන්නියේ බණ්ඩාරේ මගේ ගොයම, හේන ආරක්ෂා කිරීම නුඹට බාරයි. සියලු වාතවත් නිසියාකාරව සිදුකරාමං ඕං මට පිහිට වෙයන් වන්නියේ බණ්ඩාරේ” ලෙසින් වන්නි දෙවියන් වඳිමින් පිහිට ආරක්ෂා ඉල්ලති.

මෙහිදී කිරි ඉතිරීමක් සිදු නොකරයි. එසේම කැවුම් කෙසෙල් ද එක් කර නොගනී. කැඳ වැදීම පමණක් සිදු කරයි. වන්නි දෙවියන් යැද අවසානයේ බෝල්පනා කොළ අත්තක් ගෙන හැළියට දමා හේනේ, කුඹුරේ සියලු ස්ථානයන්හි ඉසීම සිදු කිරීමේ චාරිත්‍රයේ යෙදෙති.

නැවත සිටි තැනට ම පැමිණ හැළිය කඩුල්ල අසල මුනින් නැමීම සිදු කරති. එසේ මුනින් නවා තුන් යළක් හූ කියා නිවසට පැමිණෙති. ඉන් තෙදිනක් ගතවූ පසු යළි ගොස් මුනින් නැමූ මුට්ටිය උඩු අතට හරවා තම රාජකාරිය සාර්ථක දැයි කියා ගැමියෝ පරීක්ෂා කර බලති.

එසේ විපරම් කිරීමේදී ඝන මූකලානේ අතු ඉතිමත ඇතුල් පැත්තට වන්නට මැස්සන් පොදි ආකාරයෙන් සිටිනු දැකගත හැකි බව ගැමියෝ පවසති.

කුඹුරේ, හේනේ කොහේ හෝ තැනක පණු රෝග සෑදුණු විට කෘමිනාශක ඉසිනු වෙනුවට මන්තරයක් තල් කොළයක සටහන් කොට එල්ලා අදාළ ස්ථානයේ කෙළවරක සලකුණු කරයි. එවිට පණු රෝග සියල්ල නැති වී යන බව පවසති.

මෙම පණු රෝග සඳහා ඇති තවත් කෙම් ක්‍රමයක් වන්නේ කෙම් පහන් ක්‍රමයයි. ඒ ගැන සැනසිලිගම වෙද මහතෙක් පැවසුවේ මෙලෙසිනි.

කිලෝ දෙකකට සෑහෙන පමණ කොහොඹ ඇට ගෙන, තලා ඊට සබන් කැටයක් කුඩු කර මිශ්‍ර කර ඉටි රෙදි කැබැල්ලකින් තෙදිනක් වසා තබා ඉන්පසු බෝල්පනා කොළ අත්තකින් සම්පූර්ණ වගාවට ඉසින බවය. ඉන් සියලු පණු රෝග තුරන් වන බවට විශ්වාසයක් ඇතැයි වෙද මහතා පවසයි. මෙම මිශ්‍රණය ඉසීමේදී කිසිවකුත් සමග කතා නොකරයි. වගාවට අලින්ගෙන් උවදුරු සිදුවන විට පඬුරක් කහ දියරයෙන් නහවා දොරකඩ උළුවස්සේ බැඳ බෝලපනා කොළ අත්තක් ගෙන උළුවස්සේ අනෙක් පැත්තේ එල්ලයි. මේ හරහා කිසිදු වන සතෙකු පැමිණෙන්නේ නැතැයි මෙම ගැමියෝ විශ්වාස කරති. ඊට අමතරව කුංචුට්ටු ජනතාවටම විශේෂ වූ වන සත්ත්වයාට මන්තර ඇත. එම මන්තර මැතිරීම මගින් ද කිසිදු සත්ත්ව විපතක් සිදු නොවන බව විශ්වාසයක් ඔවුන් තුළ ඇත.

ඉෂාරා තරංගනී අමරසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment