කුණු හිත අදට මෙපමණයි

1170

ඉදිරි මාස හය භයානකම මාස 6 විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවාට ඒ මාස හය තුළ කුසගින්නේ මියයෑමට සිදුනොවන බවට හැඟීමක් දැන් අප තුළ තිබේ. එයට හේතුව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකිව තිබීම ය. පිටකොටුවේ වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසූ පරිදි පරිප්පු, සීනි, සහල්, සැමන්, බීලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවකම මිල මේ වන විට පහත දමා තිබේ. ඒ අනුව රුපියල් 650 ට අලෙවි කළ පරිප්පු කිලෝව රුපියල් 420 දක්වා අඩු වී තිබේ. රුපියල් 380 ට අලෙවි කළ සීනි කිලෝව රුපියල් 260 දක්වාත්, රුපියල් 2200 ක් වූ වියළි මිරිස් කිලෝව රුපියල් 1300 දක්වාත්, රුපියල් 700 සිට 875 දක්වා මිල ගණන්වලට අලෙවි කළ සැමන් ටින් එක රුපියල් 600 දක්වා ද, රුපියල් 220 ට තිබූ බීලූනු කිලෝව රුපියල් 120 දක්වා ද මිල අඩු කර තිබේ. මේ අනුව ඊයේ සිට බත් පාර්සලයක මිල රුපියල් 50 කින් අඩු කරන බව ශ්‍රී ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිතුමා රූපවාහිනියට පැවසීය. මෙය ඉතා විසිතුරු තත්ත්වයකි. භාගෙට දිව්‍ය ලෝකයේ ගියා හා සමාන තත්ත්වයකි. එහෙත් අලියාගේ නැට්ටේ එල්ලී දෙව්ලොව ගිය ගමරාළ ඇතුළු පවුල නැට්ට අතහැරී මඟදී බිමට වැටුණා මෙන් සිල්ලර කඩයට ගිය විට මේ රටේ පාරිභෝගිකයා බිම ඇද වැටේ. ඉහත ආකාරයට අඩු කළ බඩු මිලේ වාසිය කිසිදු ආකාරයකින්  පාරිභෝගිකයාට ලබා දීමට සිල්ලර වෙළෙන්දා සූදානම් නැත. සිල්ලර කඩේ පරිප්පු මිල තවමත් රුපියල් 650 කි. ඇතැම් තැනෙක සීනි කිලෝව තවමත් රුපියල් 400 කි. සැමන් ටින් එකක් අදටත් රුපියල් 875 කි. බී ලූනු කිලෝවක් රුපියල් 180 සිට 250 දක්වා විවිධ මිල  ගණන්වලට විකුණනු ලැබේ. බී ලූනු කිලෝවක් රුපියල් 120 දක්වා අඩු වී ඇතැයි කීවද, ඒ මිලට ලබාගත හැක්කේ බී ලූනු නොව බී ලූනු පොතු ය.

