කුණු කොල්ලයට විකිණෙන ඇෆ්ගන් මනාලියෝ

1578

මට යන්න බෑ..” පර්වානා දෙපා පොළවේ හප්පමින් හැඬුවාය. එහෙත් එයින් පලක් වූයේ නැත. ඇයට යන්නටම සිදු විය. මනාලියක වූ පර්වානා දැන් ඇගේ අම්මාටත් තාත්තාටත් අයිති නැත. ඇය දැන් අයිති ඇගේ සැමියාටය. හරියටම කිවහොත්, මනාලියක ලෙස ඇයව මුදල් ගෙවා මිලදී ගත් ඇගේ සැමියාටය. ඒ සැමියාගේ වයස අවුරුදු පනස් පහකි. ඒත් පර්වානාට නම් තවමත් වයස අවුරුදු නවයකි.

වර්තමාන ඇෆ්ගනිස්ථානයේ බොහෝ ලාබාල දැරියන්ට අත්වන ඉරණම අහිංසක පර්වානාටද අත් වූයේ මීට දින කීපයකට පෙරය.

දුප්පත්කම පර්වානාගේ පවුලේ අයට අමුතු දෙයක් නොවේ. මතක ඇති කාලයක පටන්ම ඔවුන්ට අගහිඟ කම් වලින් හිඟයක් තිබුණේ නැත. එහෙත් මේ වසර මුලදී රට තලේබාන් පාලනය යටතට පත් වීමත්, රටට ලැබෙන ජාත්‍යන්තර ආධාර නතර වීමත් සමග ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපටම ඇද වැටිණ.

අන්තිමේදී පර්වානාගේ තාත්තාටත් සිදුවූයේ එරට දුප්පත් දෙමාපියන්ගෙන් බහුතරයක් අසීරුවෙන් වුවත් ගන්නා තීරණයට එළඹෙන්නටය.

පර්වානාගේ තාත්තා ඔහුටත් වඩා වියපත් මහල්ලෙකුට පර්වානාව විවාහ කර දුන්නේ කැමැත්තකින් නම් නොවේ. ඔහුටත් වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. එසේ නොකළා නම් ටික කාලයකට හෝ පවුලේ අනෙක් අයගේ කුසගිනි නිවන්නට තමාට වෙන ක‍්‍රමයක් නැති වන බව, පර්වානාගේ පියා, අබ්දුල් මලික් සී එන් එන් පුවත් සේවයේ වාර්තාකරු හමුවේ කියා සිටියේ පර්වානාව විවාහ කර දෙන්නට පෙරය.

පර්වානාගේ දොළොස් වියැති අක්කණ්ඩියව මනාලියක කොට විකුණා දැම්මේ මීට මාස දෙක තුනකට පෙරය. ඇයව විකුණා ලබා ගත් මුදල් මේ වන විට ඉවර වී ඇත. ඉතින් ඔහු ඊළඟට විකුණා දැම්මේ, කවදා හෝ දවසක ගුරුවරියක් වෙන්නට බලාපොරොත්තුවෙන් ඉගෙන ගනිමින් උන් බාල දියණිය පර්වානාවය. පර්වානාව විකුණා ලබා ගත් මුදල්ද තව වැඩි කාලයකට සෑහෙන එකක් නැත.

ඇෆ්ගනිස්ථානයේ බාඞ්ගිස් පළාතේ, ක්වාලා ඊ නාව් සීමාවේ ඇති අවතැන් කඳවුරකදී, ඇෆ්ගානිස් 200,000 ක (ඩොලර් 2,200 ක් පමණ) මුදලකට, ක්වෝර්බාන් නැමති වියපත් මිනිසා පර්වානාව මිලදී ගත්තේ ඔක්තෝබර් 24 වෙනිදාය.

”මේ කෙල්ල ඒ ගාණට ලාබයි. එයාගෙ තාත්තා හරි දුප්පත්. එයාට සල්ලි ඕන වෙලා තිබ්බා..” සී එන් එන් මාධ්‍යවේදියා අදහස් විමසූ විට ක්වෝර්බාන් කීවේ එසේය. ”කෙල්ල මගේ ගෙදර වැඩපල කරගෙන ඉඳියි. මං එයාට ගහන්නෙ බනින්නෙ නෑ. මං එයාට මගේ පවුලෙ අනිත් අයට වගේම කරුණාවෙන් සලකනව..”

ළමා විවාහ සංකල්පය ඇෆ්ගනිස්ථානයට අලූත් දෙයක් නොවේ. එය සියවස් ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ තිබුණු චාරිත‍්‍රයකි. එහෙත් යුද්ධයත්, කාලගුණ වෙනස් වීමත් නිසා ඇතිවුණු දුගීබව විසින් ඇෆ්ගනිස්ථානයේ බාලවයස්කාර දැරියන්ගේ ඉරණම ඛේදජනක අයුරින් වෙනස් වී ඇත.

මිලියන 22.8 ක් පමණ වූ ඇෆ්ගනිස්ථාන ජනගහනයෙන් හරි අඩකටවත් මේ මස අග භාගය වන විට ඉතා දරුණු ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි World Food Program ආයතනය පවසයි.

බාඞ්ගිස් පළාතේ අගනගරය වූ ක්වාලා ඊ නාව්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප‍්‍රදේශ අතුරෙන් එකකි. එහි වැසියන්ට ජීවත්වීම අතිශයින්ම දුෂ්කර වී ඇත. බටහිර ඇෆ්ගනිස්ථානය ග‍්‍රහණය කොටගෙන ඇති දැඩි නියං සමය තුළ දිවි රැක ගැනීම උදෙසා තම සැමියා විසින්, ඔවුන්ගේ බාලවයස්කාර දියණියන් දෙදෙනාවම විකුණා දැමූ හෙයින් ෆාහිමා සිටින්නේ හැ`ඩූ කඳුලෙනි. මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා සය හැවිරිදි ෆරිටේෂ් හා මාස දහ අටක් වයසැති ශුක්රියා, අවතැන්වූවන්ගේ කඳවුරේ පස් ගඩොලින් හා ටාපොලින් රෙද්දෙන් නිමැවුණු තාවකාලික නිවහනේ නිරාවරණ පොළව මත අම්මා අසලින් වැතිරී සිටිති.

”අපේ දුවලා දෙන්නව විකිණුවේ නැත්තම්, කන්න දෙයක් නැතිව අපි හැමෝම මැරිලා යයි කියලා මගේ සැමියා කිව්වා..” ෆාහිමා ඒ කියන්නේ ඇගේ කතාව මෙන්ම ඇෆ්ගනිස්ථානයේ දුගී අවතැන් පවුල් බොහොමයකට පොදු කතාවය. ඇගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමල් දැරිය විකුණා දැම්මේ ඩොලර් 3350 කට ය. තවමත් සිඟිත්තියක වූ දෙවැන්නිය මිල කෙරුණේ ඩොලර් 2800 කටය. ඔවුන්ට මේ මුදල් ලැබෙන්නේද අවුරුදු කීපයකදී ගෙවා නිම කෙරෙන පරිදි කොටස් වශයෙනි. ඔවුන්ව අනාගතයේදී ඔවුන්ගේ සැමියන්ගේ නිවෙස් වලට යවන තුරු මේ වාරික මුදල් ගෙවීම සිදු වනු ඇත. ඒ දැරියන්ගේ අනාගත ස්වාමි පුරුෂයෝ ද තවමත් බාල වයස්කාරයෝ ය.

තමන්ගේ නිවෙස් වලින් හා ගොවිබිම් වලින් පලවා හැරුණු, දැනට අවතැන් වූවන්ගේ කඳවුරු වල වෙසෙන ගොවි පවුල් අතරින්, තමන්ගේ දරුවන්ව විකුණා දමන්නට සිදුවුණු පවුල් සොයා ගැනීම මාධ්‍යවේදීන්ට අසීරු කාරණයක් වූයේ නැත.

ෆාහිමා ඒ පළාතේම සාබෙහ්රෙහ් හි අවතැන් වූවන්ගේ කඳවුරක් අසල වෙසෙන විසිපස් හැවිරිදි කාන්තාවකි. ඇය තම පවුලේ අයගේ කුසගිනි නිවීම පිණිස අසල වූ සිල්ලර බඩු කඩයකින් ණයට බඩු මිලදී ගත්තාය. අන්තිමේදී ඇයට ඒ ණයට හිලව්වට දෙන්නට සිදුවූයේ ඇගේ තුන් හැවිරිදි දියණියවය.

”මං ඒක කළේ කැමැත්තකින් නෙවෙයි. ඒත් අපට වෙන කරන්න දෙයක් නෑ.” ෆාහිමාද මාධ්‍යවේදීන්ට පැවසුවේ අනෙක් අය පැවසූ කතාවමය. ”තව මාස දෙක තුනක් මේ විදිහට ගියොත් අපට මාස තුනේ අත දරුවො පවා විකුණන්න සිද්ධ වෙයි..”

කුණු කොල්ලයට විකිණෙන ඇෆ්ගන් මනාලියෝ

ක්වාලා ඊ නාව් කඳවුරේ වෙසෙන මොහොමඞ් අසාන්, මාධ්‍යවේදීන්ට තම දියණියන් දෙදෙනාගේ ඡායාරූප පෙන්වූයේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. ඔහුගේ දියණියන් වන නව හැවිරිදි සියානාත්, සය හැවිරිදි එඩිගුල්ත් දැන් වෙසෙන්නේ, ඔවුන්ගේ තරුණ ස්වාමි පුරුෂයන් සමග දුර ඈත පළාත් වලය.

”ඒ දරුවන්ව දුන්නා දුන්නාමයි.. තව මේ වෙනතුරු ඇහැටවත් දැක්කෙ නෑ..” මොහොමඞ් අසාන් පවසයි. ”අපි කැමැත්තකින් දුන්නා නෙවෙයි. ඒත් එහෙම නොකළා නම් අපිට අනිත් දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නැති වෙනවා..”

අනෙක් බොහොමයක් අය මෙන්ම ඔහුත්, ඔහුගේ පවුලේ අයත් මේ සා දුක්ඛිත අඩියකට වැටුණේ ඇමරිකානු සහය ලද රජය පරදවා තලේබාන් සංවිධානය විසින් ඔවුන් සිටි ප‍්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුවය.

”හැබැයි මගේ කෙල්ලො දෙන්නා අපට වැඩිය හොඳට කාලා බීලා ඉන්නවා ඇති..” ඔහුට එදා දවස පිරිමසා ගන්නට ඇති පාන්පොතු ටික මාධ්‍යවේදීන්ට පෙන්වමින් අසාන් කීවේ ඔහුගේම සිත හදාගන්නට විය යුතුය. දැන් ඔහුගේ බිරිඳ ද රෝගීව සිටින අතර, ඇයට ප‍්‍රතිකාර කරන්නට ඔහු අත මුදල් නැත. ඒ නිසා ඔහු දැනට ඉතිරිව සිටින ඔහුගේ සිව් හැවිරිදි දියණියට මනාලයෙක් සොයමින් සිටී.

”සමහර දවස් වලට මට පිස්සු වගේ..” අසාන්ගේ බිරිඳ ඩාඞ් ගුල් පවසන්නීය. ”මං කඳවුරෙන් එළියට බැහැලා ඔහේ ඉබාගාතේ ඇවිදිනවා.” තමන්ගේ බාල දරුවන්ගේ කුසගිනි නිවීමට, බාලවියේ සිටින දියණියන්ව විකුණන්නට සිදුවීමේ වේදනාව ඇයට දරා ගන්නට බැරි තරම්ය. ඇෆ්ගනිස්ථානයේ මව්වරුන්ගෙන් ඒ කටුක වේදනාව අත්විඳින්නේ ඇය පමණක් නොවේ.

43 හැවිරිදි වැන්දඹුවක් වන රාබියා, තම දොළොස් හැවිරිදි දියණියව නොවිකුණා සිටින්නට කළ හැකි හැම දෙයක්ම කළාය. එහෙත් අන්තිමේදී ඇය ඒ සටනින් පැරදුණාය. ඇගේ දොළොස් හැවිරිදි දියණිය හබිබෙහ්ට ඇගේ අනාගත සැමියාගේ නිවසට යන්නට සිදුවුණේ මීට මාසයකට පෙරය. ඇයව තව එක අවුරුද්දක් තමා සමීපයේ තියා ගන්නට ඉඩ දෙන්නැයි රාබියා හඬමින් ඉල්ලා සිටියාය. එහෙත් ඇය ඇගේ දියණිය මිලදී ගත් මිනිසාට ඩොලර් 550 ක් ණයය. ඒ ණය ගෙවා දමන්නට වෙන ක‍්‍රමයක් නැත. ඇයට ප‍්‍රමාණවත් ආදායමක් නැත. ඇගේ එකොළොස් හැවිරිදි පුතු බේකරියක අත්උදව්කරුවෙකු ලෙස වැඩ කරමින් දවසට ශත පනහක් උපයයි. නව හැවිරිදි පුතණුවන් කසළ එකතු කිරීමෙන් දිනකට ශත තිහක මුදලක් සොයා ගනී. එය ඔවුන්ට වේලක් පිරිමසා ගන්නටවත් සෑහෙන්නේ නැත. කුණු දූවිලි වලින්ම කළු ගැසුණු ඒ දරුවන් වෙසෙන්නේ අබලන් වූ තාවකාලික කූඩාරමකය.

කඳවුරේ ප‍්‍රධානියා වන අබ්දුල් රහීම් අක්බාර්, මේ අවාසනාවන්ත තීරණයෙන් තම අසල්වැසියන් වළකා ගන්නට ඔහුට හැකි පමණින් දායක වෙයි. එහෙත් ඔහුට කළ හැක්කේද එහි සිටින දුප්පත්ම පවුල් වලට පාන් සලාකයක් ලබා දීම වැනි දෙයක් පමණකි. ඔහුගේම සොහොයුරා ඇතුළුව, තවත් බොහෝ පියවරුන් තමන්ගේ දියණියන්ව විකුණා දමන්නට තරම් අසරණ වන අන්දම ඔහු දැක ඇත. මෙයට විසඳුම් ඉල්ලමින් ඔහු ප‍්‍රාදේශීය තලේබාන් බලධාරීන් හමුවට පවා ගොස් ඇත.

”මේ මිනිස්සුන්ට දරුවන්ව විවාහ කරලා දෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ ආර්ථික අපහසුතාවයන් නිසා මිසක් ඉස්ලාමික අධිරාජ්‍යයේවත්, ශාරියා නීතියේවත් වරදක් නිසා නෙවෙයි..” බාඞ්ගිස් පළාතේ තාවකාලික තලේබාන් ආණ්ඩුකාරවරයා වන, මවුලවි අබ්දුල් සත්තාර් මාධ්‍යයට පවසන්නේ එසේය.

වරද කාගේ වුවත්, කොතැනක වුවත්, ඒ වරද ඉදිරියේදීවත් සිදු නොවන්නට අවශ්‍ය පියවර ගැනීමක් මේ දක්වාම සිදු වී නැත.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment