කුඩාවැව පොල් ඉඩමක වැලි කපා ජලය පිරුණු තැනක සිටි මරුවා නෑමට ගිය දැරිය ඩැහැගනී

416

මාරවිල පොලිස් වසමට අයත් කුඩාවැව ප්‍රදේශයේ පොල් ඉඩමක වැලි කපන ලද ජලය එක්රැස් වී ඇති අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගිය පාසල් දැරිවියක් මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මාරවිල, කුඩාවැව රජයේ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි අපේක්ෂිකා නිම්සාරණී නමැති වයස අවුරුදු පහළොවක දැරිවියකි.

ඇය සිය සහෝදරයා සහ තවත් යහළුවෙක් සමග අනාරක්ෂිත ස්ථානයේ දිය නෑමට යෑමේදී එකවරම ඇය මඩේ එරී ගිලී ඇති අතර එම අවස්ථාවේ සහෝදරයාගේ කෑ ගැසීමේ ශබ්දය අසා ඒ ආසන්නයේ රැඳී සිටි මියගිය දැරිවියගේ සීයා පැමිණ අසල තිබූ පොල් අත්තක් ආධාරයෙන් මියගිය දියණියගේ සහෝදරයා ගොඩට ඇද ගැනීමට සමත් වුවද ඇය ඒ වන විටත් මඩේ එරී දියේ ගිලී සිට තිබේ. දියණිය සමග දිය නෑමට ගිය යහළුවා ආයාසයෙන් ගොඩට පැමිණ තිබේ.

කුඩාවැව පොල් ඉඩමක වැලි කපා ජලය පිරුණු තැනක සිටි මරුවා නෑමට ගිය දැරිය ඩැහැගනී

මෙම ඉඩමේ වැලි කැපීමට කටයුතු කර ඇත්තේ ඉඩමේ හිමිකරුගෙන් බදු පදනම මත ලබාගත් පුද්ගලයෙකු විසින්ය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් බලපත්‍ර ලබාගෙන වැලි කැපීමට කටයුතු කර ඇත්තේ මීට මාස කීපයකට පමණ පෙරය. කෙසේ වෙතත් මෙසේ අදාළ බලපත්‍රවල කොන්දේසි වලට අනුව වැලි කපා ඉවත් කළ පසු ඒවා නැවත පුරවා දැමීමට කටයුතු කළ යුතු බව බලපත්‍ර කොන්දේසිවල සඳහන්ව තිබේ. මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකර කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කර ඇත්නම් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මාරවිල පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් එම දියණියගේ සීයා වන ඩබ්ලිව්. සිරිපාල යන අය සහ මව ප්‍රකාශ ලබාදී තිබේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment