ගයාන් සමරසිංහ
සිංහාරගේ චාමර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. කොල්ලූපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි විදුහලක ඔහු අධ්‍යාපනය හැදෑරුවේය. ඉගෙනීමට වඩා ඔහු දක්ෂතාවය දැක්වූවේ ක්‍රීඩාවටයි. එම නිසා ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු විය.
උසස් පෙළ විභාගයට මුහුණ දුන් චාමර පාසල් ජීවිතයට සමු දුන්නේය. ඉන් පසු නිවසට වී සිටි ඔහුට රැකියාවක අවශ්‍යතාව දැනුණි. රැකියා කිහිපයකට ඉල්ලූම් කළත් ඔහුට සුදුසු රැකියාවක් නොලැබුණි.
”මෙහෙ ඉඳලා ගොඩ යන්න බැහැ. ඒක නිසා රටකටවත් යන්න ඕනා.” අවසානයේ ඔහු එලෙස සිතුවේය. ඒ අනුව ඔහු දෙමව්පියන්ගේ ආශිර්වාද මත විදෙස් ගත විය.
වසර කිහිපයක් විදෙස් ගතව සිටි ඔහු යළි ලංකාවට පැමිණියේය. වසර ගණනක් විදෙස් ගතව සිටියත් ඔහු ලොකු මුදලක් ඉතිරි කර නොගත්තේය. ඒ ඔහුට ජීවිතය සහ අනාගතය ගැන බරක් පතලක් නොදැනීම නිසා.
විදෙස්ගතව සිටියදී පවා ඔහු කළේ හිත මිතුරන් සමග මත්පැන් පානය කරමින් විනෝද වීමයි. යළි මෙරටට පැමිණිය ද ඔහුට එම පුරුද්ද අත්හැරීමට නොහැකි විය.
චාමරගේ මිතුරෙකුගේ උපන්දින සාදයක් ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසක පැවැත්වුණි. චාමරට ද ඒ සඳහා ආරාධනාවක් ලැබී තිබුණි. නියමිත දිනයේ ඔහු මිතුරකු සමග එම උපන්දින සාදයට සහභාගි වූහ.
නදිනි එම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. රූමත් තරුණියක වූ ඇයගේ වයස අවුරුදු 22 කි. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඇය නිරූපණ ශිල්පිනියක් වීමේ අභිලාෂයෙන් කටයුතු කළාය. ඒ වන විට ඇය ටෙලිනාට්‍යය කිහිපයක ද ඉතා සුළු චරිත රඟපා තිබුණි.
චාමර මුල් වරට නදිනිව අඳුනගන්නෙ එම උපන්දින සාදයේදීය. එම හඳුනාගැනීම දින කිහිපයක් යද්දී දැඩි මිත්‍රකමකට පෙරලූනි. එම මිත්‍රකම නොදැනුවත්වම ආදරයක් බවට පත්විය.
එලෙස වසර ගණනක් දෙදෙනා ආදරය කළහ. ලද සෑම අවස්ථාවකම චාමර සහ නදිනි මුණ ගැසුණහ. කලක් යද්දී දෙදෙනා නිවැසියන්ට ද තම සම්බන්ධතාවය ගැන පැවසූහ. නිවැසියන්ගෙන්ද එයට වැඩි විරුද්ධත්වයක් නොතිබුණි. අවසානයේ දෙමව්පියන්ගෙන් ආශිර්වාද මැද දෙදෙනා යුග දිවියට ඇතුළත් වූහ.
රැකියාවක් නොකළ දෙදෙනාම විවාහයෙන් පසු ජීවත් වූයේ චාමර ගේ මහ නිවසේය. ඒ අතර කාලය තුළ සිදු වූ හදිසි අනතුරකින් චාමර ගේ කකුල ආබාධයකට ලක්විය. කලක් බෙහෙත් කළත් කකුල යථා තත්ත්වයට ගැනීමට නොහැකි විය.
විදෙස්ගතව සිට හරි හම්බ කළ මුදල් ද ඒ වන විට අවසන් වී තිබුණි. කකුලේ ආබාධ නිසා ඔහුට හරිහමන් රැකියාවක් ද කර ගැනීමට නොහැකි විය. එම නිසා ඔහු සිටියේ අන්ත අසරණ තත්ත්වයකය.
චාමර දස අතේ කල්පනා කරේ ඉදිරියේදී ජීවත් වන්නේ කෙසේද යන්න කියාය. එසේ සිටියදී ඔහුට සිංහාරගේ අමල් සමින්ද සිල්වා ව මතක් විය. ඔහු චාමරගේ ඥාති සහෝදරයෙකි.
අමල් සමින්ද සිල්වා යනු මෙරට ආරක්ෂක අංශ සොයමින් සිටින පුද්ගලයෙකි. අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. පාතාල නායකයෙකි. මොහුගේ ගිණුමට මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් බැර වී තිබේ. ආරක්ෂක අංශ වලින් බේරීම සඳහා දැනට වසර ගණනක සිට මොහු විදෙස්ගත වී සිටී. ආරක්ෂක අංශ සොයාගෙන ඇත්තේ මොහු ඉතාලියේ ජීවත් වන බවයි.
විදෙස් ගතව සිටියත් මොහුගේ මත්කුඩු ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් කිසිවක් අඩු වී නොමැත. තමන්ගේ ගෝල බාලයන් යොදමින් මොහු මෙරට දසඅතේ හෙරොයින් විකුණයි. පාතාල කි‍්‍රයාකාරකම් සිදු කරයි. ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ හැදී වැදුණු මෙම අපරාධකරු මෙරට ප්‍රසිද්ධව සිටින්නේ ”ගොනාකෝවිලේ කුඩු අංජු” යන අන්වර්ථ නාමයෙනි.
අන්ත අසරණව සිටි චාමර ”ගොනාකෝවිලේ අංජු” නමැති මෙම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. එහිදී ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.
”හෙලෝ, අංජු අයියේ කොහොමද?”
”දන්නැද්ද බං මල්ලි ඉන්නවා අපේ පාඩුවේ වැඩක් කරගෙන.ඉතින් කියපං මොනවද විස්තර.”
”මම නං නන්නත්තාරයි අයියේ. ජීවත් වෙන්නවත් විදිහක් නෑ.”
”ඇයි බං ඒ මොකද?”
”කකුල හොඳකුත් නැහැ තවම. ඒක නිසා කිසිම ජොබ් එකක් කරන්නත් බැහැ හරියට. වියදමට සල්ලිත් නැහැ.”
”එහෙමද බං. මට අපේ කොල්ලොත් කිව්වා උඹ ටිකක් අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා.”
”ඒක තමයි අයියේ. බැරිම තැන තමයි අයියට කතා කළේ. මට මොකක් හරි ජොබ් එකක් හොයල දෙන්නකෝ.”
”උඹ දන්නවනේ බං මගෙ ළඟ තියෙන ජොබ්. ඒව සේරම නීති විරෝධී ඒවනේ.”
”කමක් නැහැ ඇයි මොකක් හරි හොඳ දෙයක් සෙට් කරලා දෙන්න මට කරන්න පුළුවන්.”
”උඹ ටිකක් ඉගෙන ගෙනත් තියෙනවා නේද?”
”ඔව් අයියේ.”
”මං උඹට සෙට් කරල දෙන්නන් නියම වැඩක්. මාසෙකට හොඳ ගාණක් ගන්නත් පුළුවන්. වැඩිය කරදරයකුත් නෑ. අපි ඒකට කොල්ලෙක් හොය හොය හිටියේ.”
”අනේ අයියේ ලොකු පිනක් මට ඒ වැඬේ සෙට් කරලා දෙන්න.”
”හරි බං ඒක අවුලක් නැහැ. මම උඹට නම්බර් එකක් දෙන්නම්. එයා සරත් කියලා කෙනෙක්. හැබැයි අපි එයාට කතා කරන්නෙ මොහොමඞ් අබ්දුල් කියලා. මගේ නම කියලා එයාට කෝල් එකක් ගනිං. කරන්න ඕන විස්තර සේරම කියයි. වැඬේ කරගෙන පාඩුවේ හිටපං. උඹට ජීවත් වෙන්න ඒ ගාණ හොඳටම ඇති වෙයි.”
”හරි අයියේ ගොඩක් ස්තුතියි.”
”හරි බං ප්‍රශ්නයක් තිබුණොත් ඕන වෙලාවක ගනිං.”
කුඩු අංජු සහ චාමර අතර පැවති දුරකථන සංවාදය අවසානයේ එලෙස නිමා විය. එම ඇමතුමෙන් පසු චාමර කුඩු අංජු දුන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේය. එලෙස ලබා ගෙන මෙලෙස පැවසුවේය.
”හෙලෝ මොහොමඞ් අබ්දුල් ද?”
”ඔව් කතා කරනවා. කවුද ඔය.”
”මම චාමර. අංජු අයියා නම්බර් එක දුන්නෙ කෝල් කරන්න කියලා.”
”ආ මේ අංජු කියපු කෙනා ද?”
”ඔව් මම එයා තමයි.”
”මට අංජු ඔයා ගැන ගැන විස්තර කිව්වා.
මෙන්න මේකයි ඔයාට කරන්න තියෙන්නෙ.”
එලෙස පැවසූ මොහොමඞ් චාමරට කරන්න ඕන දේ පිළිබඳ මෙලෙස පැවසුවේය.
”ඔයා බැංකු කිහිපයක එකවුන්ට් ඕපන් කරන්න ඕනා. ඒ එකවුන්ට්වලට සල්ලි එනවා. එන්නේ කොහොමද කොහෙන්ද කියලා වැඩක් නැහැ. ඔයාට තියෙන්නේ ඒ සල්ලි අපි කියන එකවුන්ට්වලට නැවත දාන්න විතරයි.”
”තව අපි කියන තැන්වලට ගිහිල්ලා සල්ලි එකතු කරගෙන එන්න ඕනා. ඒ සල්ලිවලට කරන්න ඕන දේවලූත් මම ඒ ඒ අවස්ථාවලදී කියන්නම්.”
”මේක හරිම ලේසි ජොබ් එකක්. ඔයාට තියෙන්නේ අපි කියන විදිහට සල්ලි කලෙක්ට් කරගන්න සහ ඩිපොසිට් කරන්න විතරයි.”
”අතුරුගිරිය මිලේනියම් සිට් එකේ අපි ඉන්න තැනක් දෙනවා. ගමන් බිමන් යන්න කාර් එකක් දෙනවා. හැබැයි ඒකෙන් යන්න පුළුවන් අපේ ගමන් විතරයි. එයට අමතරව සල්ලි ගනින්න මැෂින් දෙනවා. පඩිය මාසෙකට අසූ දාහක් දෙන්නම්. හෙට ඉඳන්ම වැඬේ පටන් ගන්න.”
චාමර එක පයින්ම එම රැකියාවට කැමති විය. ඒ අනුව ඔහු බිරිඳට මෙලෙස පැවසුවේය.
”අපේ දුක් කරදර දැන් සේරම ඉවර වෙන්නයි යන්නෙ. අංජු අයියා මට ජොබ් එකක් සෙට් කළා. මාසෙකට අසූවක් හම්බවෙනවා. කාර් එකක් එක්ක මිලේනියම් සිටි එකේ නවතින්න ගෙයකුත් හම්බෙනවා. අපිට තියෙන්නෙ ඒගොල්ලො දෙන සල්ලි එකතු කරන්න සහ බැංකුවට දන්න විතරයි.”
එය අසා චාමරගේ බිරිඳ ද ඉතාමත් සතුටට පත්විය. පසු දිනම චාමර බිරිඳත් සමග මොහොමඞ් කියූ මිලේනියම් සිටි නිවසට ගොස් පදිංචි වූහ. එතැන් සිට ඔහු මොහොමඞ් ගේ කීමට අනුව මුදල් විවිධ බැංකුවල තැන්පත් කළේය. විවිධ තැන්වලින් මුදල් එකතු කළේය.
මුදල් එකතු කිරීම සඳහා යෑමට ඔහුට නවීන පන්නයේ මෝටර් රථයක් ලබා දී තිබුණි. එම මෝටර් රථයෙන් පෞද්ගලික ගමන් යෑමට අවසර තිබුණේ නැත. කොටින්ම කියතහොත් එම මෝටර් රථය පණ ගැන්වීමට පවා චාමරට නොහැකි විය.
චාමර මුදල් එකතු කිරීම සඳහා පිටත යන අවස්ථාවලදී පමණක් එම මෝටර් රථය ජංගම දුරකථනයක් හරහා පණ ගන්වා දෙයි. එය කවුරු කොහොම කරනවාද යන්න චාමරවත් නොදනී.
මොහොමඞ් අබ්දුල් නමැති පුද්ගලයා එම මෝටර් රථයේ සියලූම විස්තර ජංගම දුරකථනයට යොදා නවීන තාක්ෂණය භාවිතා කරමින් මෝටර් රථය පණගැන්වීම සිදුකරයි. ඔහුට හැර වෙන කිසිවෙකුටත් එම මෝටර් රථය පණ ගැන්විය නොහැකිය. මෙහි විශේෂත්වය වන්නේ මෝටර් රථයේ පණගන්වන අවස්ථාවේ ඔහු ඒ අසල සිටිය යුතු නැත. අතේ තිබිය යුත්තේ ජංගම දුරකථනය පමණි.
චාමර එකතු කරගන්නා සියලූම මුදල් ගණින අවස්ථාවේ වීඩියෝ ගත කළ යුතුය. සමහර අවස්ථාවන්වල දී මුදල් ලබාගන්නා ආකාරය ද වීඩියෝ ගත කළ යුතු වේ. ඒ සියලූම වීඩියෝ එසන එදන ්චච එක හරහා ආපසු එවිය යුතුය. තාක්ෂණය උපරිම ආකාරයෙන් යොදා ගනිමින් චාමර මේ මුදල් එකතු කිරීමේ ජාවාරම දිගටම කරගෙන ගියේය.
කලක් එලෙස ගත වෙද්දී අතුරුගිරිය පොලීසියේ නිලධාරියෙකුට මේ පිළිබඳව යම් හෝඩුවාවක් ලැබුණි. ලද හෝඩුවාවට අනුව එම නිලධාරීහු මේ පිළිබඳ ඉතාමත් හොර රහසේ පරීක්ෂණ පැවැත්වූහ. කල් නොගොස්ම ලද තොරතුරෙහි සත්‍යතාවක් ඇති බව ඔවුහු තේරුම් ගත්හ.
වහාම එම නිවස වැටලිය යුතු යයි අතුරුගිරිය පොලිසියේ ඉහළ නිලධාරීහු තීරණය කළහ. ඒ අනුව පසුගිය 06 වැනිදා පොලිස් නිලධාරීහු පිරිසක් මිලේනියම් සිටි හි පිහිටි අංක 02 දරන එම නිවසට ගියහ.
නිවස වෙත යන අවස්ථාවේදී චාමර සහ ඔහුගේ බිරිඳ නිවස තුළ සිටියහ. පොලිස් නිලධාරීන් ඔවුනට මෙලෙස පැවසුවේය.
”අපිට මේ නිවස පරීක්ෂා කරන්න ඕනා. ඔය දෙන්නගේ හැඳුනුම්පත් දෙකත් ගන්න.”
චාමර සහ ඔහුගේ බිරිඳ එක්වරම බියට පත්වූහ. කිසියම් තැනකින් වරදක් සිදුවී ඇති ඔවුනට අවබෝධ විය. එහෙත් ඒ බව නොපෙන්වා ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට තම ජාතික හැඳුනුම්පත් ලබා දුන්හ.
සිංහාරගේ චාමර…. හැඳුනුම්පතේ මුල් නම දුටු විගසම පොලිස් නිලධාරීන්ට ඔහු ගැන සැකයක් ඇති විය. කුඩු අංජුගේ කිසියම් හෝ සම්බන්ධයක් මොහු සමග ඇති බව තේරුම් ගත්හ. ඒ අනුව පොලිස් නිලධාරීහු එම නිවස පරීක්ෂා කළහ.
නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක්, මුදල් ගණින යන්ත්‍ර තුනක් සහ අයිස් ග්‍රෑම් 25ක් සොයා ගන්නා ලදී. එයට අමතරව චාමරගේ නමින් විවෘත කළ බැංකු ගිණුම් පත් කිහිපයක් සහ ඒටීඑම් කාඞ්පත් කිහිපයක් ද සොයා ගත්තේය. සොයාගත් එම බැංකු පොත් පරික්ෂා කිරීමේදී කෝටි 16කට ආසන්න මුදලක් පසුගිය මාස කිහිපය තුළ
ගනුදෙනු වී තිබුණි.
පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී චාමරට සහ ඔහුගේ බිරිඳට සත්‍යය වසන් කිරීමට නොහැකි වූහ. ඒ අනුව චාමර තමන් සිදු කළ සියල්ල පොලිස් නිලධාරීන්ට පැවසුවේය.
පොලිස් නිලධාරීන් ඒ අනුව සැක කළේ කුඩු අංජු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කළු සල්ලි සුදු කර ඇත්තේ චාමර නමැති මෙම සැකකරු හරහා බවයි.
එයට අමතරව මුදල් ගනුදෙනු සඳහා චාමර භාවිතා කළ නවීන පන්නයේ මෝටර් රථය ද පොලිස් අත්අඩංගුවට ගැනුණි. එම මෝටර් රථයේ එන්ජිම පණ ගැන්වීමට චාමර නොහැකි නිසා පොලිසියට සිදු වූයේ එම මෝටර් රථය ඇදගෙන යෑමටයි.
අත්අඩංගුවට පත් සැකකාර යුවල දින 07 රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල අධිකරණයෙන් අතුරුගිරිය පොලිසියේ නිලධාරීන්ට අවසර ලබාදී තිබුණි. ඒ අනුව එම පොලිස් නිලධාරීන් සැකකාර යුවල රඳවාගෙන තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.
අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. රූපසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිංහපුර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. පේ‍්‍රමලාල් සහ පොලිස් පරීක්ෂක එන්. වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංබණ්ඩා (7478), පොලිස් කොස්තාපල් ප්‍රසාද් (76215), පොලිස් කොස්තාපල් සමන් (73917), පොලිස් කොස්තාපල් හෙට්ටිගේ (92515) යන නිලධාරීහු මෙම මෙහෙයුමට සහභාගි වූහ.