 සිල්ලර වෙළෙඳාම යනු රටකට අත්‍යවශ්‍ය සාධකයකි. නිෂ්පාදකයා විසින් නිපදවනු ලබන බඩු ජනතාව අතට යන්නේ සිල්ලර වෙළෙන්දා හරහා ය. සිල්ලර වෙළෙන්දා සහ නිෂ්පාදකයා අතර තොග වෙළෙන්දා සිට ගෙන සිටියි. සිල්ලර වෙළෙන්දා සහ තොග වෙළෙන්දා යන දෙදෙනාගෙන් එක් අයකු ශූන්‍ය කළ හැකි නම් බඩු මිල අඩු වන බවට ප්‍රායෝගික මතයක් තිබේ. අද රටේ තිබෙන තත්ත්වය හැටියට මෙතැනදී ශූන්‍ය කළ යුතු වන්නේ සිල්ලර වෙළෙන්දා ය. නිෂ්පාදකයා වෙතින් ලබා ගන්නා බඩු කෙළින්ම පාරිභෝගිකයාට විකිණීමට හැකි නම් ඒවා අඩු මිලට ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි වේ. නිෂ්පාදකයාගෙන් බඩු මිලට ගන්නා තොග වෙළෙන්දා ලාභයක් තබා ගනී. ඔහු සිල්ලර වෙළෙන්දාට එම බඩු විකුණන විට ඔහු තබා ගත් ලාභය එම විකුණුම් මිලට ඇතුළත් ය. සිල්ලර වෙළෙන්දා ද ලාභයක් තබාගෙන පාරිභෝගිකයාට බඩු විකුණයි. එවිට භාණ්ඩයේ නිෂ්පාදන මිලට සමාන මිලක් ලාභය වශයෙන් එකතු වන අවස්ථා තිබේ. මේ ක්‍රමය වැළැක්වීම සඳහා ආණ්ඩුව පාලන මිලක් ඉදිරිපත් කරයි. පාලන මිල දැමූ සැනින් ඊට යටත් වන බඩු භාණ්ඩ වෙළෙඳපොළෙන් අතුරුදන් වන අතර එතැන් සිට කළු කඩය බිහි වේ. කළු කඩය යනු සිල්ලර වෙළෙන්දාගේ ම තවත් ස්වරූපයකි. තත්පර කිහිපයක් තුළ කළුකඩකාරයකු වීමට සිල්ලර වෙළෙන්දාට පුළුවන. මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. බඩු වැඩි මිලට විකුණන වෙළෙන්දන් අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුව වැටලීම් කරන හැම විටකම එම බඩු මාර්කට් එකෙන් අතුරුදන් වෙයි. ඒ නිසා මෙය පාලනය කිරීම ඉතා දුෂ්කරය. වැඩි මිලට පෙට්‍රල් විකුණන අය කොතරම් අත්අඩංගුවට ගත්තත් අදටත් රුපියල් 1500 ට පෙට්‍රල් ලීටරය විකුණන අය වෙළෙඳපොළේ සිටිති. රුපියල් 1000 ඩීසල් ලීටරය විකිණීමට සැලසුම් කොට ඩීසල් ලීටර් දහස් ගණනින් ගබඩා කරගෙන සිටින අය අදටත් අත්අඩංගුවට ගනු ලැබේ. නිදහස් ආර්ථිකය තුළ කළුකඩය මර්දනය කිරීම එක්කෝ ඉතා දුෂ්කරය; නැත්නම් කිසිසේත්ම නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය තුළදී ජන මනස සකස් වන්නේ හැකි විටෙක හැකි ඉහළම ආකාරයෙන් ගසා කෑමට ය. එහෙත් රටක් සංවර්ධනය වන විට තරගකාරී මිලට භාණ්ඩ මිලට ගැනීම පහසු බැවින් කළුකඩය අතුරුදන් වෙයි. උදාහරණයක් වශයෙන් යුරෝපයේ සංවර්ධනය වූ රටවල කළුකඩයක් ඇත්තේ ම නැත. අපේ රටේ සිල්ලර වෙළෙන්දා නිතරම කියන්නේ තමන් සතුව තිබෙන බඩු තොග පැරණි මිලට (වැඩි මිලට) ගත් බඩු නිසා ආණ්ඩුව මිල අඩු කළා යැයි කියා අඩුවට විකිණීමට නොහැකි බව ය. මේ කතාවේ ද කිසියම් සාධාරණ තර්කයක් තිබේ. හැබැයි සාමාන්‍යයක් වශයෙන් ගත් කල ලංකාවේ සිල්ලර වෙළෙඳුන් වැඩි දෙනා කපටියෝය.

 විශේෂයෙන් ම මේ රටේ සිටින හෝටල්කාරයෝ ඉතා නරක ලෙස කෑම මිල වැඩි කරති. ගෑස් සිලින්ඩරයක් රුපියල් 10 කින් මිල වැඩි වූ විට ආප්පයක් රුපියල් 10 කින් මිල වැඩි කිරීමට ඇතැම් හෝටල්කාරයෝ සූදානම් වෙති. ගෑස් සිලින්ඩරයකින් ආප්ප 500 ක් පමණ සෑදීමට පුළුවන. එවිට ගෑස් සිලින්ඩරයට වැඩි වූ රුපියල් 10 වෙනුවට රුපියල් 5000 ක ලාභයක් ලැබීමට ඔවුනට පුළුවන. අද ප්ලේන්ටී එකක් රුපියල් 50 ක් හෝ රුපියල් 75 කි. කිරි තේ එකක් රුපියල් 100 ක් හෝ 150 කි. රුපියල් 300 ට අඩුවෙන් ඇති බත් පාර්සල් අනුභව කිරීමට නොහැක. ‘චිකන් බත්’ යැයි කියන බත් පැකට් එකක ඇත්තේ කුකුල් තටුවකින් අරික්කාලකි.

 බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව තුළ කවර වුවමනාවක් තිබුණ ද වෙළෙන්දා තුළ ඇති කුණු සිත එම පියවරට සහයෝගයක් දක්වන්නේ නැත. වෙළෙන්දන්ගේ නිරන්තර උත්සාහය වන්නේ බඩු මිල ඉහළ යනවා

 දැකීම ය. බඩු මිල ඉහළ ගිය විට පරන මිලට ගත් ස්ටොක් එක අලුත් මිලට විකිණීමට පුළුවන. අලුත් මිලට ගන්නා ස්ටොක් එක කළුකඩ මිලට විකිණීමට පුළුවන. මේ චක්‍රය ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබෙන අමන චක්‍රයකි. හැබැයි සමාජවාදී ක්‍රමය තුළ මේ අමන චක්‍රය ක්‍රියාත්මක නොවේ. කිම් ජොං උන් ගේ උතුරු කොරියාවට ධනපති රටවල් කොපමණ දොස් කීව ද ඒ රටේ බඩු මිල ඉතා අඩු ය. එසේම එක සමාන ය. අප මේ රටට සමාජවාදය ඉල්ලන බවට වැරදි වැටහීමක් ජනතාව තුළ ඇති නොවේවා! අදට මෙපමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment