කුණුවලින් රන් සොයන මිනිස්සු

538

හුඟ දෙනෙක් හිතන්නෙ අපි නගර සභා කම්කරුවන් කියලා

මහන්සි වුනොත් දවසට හාරපන්දාහක් හොයාගන්න පුළුවන්

තුනට හතරට නැවිලා පාර අතුගාන එක ලේසි නෑ

වෙළෙඳ අගනගරය වන පිටකොටුව හා ඒ අවට පිහිටි වීදි අතරින් හෙට්ටිවීදිය ප‍්‍රකටව ඇත්තේ රන් කර්මාන්තය පිණිසය. දහවල සතර දිග් භාගයෙන් පැමිණෙන ගැනුම්කරුවන්ගෙන් සහ විකුනුම්කරුවනගෙන් පිරී යන වීදියක් ලෙස ප‍්‍රකට හෙට්ටිවීදිය තුළින් ඒ මොහොතේ දිස්වූවේ පාළුවට ගිය ස්වභාවයක්ය. දෙපස පිහිටි ස්වර්ණාභරණ කඩසාප්පු ඉබි යතුරු ලා ඇත. එපමණක් නොව දහවල වෙළෙඳ කන්කරච්චලයෙන් පිරී යන අවශේෂ වීදි සියල්ලම පාහේ තවමත් අවදි වී නැත. එම ප‍්‍රදේශ සියල්ල පාහේ ඇවිස්සුන කඩිගුලක් බඳු ස්වරූපයක් ගනු ලබන්නේ උදෑසන 9.00 කනිසම පසුවීීමත් සමඟය. ඒ සඳහා තවත් හෝරා දෙකක පමණ කාලයක් හිරු ඉහළ අහසට ගමන් කළ යුතුව ඇත.

එවැනි වටපිටාවක් තුළ හෙට්ටිවීදිය මැද ඇවිද යමි.

ගමනෙහි අරමුණ වෙනස්ම ආකාරයේ රැකියාවක නිරත මිනිසුන් කීප දෙනෙකු මුණගැසීමය. ඔවුන් හා කතාබහ කොට වැදගත් තොරතුරු කීපයක් අසා දැන ගැනීමය. පෙර දින හිතවතෙකු මාර්ගයෙන් දැනගත් තොරතුරුවලට අනුව එම අමුතු රැකියාවේ නිරත මිනිසුන් බහුලව ගැවසෙන ප‍්‍රදේශය වෙත මා ළඟාවී ඇත. අසා දැනගත් තොරතුරුවලට අනුව ගෑස්පහ හන්දියේ සිට හෙට්ටිවීදිය මැදින් මඳ දුරක් ගමන් කළ පසු මේ කියන්නට යන මිනිසුන්ගේ රුව නෙත ගැටිය යුතුය. තොරතුරු ලබා දුන් පුද්ගලයා විසින් සඳහන් කළ කරුණුවලට අනුව උදෑසන හතත් අටත් අතර කාල වේලාව ඉක්ම යෑමට මත්තෙන් ඔවුන් හෙට්ටිවීදියට පැමිණිය යුතුව ඇත.

තාලයට අනුව කාලය ගතවෙමින් ඇත. අදාළ ස්ථානයට පළමුව ළඟාවූවේ කළු කෙසඟ සිරුරක් හිමි මිනිස් රුවයක්ය. පටු වීදියක් මැදින් හෙට්ටිවීදියට පය තැබූ ඔහු අලස ගමනින් පැමිණ පදික වේදිකාවේ එක්තරා තැනක නතර විය. ඔහුට මඳක් එපිටින් බේසම් කීපයක්, අඬු කෝප්ප දෙක තුනක් සහ අඩක් පුරවන ලද දියරයක් සහිත බඳුන් කීපයක් විය. ඒ සිල්ලම ප්ලාස්ටික් භාවිතයෙන් කළ නිමැවුම්ය.

පැමිණ ඇත්තේ මා මෙතෙක් වේලාවක් බලා සිටි මිනිසුන්ගෙන් එක් අයෙක් විය යුතුය. තොරතුරු ලබා දුන් පුද්ගලයා සඳහන් කළ ‘දූත ලක්ෂණ’ වලට බොහෝ සේ සමාන රුවක් සහිත එම නාඳුනන පුද්ගලයා සමඟ කතාබහ ආරම්භ කළ යුතුව ඇත්තේ ඉහත සඳහන් අනුමාන මතය. පමණටත් වඩා ඒ දෑස මත ජීවිතයේ මහන්සිය සටහන් වී ඇත. කෙසඟ අතපය කළු දුඹුරු පැහැයක් ගෙන ඇත. කතාබහ පිණිස වැඩි කැමැත්තක් නොදැක්වූ ඔහු අවසානයේදී තම හඬ අවදි කර සිටියේ මාගේ බලවත් ඉල්ලීම මතය.

කුණුවලින් රන් සොයන මිනිස්සු

මම උපන්නෙ ගම්පොල…. පොඩි කාලෙම රස්සාවක් හොයාගෙන කොළඹ එනවා. ඒ ඇවිත් රස්සා ගණනාවක් කළා. එකක්වත් එක දිගට කරන්න පුරුද්දක් මට තිබුණේ නෑ. මුට්ට කරගහලා ඒකත් කරන්න බැරි තැන තමයි හෙට්ටිවීදියට බැස්සෙ. දැනට අවුරුදු හත අටකට ඉඳලා මේ රස්සාව තමයි කරන්නෙ. දවසට රුපියල් තුන්හාරදහසක් හොයනවා. ඒ වගේම තමයි වියදමත්. මට කියලා ඉන්න කොළඹ ගෙයක් දොරක් නැහැ. දරුමල්ලො නෑ. පැය විසිහතරම මහපාරෙ තමයි ඉන්නෙ. කොහේ හිටියත් හැමදාම උදේ අට වෙද්දි හෙට්ටිවීදියට එනවා. ඒ ඇවිත් හෙට්ටිවීදිය උඩ ඉඳලා පහළටත් පහළ ඉඳලා උඩටත් එක දූවිලි පොදක් නැති වෙන්න අතුගාන එක තමයි අපේ රස්සාව. මම ඒක කරන්නෙ දවසෙ කුලියට. ඒ අතුගාන කුණු ඔක්කොම අපේ බොස්ට දෙන්න ඕන. එයා තමයි කුණු ටික ගරලා හෝදලා වේලලා ඒ කුණු ගොඬේ තියෙන රත්තරං ටික අරගන්නෙ. ඒක විකුණලා අපේ ගාන අතට දීල එයත් ලාභයක් ගන්නවා ඇති. මේක පැය දෙක තුනක රස්සාවක්. හැබැයි හැමදාම රස්සාව තියෙනවා. දවසට රුපියල් තුන් හාරදසක් ලැබෙනවා. දවසට කීයක් හෙව්වත් හෙට උදේ වෙනකොට අතේ සතේ නෑ. සල්ලිවලට වෙන දේ මොකක්ද කියලා මහත්තයට දැන් හිතාගන්න පුළුවන්නෙ.

ඔහුගේ කතාව එතැනින් නිමාවට පත්විය.රැකියාවේ ස්වභාවය පිළිබඳ විමසීමේදී ඒ පිළිබඳ වැඩි විස්තර නොපැවසීමට තරම් ඔහු පරිස්සම් විය. වැඩි විස්තර විමසා සිටියේ පුවත්පත් ලිිපියක් සඳහා යැයි මා විසින් පැවසීමත් සමඟ ඒ සඳහා අකමැත්ත පළ කිරීමේ බැල්මක් මුව මත රඳවා ගත් ඔහු නැවතත් උස් හඬින් කටහඬ අවදි කරන්නට විය.

‘‘මට අකුරු බෑ. පත්තරවලින් මට වැඩක් නෑ. ඉන්න. මං අපේ බොසාව එක්ක එන්නම්…..’’

එසේ පැවසූ ඔහු අප රැඳී හුන් ස්ථානයෙන් කඩිනමින් පිටව යන අයුරු දැකගත හැකි විය. විනාඩි කීපයකට පසු මා රැඳී සිටි ස්ථානයට ඔහු වෙනුවට පැමිණියේ වෙනත් පුද්ගලයෙක්ය. පෙර පැමිණි මිනිසාට බෙහෙවින් සමාන රූපයෙන් යුත් අලූත පැමිණි පුද්ගලයා කතාවේ දක්ෂයකු බව ඒත්තු ගැන්වීමට ගතවූයේ සුළු මොහොතක්ය.

”මහත්තයට මොනවද අපෙන් දැනගන්න ඕන. රස්සාවෙ විස්තරේ කියන්නම් හැබැයි අපේ පින්තූර ගන්න එපා.”

එසේ සඳහන් කළ නඬේෂන් ඔහු ඇතුළු තවත් පිරිසක් සිය ජීවිකාව බවට පත් කරගත් ”කුණුවලින් රන් සොයන” රැකියාව පිළිබඳ දිගු විස්තරයක් පවසන්නට විය. එය රත‍්‍රන් තරම් ඉස්තරම් කතාවක් නොවීය. දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මිය යන ඔවුන් ජීවත්ව සිටින කාලය තුළ තෝරාගත් අමුතු රස්සාව සාමාන්‍ය සමාජයට තරමක් අලූත් කතාවක් විය හැක. එය වඩාත් හොඳින් ග‍්‍රහණය කරගත හැක්කේ නඬේෂන්ගේ වචනයෙන්ම ඒ බව මෙහි සටහන් කිරීම තුළය.

”මෙහෙමයි… මේ රස්සාව කරන විශාල පිරිසක් ලංකාවෙ ඉන්නව. රත‍්‍රන් වැඩපොළවල් තියෙන්නෙ කොහේද ඒ හැම තැනම අපේ මිනිස්සුත් ඉන්නව. අපි කරන්නෙ අහක යන රත‍්‍රන් එකතු කරල ඒවා විකුණල කීයක් හරි හොයාගෙන දරුවන්ට කන්න අඳින්න දෙන එක විතරයි. මේ රස්සාව මොකක්ද කියල විස්තර කරනවනම් ඒක වෙන්නෙ මෙහෙමයි.

අපි ඒකට හෙට්ටිවීදියම උදාහරණයකට ගමුකො. හෙට්ටිවීදිය කියන්නෙ මේ පාර දෙපැත්තෙ පේන්න තියෙන රත‍්‍රන් බඩු කඩ සාප්පුවලට විතරක් නොවෙයි. අර පේන්න තියෙන පුංචි දොරුවකින් ඇතුළු වුණාට පස්සෙ තමයි මේ හෙට්ටිවීදියේ ඇත්තටම වෙන්නෙ මොනවද කියල දැකබලා ගන්න ලැබෙන්නෙ. ඔය එක දොරුවකින් ඇතුල් වුණාට පස්සෙ රත‍්‍රන් වැඩපොළවල් සිය ගානක් දැක ගන්න පුළුවන්. ඒවා ඇතුලේ දහස් ගානක් මිනිස්සු වැඩ කරනව. අරුංගල් ජෝඩුවෙ ඉඳල හැම ස්වර්ණාභරණයක්ම ඒ තැන්වල හදනව. එහෙම ස්වර්ණාභරණ නිෂ්පාදනය කරද්දී මිටියෙන් තළන්න ඕන, පීරි ගාන්න ඕන, ඔප දාන්න ඕන. රත‍්‍රන් කුට්ටියක් අරන් මේ වැඩ ටික කරල ස්වරණාභරණයක් බවට පත් කිරීමේදී යම්කිසි රත්තරං ප‍්‍රමාණයක් අපතේ යනවා. ඒක මේ කර්මාන්තයේදී හඳුන්වන්නෙ ‘වැඩ පාඩුව’ (wastage) කියලා. පවුමක වැඩක් කරනවා නම් වැඩ පාඩුව විදිහට මංචාඩියක් යන්නෙ රන්කරුවට එයා දක්ෂයෙක් නම් ඒ වැඩපාඩුව විදිහට රත්තරං මංචාඩිය ඉතිරි කර ගන්න එයාට පුළුවන් වෙන්න ඕන. නමුත් කාටවත් ඒක කරන්න බෑ. පොඩි ප‍්‍රමාණයක් හරි අපතේ යනවා. ඒ හින්ද තමයි රත්තරං වැඩපොළවල්වල කුණු ගොඩ ලොකු ගනන්වලට මිලට ගන්න වෙනම පිරිසක් මේ කර්මාන්තය ආශ‍්‍රිතව ඉන්නෙ. ඒකට ලොකු සල්ලියක් ඕන. ඒ වගේම ඒක මහා පරිමාණ බිස්නස් එකක්.’’

නඬේෂන් විසින් දීර්ඝ විස්තරයක් පැවසීමට ගැනීමත් සමඟ එය හැකිතාක් කෙටි එකක් බවට පත් කිරීම මගේ අරමුණ විය. එය ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇතුළු අනිකුත් පිරිස දෛනිකව සිදු කරන රැකියාව පිළිබඳ ඔහු විසින් විස්තර කර සිටින්නට විය.

‘මෙහෙමයි….. අපි කරන්නෙ හෙට්ටිවීදියේ පාර හා පදික වේදිකාව අතුගාන එක. ඒක හරි පරිස්සමට කරන වැඩක්. මොකද එක දූවිලි බිඳක්වත් අපතේ ගියොත් අපේ උත්සාහයට මිලක් නැති වෙනවා. හෙට්ටිවීදියට යන එන හුඟදෙනෙක් හිතන්නෙ අපි නගර සභා සේවකයො කියලා. ඒක වැරදියි. බ‍්‍රෂ් එකක් අරන් තුනට හතරට නැවිල පාර අතුගාන සිරිතක් නගර සභාවේ නැහැනෙ. මේ රස්සාව කරන්න ලොකු වියදමක් යන්නෙ නෑ. අර තියෙන්නෙ අවශ්‍ය බඩුමුට්ටු ටික (පදික වේදිකාවේ තබා ඇති බේසම් බාල්දි දෙස අත දිගු කරමින්) ඒ ටික තිබුණම මේ රස්සාවට හොඳටම ඇති. පාර අතුගාල එකතු කර ගන්න දූවිලි ගොඩ එක තැනකට ගෙනල්ල මුලින්ම කරන්නෙ වතුර දම දමා ගරන එක. එහෙම තුන් හතර පාරක් ගැරුවට පස්සෙ තුනීම දුවිලි තට්ටුවක් එක්ක ඇහැට පෙනෙන නොපෙනෙන තරමේ රත්තරං ප‍්‍රමාණයක් බේසමේ ඉතුරු වෙනවා. උදේ ඉර එළියට ඒක හොඳින් දිලිසෙනව නම් එදා දවස සරුයි.’’

‘‘ඊට පස්සෙ ඒ තුනී දුවිලි තට්ටුවට රසදිය එකතු කරන්න ඕන. රසදිය ටික හොඳට අතගාල ආපසු හෝදනවා. එහෙම කරල රසදියෙන් රන් වෙන්කර ගන්නවා. රිදී ටිකක් කලවම් කරල මකන එක තමයි ඊළඟ පියවර. ඊට පස්සෙ ඊයම් පිඹිනවා. අන්න ඊට පස්සේ තමයි තුනට හතරට නැවිල පාර අතුගාන එකේ නියම ප‍්‍රතිඵලය එන්නෙ. රත්තරං ටික අතට ගන්නෙ ඔන්න ඔහොමයි. අපි වගේ පොඩි මිනිස්සු කරන්නෙ එහෙම දවස ගානෙ එකතු කර ගන්න රන් ප‍්‍රමාණය එවෙලෙම අලෙවි කරල අතට කීයක් හරි ගන්න එකයි. ඒ රන් මිලට ගන්න හෙට්ටි වීදියෙ ඕන තරම් වෙළෙන්දො ඉන්නවා. හොඳ මිලක් එන්නෙ කොතනින් ද එතනට අර රන් මංචාඩි කීපය දීල ගතමනාව හොයාගන්න එක තමයි අපි හැමදාම කරන්නෙ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හැමදාම මහපාරෙ රත්තරං කොහෙන්ද කියලා. කුඹුරක අස්වැන්න නෙළද්දී හැම වී ඇටයක්ම ගෝනියට ගන්න බෑනෙ. අන්න ඒ වගේ තමයි මේකත්. කාගෙවත් ඇහැට පේන්නෙ නැති රත්තරං ටික අයිති අපිට. අපේ මහන්සිය ඒකට මුහුකළාට පස්සෙ අපි ඒ රන් අස්වැන්නෙ අයිතිකාරයෝ බවට පත්වෙනවා.’’

ඉහත සඳහන්ව ඇත්තේ සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නොමැති වුවද හෙට්ටිවීදිය ආශ‍්‍රිතව දිනපතා දකින්නට ලැබෙන සුලබ දසුනක නොපෙනෙන පැත්ත පිළිබඳ කතා පුවතය.

කුණුවලින් රන් සොයන මිනිස්සු

එය හෙට්ටිවීදියට පමණක් සීමා වී නැත. රටේ තවත් බොහෝ තැන්වල කුණුවලින් රන් සොයන මිනිසුන් බහුලය. රන් ආශ‍්‍රිත නිෂ්පාදනයක් පිණිස ප‍්‍රචලිත ප‍්‍රදේශ තුළ එය වඩාත් බහුල ලෙස දැක ගත හැක. එපමණක් නොව එය දිගු ඉතිහාසයක් සහිත රැකියාවක්ය. නඬේෂන් පවසා සිටින ආකාරයට එම රැකියාව ඔහුට උරුම වන්නේ පිය උරුමයෙන්ය. මේ දිනවල වෙළෙඳපොළ පවතින රන් මිල අනුව රන් මංචාඩියක් රුපියල් හාර දහසක අගය ඉක්මවා යන වටිනාකමකින් සමන්විතය. ඒ අනුව පැය කීපයක මහන්සියක් තුළ රන් මංචාඩියක් තරමේ ප‍්‍රමාණයක හිමිකරුවෙකු වීමට මේ කියන මිනිසුන් සමත් වේ නම් ඔවුන් සැලකියයුතු ආදායමක වෙහෙසකර හිමිකරුවන්ය.

තවත් කතාබහ කිරීම පිණිස බොහෝ දේ ඇතත් ඒ සඳහා කාලය හරස් වෙමින් ඇත. නඬේෂන්ගේ නොඉවසිලිමත් ඉරියව් ආදියෙන් ඒ බව මනාව පැහැදිලිය. අතරමග මුණගැසුන නාඳුනන මිනිසුන් කීප දෙනා වෙන්ව යෑමට මත්තෙන් සඳහන් කර සිටියේ තව දුරටත් මා සමඟ කතා බහ කිරීම තුළ ඔවුන්ගේ වටිනා කාලය නිකරුණේ අපතේ යන බවත් එබැවින් අපගේ කතාබහ එතෙකින් නතර කළ යුතු බවත්ය. ඔවුන්ගේ ජීවිතය බඳු හෙට්ටිවීදිය ඒ වන විටද තරමක් ජනාකීර්ණ වෙමින් පැවැති අතර ඔවුන් දෛනික රැකියාව පිණිස හෙට්ටිවීදිය අමදින්නට වුයේ ඉන් අනතුරුවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment