රූපවාහිනී යන්ත්‍ර නඩත්තු කරන කාර්මිකයකු සේ අඟවමින් ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට පැමිණි පුද්ගලයකු රෝහලේ සවිකර තිබූ විදේශීය රටකින් ගෙන එන ලද රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුතු අඟල් 55 රූපවාහිනී යන්ත්‍රයක් ගලවා ගෙන උපක්‍රමශීලී ලෙස එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා රෝහලට පැමිණ එහි කාර්ය මණ්ඩලය මෙන්ම බෙහෙත් ගැනීමට පැමිණ සිටි විශාල රෝගීන් පිරිසක් බලා සිටියේදී ඔවුනට කිසිම සැකයක් ඇති නොවන පරිදී රුපවාහිනි යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි. ජාඇල පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් ජාඇලට පිළිලයක් වී ඇති බවත් මේ සිද්ධියත් කුඩ්ඩෙකුගේ වැඩක් විය හැති බවත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සවිකර ඇති සීසීටීවී කැමරාවල දර්ශන ආධාරයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යන බව පොලිසිය සදහන් කරයි.
බී. ටී. කොටින්කඩුව – ජාඇල අතිරේක