කුණු මාළු වාසනාව

1205

අගෝස්තු නවවැනිදා ‘දිවයින’ පුවත්පතේ වැදගත් පුවතක් පළ විය. ඒ වූ කලී කොළඹ වරායේ තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු කන්ටේනර් 98 ක් වරායේ පිටතට රැගෙන ගොස් කොටස් වශයෙන් අලෙවි කරන බවත් ය. මේ මාළු තොගය කිලෝ 25000 ක් බරය. එය නැව් මාර්ගයෙන් ගෙනෙන ලද්දේ පිටරටනි. මාළු ප්‍රවාහනය කරන අතර ඒවා ගබඩා කර තිබූ කන්ටේනර්වල ශීතකරණ ක්‍රියාවිරහිත විය. ඉන්පසු ඒවා රේගුවෙන් පන්නා ගෙන ගොස් ඇති බව ද දැනගන්නට ලැබිණි. මේ මාළු තොගය තිබුණේ කන්ටේනර් 98 කය. කෝටිපති ව්‍යාපාරිකයකු විසින් මේ මාළු තොගය පන්නන ලදැයි දැනගන්නට තිබේ. දැන් අපි මේ පුවත ගැන ඔබ දැනුවත් කළ ඇත්තෙමු. මෙතැන් සිට අප කියන්නේ ඒ පිළිබඳව තිබෙන සෙසු කතාන්දර ටිකය.

ශ්‍රී ලංකාව වටේ මහ මුහුද තිබුණත් ඇතැම් මත්ස්‍ය වර්ග ගෙන්වනු ලබන්නේ පිටරටිනි. උදාහරණයක් වශයෙන් තලපත් සහ කොප්පරා මාළු වැඩියෙන්ම ගෙනෙන්නේ මැලේසියාවෙනි. මේ එක මාළු කූරියෙක් ඇතැම් විට හොණ්ඩර පහක් බරය. අධිශීතකරණය කළ කන්ටේනර්වලට බහා එම අධිශීතකරණ උෂ්ණත්වය කන්ටේනර් තුළ ද එලෙස පවත්වා ගනිමින් ලංකාවට ගෙනෙන එම මාළු පසුව ව්‍යාපාරිකයන් විසින් බෙදාහදා ගනු ලැබේ. හිස, වලිගය සහ වරල් ඉවත් කරන ලද මේ එක මාළුවෙක් මිනිසුන් දෙතුන් දෙනකුටවත් එසවීමට නොහැකිය. එබැවින් ඒවා ඔසවා ලොරිවලට පටවන්නේ මධ්‍යම ප්‍රමාණයේ ක්‍රේන් සහ Forklift වලිනි. අද මේ රටේ ජනයා කිලෝව රුපියල් 3000 කට හෝ 4000 කට ගෙන අනුභව කරන තල්පත් මාළුවලින් සියයට 90 ක් ද මෝර මාළුවලින් සියයට 70 ක් ද මැලේසියාව සහ ඒ අවට දූපත්වල ජීවත් වූ මත්ස්‍යයෝය. මේ මාළුවා මහ මුහුදේ අවුරුදු තුනක් පමණ ජීවත් වේ. ඊට පසු ශීතාගාරවල තවත් අවුරුදු තුනක් පමණ තැන්පත්ව තිබේ. ඉන්පසු මාළු ලෑල්ල අයිති මාළු මුදලාලිගේ ෆ්‍රීසර් එකේ තවත් තුන් මාසයක් පමණ සිටී. ඉන්පසු මාළු ලෑල්ලේ තවත් දින දෙක තුනක පමණ කාලයක් ගත කරයි. මේ මාළුවලට ෆෝමැල්ඩිහයිඩ් හෙවත් ෆෝමලින් ගසන ලද්දේ නම් මේ දැන් ඇල්ලූ මාළුවකු ලෙස හත් දවසක් පමණ මාළු ලෑල්ලේ සිටීමට මත්ස්‍ය මෘත දේහයට අවකාශ ලැබේ. මේ අතර පිටරට සිට මෙරටට ප්‍රවාහනය කිරීමේදී, පෙර සාකච්ඡා වුණාක් මෙන් කන්ටේනර්වල ශීතකරණ කැඩී මාළු කුණු වීමට පටන් ගනී. මේ කුණු මාළුවලින් නීත්‍යානුකූලව ගත හැකි ප්‍රයෝජන ඇත්තේ එකම එකකි. එනම් එම මාළුවලින් සත්ව ආහාර පිළියෙල කිරීමට පුළුවන. එසේ සත්ව ආහාර පිළියෙල කරන යන්ත්‍රාගාරවලින් අමුම අමු කුණු මාළු ගඳ පැය 24 පුරාම හමන නිසා එවැනි යන්ත්‍රාගාර ජනාවාස මැද්දේ ඉදිකිරීම තහනම් ය. පෙර සඳහන් කෝටිපති ව්‍යාපාරිකයා විසින් රේගුවෙන් පන්නා වෙළෙඳපොළට මුදාහැර ඇත්තේ සත්ව ආහාර සඳහා පමණක් සුදුසු මාළු තොගයකි.

මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතු වේ. ඒ, මේ මාළු තොගය කෙසේ පන්නන ලද්දේ ද යන්නයි. මෙවැනි මාළු තොගයක් එළියට ගැනීමට නම් එම වැඩ මුරයේ සේවය කරන රේගු නිලධාරීන් සියලු දෙනා සිහිසුන් කළ යුතුය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රේගුව ඉතාම දැඩි තැනකි. ප්ලේන් එකේදී ආහාරයට ගෙන තවමත් නොදිරා කුස තුළ ඇති මස් මාළුවලට පවා රේගු බදු අයකිරීම තරම් රේගුව සූක්ෂමය. එසේ නම් මේ මාළු තොගය එළියට ගියේ කොහොමද? මෙතන ඇත්තේ තලපත් කිලෝ එකක් හෝ දෙකක් නොවේ. තලපත් මාළු කිලෝ 25000 කි. මෙහි වටිනාකම රුපියල් කෝටියකි. එක්කෝ මෙකී කුණු මාළුවලට පණ ඇවිත් රේගු නිලධාරීන්ගේ ඇසින් ගැලවී පැන ගියා වන්නට පුළුවන. එහෙමත් නැතිනම් රේගුවේ සිටින මෝරුන් එකෙක් හෝ කිහිප දෙනෙක් කෝටිපති ව්‍යාපාරික තල්මසා සමග එක්ව මේ වැඩේ කළා වන්නට පුළුවන. සමහර විට ඊයේ දහවල් ඔබ අනුභව කළ බත් පතේ මෙවැනි කුණු තලපත් කෑල්ලක් හෝ කුණු මෝර මාළු කෑල්ලක් තිබීමට ඉඩ තිබේ. ඉහත සඳහන් කුණු මාළු සිද්ධිය මුලින්ම වාර්තා කරන ලද්දේ ‘දිවයින’ය. ඒ ගැන වහා පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාසයට ස්තුතිය හිමිවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ආහාරවල සෞඛ්‍ය හිතකරභාවය සහ සුරක්ෂිතභාවය පිළිබඳ අපට නිතරම වැල් බයිලා අසන්නට ලැබේ. මේ රටේ ආහාර නිෂ්පාදන දවටනයක් ගෙන බැලුවොත් එහි විවිධ ප්‍රමිති සහතිකවල මුද්‍රා තිබේ. එහෙත් හරියට පරීක්ෂා කළ බැලුවොත් ඒ ආහාරවල ප්‍රමිතියක් නැත. උදාහරණයක් ලෙස දැනට බොහෝ ව්‍යාපාරිකයන් තල බෝල නිෂ්පාදනය කරන්නේ තල තෙල් සිඳ ගත් පසු ඉතිරි වන රොඩුවලිනි. එම තල රොඩුවලට පොල්තෙල් දමා හකුරු ඇතුළු වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර තල බෝල ලෙස මාකට් කරනු ලැබේ. ලංකාවේ තිබෙන සහල්වල ප්‍රමිතිය ද මෙසේය. සාමාන්‍යයෙන් නිෂ්පාදකයින් පස්දෙනකුගෙන් කීරි සම්බා ගතහොත් ඒවා පස් විදියකි. භාගෙට කුණු වූ මස් ශීතකරණ තුළ දමා ගල් ගෙඩි බවට පත් කර විකිණීම ඉතා සුලභය. එහෙත් මේ මොන මළ ජරාව කෑවත් අපේ බඩ නරක් වන්නේ නැත. එය කිසියම් අද්භූත බලවේගයක් මගින් අපට ප්‍රදානය කරන ලද වරයක් ලෙස අප විශ්වාස කරමු. මළමිනී කල්තබා ගැනීමට යොදන ෆෝමලින් මාළුවලට යොදන්නේ දශක දෙකකටත් වැඩි කලක සිටය. එහෙත් ඒවා කෑමෙන් අපට කිසිදු අගතියක් නොවේ. කටු කම්බි හා යූරියා දමා පෙරන කුණු කසිප්පු පුරුද්දට බොන ඇතැම් බේබද්දෝ අවුරුදු සියයකට කිට්ටු කාලයක් ජීවත් වී සිටී. ඒක තමයි මේ රටේ ජනතාව සතු එකම වාසනා මහිම ය.

advertistmentadvertistment
advertistmentadvertistment