කුණාටුව සහ තාරුණ්‍යය!

159

මාස අටක් වැනි කාලයක් තුළදී පේරාදෙණිය සරසවි සිසුන් 04 දෙනකු සියදිවි නසා ගැනීමේ පුවත වාර්තා වීමත් සමග අපේ සිත් බලවත් කම්පනයකට ලක් වුණා. ඇතැම් විට අප බලාපොරොත්තු නොවූ තත්ත්වයන් තුළ පවා තරුණ පරම්පරාව පීඩනයක සිටින බවට සාධක මේ හරහා ලැබෙමින් තිබෙනවා.

විශේෂෙන්ම මේ පේරාදෙණිය සරසවියේ කේන්ද්‍රගත කරගනිමින් වාර්තා වුණු පළමු අවාසනාවන්ත සියදිවි නසා ගැනීම් නොවේ.

2022 සැප්තැම්බර් මාසයේ තවත් ශාස්ත්‍ර පීඨ සිසුවකු අතුරුදන් වුණා. පසුව ඔහුගේ මළ සිරුර හමු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙක් අතුරුදන් වුණා. පසුව ඔහුගේ සිරුර හමු වුණා.

පසුගිය කෙටි කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු මහවැලි ගංගාවට පැන සියදිවි හානි කර ගැනීම මෙය මානසික පීඩන තත්ත්වයේ උපරිම අවස්ථාවක් බවත් මෙම සිසුන් දෙදෙනාම මානසික ආතතිය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බවත් මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා අනාවරණය කළා මට මතකයි.

වර්ෂ 2014 දිත් පේරාදෙණියේ දී ගසක එල්ලී සිය දිවි නසාගත් සිසුවකු ගේ මළ සිරුරක් හන්තාන කන්ද බෑවුමේ දී හමුවුණා.

ලොව පුරා වාර්ෂිකව මානසික ආතතිය හේතුවෙන් දස ලක්ෂයකට අධික පිරිසක් මිය යනවා.

මෙය බරපතළ ඛේදවාචකයක් වන්නේ ලංකාව වගේ රටවල්වලට. විශේෂම රටක අනාගතය තීරණය වන ගාමක බලවේගය තමයි තරුණ පරම්පරාව. ඔවුන් ඔවුන්ගේ ජීවිත සම්බන්ධව අපේක්ෂා භංග වීම තුළින් ගම්‍යවන්නේ රටේ අනාගතය පිළිබඳව අඳුරු චිත්‍රයක්.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ම සිය දිවි නසාගන්නේ වයස අවුරුදු 20-30 අතර තරුණ පිරිස. ඒ අතරට සරසවි සිසුන්ද ඇතුළත්ව සිටිනවා.

ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුවත්කමක් නොමැතිවීම, මානසික අසහනයන් ඇතුළු මනෝ විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක කරුණු ගණනාවක් මේ සියදිවි නසා ගැනීම්වලට හේතුවෙනවා.

මේ තත්ත්වය සුළු කොට තකමින් එය එතරම් නොදැනෙන ප්‍රශ්නයක් සේ පැත්තකට කරන්නට පුළුවන්කමක් නැහැ.

1989 – 1993, 1997-1999 යන වසරවල දී සියදිවි නසාගැනීම පැත්තෙන් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ පසු වූ අතර, 2000න් පසුව සෝවියට් සමූහාණ්ඩුවේ රටවල සංඛ්‍යා ලේඛන වෙන් වෙන්ව වාර්තා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පහළට ගියා. අද වුණත් සියදිවි නසා ගැනීම අතින් ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමේ කනගාටුදායක තැනක සිටිනවා.

තාරුණ්‍යය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමත් රටේ අභියෝග සහ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටත් ඔවුන්ට සූදානම් කිරීම හා ඔවුන්ගේ හැකියාවත් යොදා ගැනීමත් අත්‍යවශ්‍යයි.

එහෙත් අද වන විට තරුණ පරම්පරාව තුළ අපේක්ෂා භංග වීමට හේතු වී ඇත්තේ රටේ අනාගතය පිළිබඳව ඔවුන් ඉදිරියෙහි ඇති අඳුරු චිත්‍රයයි.

තමන්ගේ ජීවිත සිහින දිනා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව හෝ ඊට අවශ්‍ය කරන මාර්ගයේ පවත්නා බරපතළ අවහිරතා හේතුකොටගෙන ඔවුන් බලවත් චිත්ත පීඩනයකට ලක් වෙනවා. හරි හමන් කෑමක් බීමක් නැතිව, තමන්ට ලැබිය යුතු මහපොළ දීමනාව පවා පමා වූ තත්ත්වයක් තුළ කර කියා ගන්නට කිසිවක් නොමැතිව ළත වෙන සරසවි සිසුන් අතිවිශාල පිරිසක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා.

අන්තර්ජාතික අධ්‍යාපන ක්‍රමවේදය තුළ වෛද්‍ය උපාධියක් අවුරුදු 22 දී ද, අනිකුත් උපාධීන් අවුරුදු 20 දී ද ලබා ගැනීමට හැකියාවක් ලැබි තියෙනවා. එවන් තත්ත්වයක් තුළ තරගකාරි ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ලංකාව තුළ යාවත්කාලීන නොවීම බරපතළ ගැටලුවක්. ඒ නිසා ලෝකය සමග තරග කරද්දී අපේ තරුණ පරම්පරාව ඔවුන්ට වඩා වසර කිහිපයක් පිටුපසින් සිට ගන්නට සිදුව තිබෙනවා.

මේ සියලු කරුණු පිළිබඳව සැලකිල්ලට ගැනීම කාගෙත් වගකීමක් වෙනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ මානසික තත්ත්වය ශක්තිමත් කිරීම උදෙසා වැඩසටහන් සංවිධානය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුයි. ඒකට යුනෙස්කෝ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබාගැනීම අපහසු නැහැ.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment