කුණු අල ලූනු පලතුරු රට පුරා බෙදාහැරීමේ ජාවාරමක්…”ෂෝට් ඊට්ස් රසයි පලතුරු යුෂ මිහිරියි” ඒත් හදන විදිහ කැතයි

248

කුණු අල, ලොකු ලූනු අස්සේ මත් කුඩුත් රටට ගේනවා…

මේ ජාවාරම කරගෙන යන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයො…

ඩොලර් නැතිකම නිසා කන්ටේනර් කීයක් වරායේ හිර වෙලා තියෙනවද කියලා අපෙන් ඇහුවට වැඩක් නෑ…

කාලයක ඉඳලා කොලිටියෙන් බාල අල, ලූනු ආපනශාලාවල පරිභෝජනයට ගන්නවා…

පාන් කියාගන්න බැරිව සිටින මිනිසුන්ට කුණු අල, ලූනු කවන ජාවාරමක් ගැන වාර්තා විය. එම ජාවාරම රටට හෙළිදරව් කරනු ලැබුයේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාය. නගරාධිපතිවරයා පවසන ආකාරයට කූට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ලූනු විදේශ රටවලින් මෙරටට රැගෙනවිත් රට පුරා පිහිටා ඇති අවන්හල් සහ භෝජනාගාරවලට කුණු කොල්ලයට බෙදාහරිනු ලැබේ. වරාය අධිකාරියේ දූෂිත නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව නිදහස් වන කුණු අල, ලූනු සුද්ධ පවිත‍්‍රකොට බෙදාහැරීම සිදු කෙරෙන්නේ දඹුල්ල නගරය කේන්ද්‍ර කොටගෙනය. අවන්හල් සහ භෝජනාගාර හිමිකරුවන් විසින් මිලට ගන්නා එම කුණු අල, ලූනු කෙටි ආහාර (Short Eats) නිෂ්පාදනයට යොදාගන්නා බව ද නගරාධිපතිවරයා පවසන්නේය.

‘‘මේ ජාවාරම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. කාලයක ඉඳලා මහා පරිමාණයෙන් කරගෙන යන ජාවාරමක්. වරින්, වර අපි මේ ගැන රටට හෙළිදරව් කළා. ඒත් නීතිය හරි හැටි ක‍්‍රියාත්මක වුණේ නෑ. මේ ජාවාරමේ සීයට, සීයක් ඉන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ. ඒ වගේම මේ කුණු අල, ලූනු තොග අස්සේ මත් කුඩුත් රට තුළට ගේන බව මම වගකීමෙන් කියනවා. ජාවාරම්කාරයන්ගේ ඉලක්කය මත් කුඩු. ඉතුරු වෙන කුණු අල, ලූනු ටික කුණු කොල්ලයට විකුණනවා. මට තියෙන ගැටලූව පාරිභෝගික සේවා අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය මේ සියලූ ආයතනවල නිලධාරීන්ගේ ඇස් වහලා මේ කුණු ගොඩවල් දඹුල්ලට රැගෙන එන්නේ කොහොමද යන්නයි..’’ කුණු අල, ලූනු රේගුවෙන් පිටවන ආකාරය ගැන දඹුල්ල නගරාධිපතිවරයාට ඇත්තේ පුදුමයකි. එහෙත් ඔහු කියන කතාවට අපගේ සිතේ උපන්නේ දුකකි. ඒ රටේ මර්මස්ථානවල සේවය කරන ඇතැම් කාලකණ්ණි නිලධාරීන් සහ රට ගැන කැක්කුමක් නැති පජාත ජාවාරම්කාරයෝ එකතු වී අපේ රටේ මිනිසුන්ට පිටරටවල කුණු කැවීම ගැනය. රට තුළ මත් කුඩු වපුරමින් මන්දබුද්ධික අනාගතයක් නිර්මාණය කිරීම ගැනය. එම සිතුවිලි මනසේ හොල්මන් කරන අතරේ රේගුවෙන් කුණු අල ලූනු පිටවීම ගැන කරුණු විමසා බැලීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතාට අපි කතා කළෙමු.

‘‘අල ලූනු කන්ටේනර් පෙට්ටි රේගුවේ තියාගන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවට ගිහින් තියෙන්නේ වැරැදි මතයක්… ආනයනකරුවො, පිටරටවල සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර භාණ්ඩ ගනුදෙනුව සිද්ධ කරනවා. ඇතැම් සැපයුම්කරුවෝ නැවට භාණ්ඩ පටවන්න පෙර අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම ආනයනකරුවන්ගෙන්් ලබාගන්නවා. විශ්වාසය මත පසුව මුදල් ලබාදීමේ පොරොන්දුව මත භාණ්ඩ නැවට පටවන සැපයුම්කරුවොත් ඉන්නවා. ඔය අතර කාලයේදී අදාළ භාණ්ඩ සහිත නැව කොළඹ වරායට පැමිණ එස්.එල්.පී.ඒ., සී.අයි.සී.ටී., එස්.ඒ.ජී.ටී. අංගන තුනෙන් එකකට භාණ්ඩ භාර දෙනවා. භාණ්ඩ තොගයට අදාළ ලිපි ලේඛන බැංකුවෙන් ලබාගන්නකොට හිඟ මුදල පියවන්න ඕනෑ. භාණ්ඩ සැපයුම්කරුගේ රටේ අදාළ බැංකුවට, මෙරට බැංකුව විසින් ඒ මුදල් යැව්වට පස්සේ තමයි ගනුදෙනුව සම්පූර්ණ වෙලා භාණ්ඩ තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය ලියකියවිලි ආනයනකරුට ලබාදෙන්නේ. ආනයනකරු රුපියල්වලින් භාණ්ඩවල වටිනාකම පියවා සැපයුම්කරුට මුදල් ගෙවීමට මෙරට බැංකුවට ඩොලර් නැති නම් මුදල් ගෙවීම පරක්කු වෙලා ආනයනකරුට අදාළ ලිපි ලේඛන ලැබීමත් ප‍්‍රමාද වෙනවා. ඒ වගේම සැපයුම්කරුට මුදල් ගෙවා භාණ්ඩ තොගයේ අදාළ ලිපි ලේඛන ලබාගත් සැණින් රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගන්නත් බෑ. ආනයනකරු විසින් භාණ්ඩ තොගයට අදාළ ලිපි ලේඛන නිෂ්කාශන නියෝජිතයකුට ලබාදී එම නියෝජිතයා විසින් භාණ්ඩ තොගයේ විස්තර සහිත ප‍්‍රකාශනයක් සකස් කර රේගුවට ඉදිරිපත් කරන්න ඕනෑ. කොවිඞ් තත්ත්වයත් එක්ක එම ප‍්‍රකාශනය ඔන්ලයින් ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒ ප‍්‍රකාශනයත් එක්ක තමයි රේගුව දැනගන්නේ ආනයනයක් නිෂ්කාශනය වෙන්න පටන්ගෙන තියෙන බව. ඒ වෙනකම් අංගනවල තියෙන භාණ්ඩ ගැන රේගුව දැනුවත් නෑ. අදාළ භාණ්ඩ තොගවල ලියකියැවිලි බැංකුවේ හිර වෙලා තියෙනවා කියලා රේගුව දන්නෙත් නෑ. ඩොලර් නැතිකම නිසා කන්ටේනර් කීයක් වරායේ හිර වෙලා තියෙනවද කියලා අපෙන් ඇහුවට වැඩක් නෑ. අපි දන්නේ නෑ…’’

කුණු අල ලූනු පලතුරු රට පුරා බෙදාහැරීමේ ජාවාරමක්..."ෂෝට් ඊට්ස් රසයි පලතුරු යුෂ මිහිරියි" ඒත් හදන විදිහ කැතයි

‘‘ඒ වගේම භාණ්ඩ තොගයට අදාළව නිෂ්කාශන නියෝජිතවරයා ඉදිරිපත් කරන ලියකියැවිලි පරීක්‍ෂා කර සැක සහිත ලියකියැවිලි විතරයි කාර්යාලයට ගෙන්වන්නේ. ගැටලූවක් නැති ලියකියැවියලි රේගු ගාස්තු අය කරගෙන ඔන්ලයින් මාර්ගයෙන් අනුමත කරනවා. ඊට පසුව අදාළ ලිපි ලේඛනවල තිබෙන භාණ්ඩම ද කන්ටේනර් පෙට්ටි තුළ තිබෙන්නේ කියලා රේගු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන්න ඕනෑ. සැකයක් නැති නම් කන්ටේනර් පෙට්ටි පරීක්‍ෂා නොකරම නිදහස් කරනවා. භාණ්ඩ තොගය නිදහස් කිරීමට අවසර දුන් බව අදාළ අංගනයට දැනුම් දුන් පසු ආනයනකරුට භාණ්ඩ තොගය ලබාදෙනවා. සැක සහිත නම් වරායෙන් පිටත කන්ටේනර් පෙට්ටි පරීක්‍ෂාවට ලක් කරන යාඞ් තුනෙන් එකකට යවනවා. එතැනදී රේගු නිලධාරීන් පරීක්‍ෂා කර අදාළ ලියකියැවිලිවලට අනුව භාණ්ඩ නිවැරැදි නම් නිදහස් කරනවා. සැක සහිත නම් රඳවා ගන්නවා. ඒ වගේම අල, ලූනු වගේ ආහාර සහිත කන්ටේනර් පෙට්ටි නිදහස් කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පත් කර, යාඞ්වල රාජකාරි කරන ආහාරපාලකවරු විසින් අනුමත කරන්න ඕනෑ. එම අනුමැතිය ලැබුණු පසු තමයි ආහාර කන්ටේනර් ආනයනකරුට නිදහස් කරන්නේ. නරක් වෙච්ච ආහාර තොග තිබුණොත් අදළා කන්ටේනර් පෙට්ටි යාඞ්වලින් නිදහස් කෙරෙන්නේ නෑ. එම ආහාර තොග විනාශ කරනවා…’’

‘‘ඒ වගේම නරක් වෙච්ච ආහාර තොග විනාශ කිරීමේ ක‍්‍රමවේදයක් තියෙනවා. පරිසර අධිකාරියේ අනුමැතිය, භාණ්ඩ තොග විනාශ කරන ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය සභාවේ අනුමැතිය ලබාගත් ස්ථාන තියෙනවා. එම භාණ්ඩ තොග විනාශ කිරීමට ලියාපදිංචි ආයතන තියෙනවා. එම ආයතනවලින් නිවැරැදිව ඒ කටයුත්ත කරනවද කියා නිරීක්‍ෂණය කරන්න රේගු නිලධාරිවරු යනවා. එම විනාශ කිරීමේදී භාණ්ඩ තොග එහා මෙහා වෙන්න පුළුවන්. ඒත් හැම රේගු නිලධාරියෙක්ම වැරැදි කරන්නේ නෑ. නීතිගරුක නිලධාරීන් වගේම දූෂිත නිලධාරීන් ඉන්න පුළුවන්. ඒත් එක් අයෙක්, දෙතුන් දෙනෙක් කරන වරදකට සමස්ත රේගුවටම දොස් පැවැරීම වැරැදියි. ඒ වගේම සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප‍්‍රමාදවීමත් එක්ක අල, ලූනු වගේ ආහාර තොග නරක් වෙනවා. එම භාණ්ඩ තොග අතහැර දැමූ භාණ්ඩ සේ සලකා වරාය අධිකාරියට අලෙවි කිරීමේ අයිතිය තියෙනවා. ඒත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග අලෙවි කරන්න වරාය අධිකාරියට අයිතියක් නෑ. ඒ අවස්ථාවේදී පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ තොග විනාශ කරන්නේ වරාය අධිකාරියෙන්. ඒකට රේගුවේ කිසිම සම්බන්ධයක් නෑ. එම විනාශ කිරීමේදීත් යම් දූෂිත ක‍්‍රියාවක් වුණොත් නරක් වෙච්ච ආහාර තොග එළියට යන්න පුළුවන්. ඒත් වරාය අධිකාරියේ සෑම නිලධාරියෙක්ම දූෂිත නෑ…’’ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ ක‍්‍රමවේදය සරලව අපට පැහැදිළි කළේය. නීතිගරුක රේගු නිලධාරීන් අතර දූෂිත නිලධාරීන් සිටිය හැකි බව ද හේ පැවසුවේය. කුණු අල, ලූනු තොග නිදහස් වී ඇත්තේ රේගුවේ හෝ වරාය අධිකාරියේ එම දූෂිත නිලධාරීන්ගේ උදව් උපකාරයෙන් බව අපි සිතමු. එහෙත් තොග බඩු ව්‍යාපාරිකයන් බහුල වශයෙන් සිටින්නේ කොළඹය. එවැනි පසුබිමක කුණු අල, ලූනු තොග දඹුල්ලට රැගෙන යෑම සම්බන්ධයෙන් අපට ඇත්තේ බරපතළ ගැටලූවකි. එහෙයින් රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතාගෙන් ඒ ගැන අප විමසා සිටියෙමු.

‘‘අල, ලොකු ලූනු විශාල වශයෙන් ආනයනය කෙරෙන්නේ ඉන්දියාව, පාකිස්ථානය, චීනයෙන්. ඉන්දියාවේ, පාකිස්ථානයේ අල, ලොකු ලූනු, සුදු ලූනු හොඳට මෝරලා, වියෙළන්න තියලා තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. හොඳට වියළීම තුළ ආහාරවල කල් පැවැත්ම වැඩියි. චීනය කරන්නේ අල අස්වැන්න නෙළපු හැටියේ කූල් රූම්වල දානවා. ආනයනයට සූදානම් කරන්නෙත් ඒසී බෝක්ස්වල. ඉන්දියාව, පාකිස්ථානයේ අල, ලූනු 99% ක්ම එන්නේ සාමාන්‍ය ඇසුරුම්වල. මේ දිනවල බහුල වශයෙන් අපේ රටට අල ආනයනය කෙරෙන්නේ චීනයෙන්. නැවේ කූල් රූම්වල ඇවිත්, ඩොලර් නැති ප‍්‍රශ්නයත් එක්ක කන්ටේනර් පෙට්ටි වැඩි කාලයක් වරායේ රඳවාගෙන ඉන්නකොට අල ගෙඩි පුරා මොරෙයි ඇදිලා තිබුණා. අන්තිමේ රේගුවෙන් කිසිදු පරීක්‍ෂාවකින් තොරව ඒ අල, ලොකු ලූනු කන්ටේනර් පෙට්ටි නිදහස් කරලා තිබුණා. ආනයනකරුවො දඹුල්ලේ තොග ගබඩාවලට ගෙනත් මිනිස්සු දාලා අලවල මෙරෙයි ගලවලා වෙළෙඳපොළට නිකුත් කරන්න සුදුසු විදිහට හදලා තිබුණා. නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු එතැනට ගිහින් තමයි ඔය ප‍්‍රශ්නය මතු වෙලා තිබුණේ…’’

‘‘සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන්නේ පාඩු විඳින්න නෙමෙයි. පාඩුවක් විඳින්න වෙනවා කියලා දැනෙනවා නම් එම පාඩුව අවම කරගන්න උපරිමයෙන් ව්‍යාපාරිකයො කටයුතු කරනවා. ඒක ජාවාරමක් විදිහට සමාජගත කිරීම දඹුල්ල වෙළෙඳපොළට කරන බරපතළ හානියක්. කිසිම ආනයනකරුවෙක් කුණු වෙච්ච අල, ලූනු ආනයනය කරන්නේ නෑ. ඒ වගේම විදේශීය ආහාර තොග වෙළෙඳාම බහුල වශයෙන් කෙරෙන්නේ කොළඹ හතරවෙනි හරස්වීදියේ. කොළඹ වරායට එන අල, ලූනු කන්ටේනර්වලින් 80% ක් යන්නේ හතරවෙනි හරස්වීදීයේ තොග වෙළෙඳසල්වලට. දඹුල්ලට එන්නේ 20% ක් වගේ සුළු ප‍්‍රමාණයක්. ඒත් දැන් රට පුරා පැතිර ගිහින් තියෙන්නේ නරක් වෙච්ච අල, ලොකු ලූනු බෙදාහරින්නේ දඹුල්ලෙන් කියලා. කොළඹ හතරවෙනි හරස්වීදියට ගිය 80% ක අල, ලූනුවල නරක් වෙච්ච ඒවා තිබිලම නෑ. ඒවා තෝරලා වෙළෙඳපොළට නිකුත් කරලත් නෑ. ඒත් පිටකොටුවේ සිල්ලර වෙළෙඳපොළේ ඇවිදගෙන යනකොට කෑලි කැපූ අල, ගොඩම රුපියල් මෙච්චරයි ලොකු ලූනු ඕන තරම් ප‍්‍රසිද්ධියේ විකුණනවා. කෑලි කපලා, ගොඩ ගහලා ඒ විකුණන්නේ ගබඩාවල තේරිලා අන්තිම රොඞ්ඩ. ආපනශාලා හිමියන්ට දඹුල්ලට එන්න ඕනෙ නෑ, පිටකොටුවේ සිල්ලර වෙළෙඳපොළට ගියා නම් ලොරි පිරෙන්න නරක් වෙච්ච අල, ලූනු ගෙනියන්න තිබුණා…’’

‘‘ඒ වගේම මේ සිද්ධියට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කිසිම සම්බන්ධයක් නෑ. පිටරටවලින් ආනයනය කරන අල, ලොකු ලූනු ගබඩා කිරීමේ මධ්‍යස්ථාන තියෙන්නේ ආර්ථික මධ්‍යස්ථානයෙන් පිට. ඒ නිසා මේ ගැටලූව සම්බන්ධයෙන් අපට කතා කරන්න අවශ්‍ය නෑ. ඒත් අපි කතා කළේ ඔය වගේ මාධ්‍ය සංදර්ශනවලින් අපකීර්තියට පත් වෙන්නේ අනාදිමත් කාලයක සිට පැවත එන කීර්තිමත් දඹුල්ල වෙළෙඳපොළ වෙනුවෙන්. ඒ වගේම දඹුල්ලෙන් හෝ කොළඹ හතරවෙනි හරස්වීදියෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙඳපොළට නිකුත් කරනවා නම් ඒක වැරදියි. දඬුවම් ලබාදිය යුතු වරදක්. එවැනි ජාවාරමක් සිද්ධ වෙනවා නම් විදිමත් පරීක්‍ෂණයක් කර ජාවාරම්කාරයන්ට දඬුවම් ලබා දෙන්න කියලා අදාළ ආයතනවලින් ඉල්ලා සිටිනවා…’’ රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කීර්ති නාමය වෙනුවෙන් එම වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා කරුණු ඉදිරිපත් කළද, කොළඹ හතරවෙනි හරස්වීදියේ වෙළෙඳ සංගමයේ නිලධාරීන්ට කතා කළ ද, තොග ව්‍යාපාරිකයන් සම්මුඛ වී පෙළගැසෙන ගැටලූව ගැන කරුණු කාරණා විමසා සිටිය ද ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීමට ඔවුන් කැමැත්තක් දැක්වූයේ නැත. පසුව අපි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ට කතා කර පෙළගැසෙන කුණු ආහාර කතාවේ සත්‍යතාවය විමසා සිටියෙමු.

‘‘ඔය කතා සමාජයට අලූත්. අපිට නම් පරණයි. කාලයක ඉඳලා කොලිටියෙන් බාල අල, ලූනු ආපනශාලාවලට ගන්නවා. මේ රටේ ආහාරපාන කර්මාන්තයේ නියැළී සිටින 60% ක් ආහාරපාන නිෂ්පාදනයට පරණ ආහාර ගන්නවා. ෂෝට් ඊට්ස්වලට විතරක් නෙමෙයි, සමහර ආපනශාලාවල ව්‍යාංජනවලටත් කෑලි අල, ලූනු ගොඩවල් ගන්නවා. ෂෝට් ඊට්ස් විකුණන පෙට්ටි කඩවල, සාමාන්‍ය හෝටල්වල විතරක් නෙමෙයි, සුපිරි ආපනශාලාවලටත් පරණ අල ලූනු තොග පිටින් ගන්නවා. පොල් තෙල්වලින් දෙපාර, තුන් පාර බදිනවා. ඒ වගේම කෑලි අල, ලූනු ගොඩවල් ගන්න දඹුල්ලට යන්න ඕන නෑ. පිටකොටුවේ හතරවෙනි හරස්වීදිහට ගියා නම් ඇති වෙන්න ගන්න පුළුවන්. ලොකු මිලකුත් නෑ. ඒ විතරක් නෙමෙයි ඇතැම් ආහාරපාන නිෂ්පාදනකරුවන් මාළු ගන්නෙත් අඩුම කොලිටියේ බඩු. සමහර හෝටල්වල පලතුරු බීම හදන්න, සැලඞ් හදන්න පරණ පලතුරු තොග පිටින් ගන්නවා. කොළඹ හතරවෙනි හරස්වීදියට ගියාම පරණ පලතුරු තොගයට ගන්න පුළුවන්. ඒ නිසා ඒ මොහොතේම පිළියෙළ කරදෙන ජූස් බාර් එකකින් ෆුඞ් සැලට්, ෆුඞ් ජූස් කනවා, බොනවා හැරෙන්න හෝටල්වල ප‍්‍රිජ්වල පල්වෙන පලතුරු ජූස්, සැලඞ් වර්ග කන්න බොන්න එපා…’’

‘‘ඒ වගේම රාජ්‍ය ආයතනවල, රෝහල්වල කැන්ටින් ටෙන්ඩර් කැඳවන්නේ අවම මිලට. ටෙන්ඩරය ගන්න ආපනශාලාකාරයෝ ඒ මිලට කෑම දෙන විදිහක් ගැන ඒ ආයතන ප‍්‍රධානීන් හිතන්නේ නෑ. කොලිටියෙන් බාල ආහාර පරිභෝජනයට ආපනශාලාහිමිකරුවන්ව හුරු කරන්නෙත් රාජ්‍ය නිලධාරීන්ම තමයි. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, පාරිභෝගික අධිකාරිය, ප‍්‍රමිති ආයතන නිලධාරීන් කාර්යාලයෙන් දොට්ට බැහැලා රාජකාරිය කරනවා නම් මේ රටේ ආපනශාලා කීයක් නම් සීල් තැබෙයි ද? එසේ පැනයක් මතු කළේ සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිය.

එහෙත් මේ රටේ රේගුවෙන් කුණු ආහාර දොට්ට ඒම ගැන අපි පුදුම නොවෙමු. කාර්යාලවල පුටු රත් කරමින් පින් පඩි ගන්න නිලධාරීන්ට අපි දොස් නොකියමු. විනයක් නැති, එක නීතියක් ක‍්‍රියාත්මක නොවන රටක මීට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැක. දැන් රටේ මිනිසුන්ට මේ කුණු කතා කොපමණ කීවත් අහන්නට තරම් යහපත් මානසිකත්වයක් ද නැත. එසේ අසරණ වී සිටින ජනතාවට කුණු ගොඩවල්වලින් ආහාර නිෂ්පාදනය කර අලෙවි කරන කාලකණ්ණි ආහාරපාන කර්මාන්තකරුවන් ගැන අපට ඇත්තේ දුකකි. ඒ ඔවුන් වැඩි ලාභ අරමුණින් මිනිසුන්ට කුණු කවා අපාගතවීම ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment