කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව – මන්දාරා

162

පළමු ස්ථරය

ඉදිකිරීම් සැලසුම් ශිල්පියෙක් ලෙස කටයුතු කරන විශ්ව සහ පැසිපන්දු උපදේශිකාවක් ලෙස කටයුතු කරන මන්දාරා එකිනෙකා හමුවන්නේ අහඹු සිදුවීමක් විදිහට. එතැන් පටන් ඇරැඹෙන ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ අවසාන අවස්ථාව වන විවාහයට මන්දාරාගේ මව වන සුධර්මා සහ ඇයගේ දෙවැනි සැමියා විරුද්ධ වන්නේ විශ්ව පහතරට අයෙක් නිසා. එහෙත් ඉක්මනින් කෝප වන හා දැඩි තීරණ ගන්නා අයකු වන විශ්ව වැඩිහියටින්ගේ විරෝධය නොතකා මන්දාරා සමග විවාහ වනවා.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

දෙවැනි ස්ථරය

යශෝරා, මාතලේ ධනවත් පවුලක දියණියක්. කුඩා කලම පියා මියගොස් ඇතත් තම මව වන ඉනෝකාගේ ආදරය රැකවරණය යටතේ ජීවත් වනවා. උසස් පාසලක අධ්‍යාපනය ලබන යශෝරාගේ ජීවිතය සුඛෝපභෝගී එකක්. මියගිය පියාගේ වැඩිමහල් සහෝදරයා වන භාරත අස්වාභාවික සිතුම් පැතුම් සහිත ධනයට කෑදර පුද්ගලයකු හෙයින් විවිධ වැරදි සඳහා වරින් වර බන්ධනාගාරගත වන ඔහුට අවශ්‍යව ඇත්තේ තම සොහොයුරාගෙන්, ඔහුගේ බිරිඳ වන ඉනෝකාට අයත්වූ ධනය සහ දේපළ තමන් වෙත පවරා ගැනීමටයි.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

මේ අරමුණ ඇතිව බන්ධනාගාරයෙන් නිදහස් වන භාරත පැමිණෙන්නේ ඉනෝකා වාසය කරන භාරතගේ මහ ගෙදර වන වලව්වටයි. මෙහිදී ඇතිවන බහින්බස්වීමකදී කුඩා කල භාරතගේ මව විසින් ඔහුට කියූ ‘නිකමා’ යන වදන ඉනෝකාගේ මුවින් පිටවෙනවා. එයින් කෝපයට පත්වන භාරත එදින රාත්‍රියේ පැමිණ ඉනෝකා මරා දමනවා. මියයෑමට මොහොතකට පෙර ඉනෝකා විසින් දියණිය වන යශෝරාට පලායන ලෙස උපදෙස් දෙනවා.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

මේ අතර විශ්ව සහ මන්දාරා ප්‍රීතිමත් විවාහ දිවියක් අරඹනවා. නමුත් ඒ ප්‍රීතිමත් බව වැඩි කලක් යන්නට මත්තෙන් දෙදරා යනවා. දිනක් තම නිවසට පැමිණෙන මන්දාරාගේ දෙමවුපියන් සමග ගැටෙන විශ්ව, මන්දාරා පැවැසූ වදනකට කෝප වී ඇය තල්ලුකර දමනවා. ඒ වන විට ගැබිනියක් වන ඇය ඇද වැටී තුවාල ලබා රෝහල්ගත කරනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සුධර්මා සහ ඇයගේ සැමියා මන්දාරා තම නිවසට කැටුව යනවා. එහි සිටින අතර මන්දාරා දරුවා ලැබෙන්න රෝහල් ගත කළත් එහිදී තම දරුවා මිය යන බව ඇයට දැනගන්න ලැබෙනවා. දරුවාට මෙවැනි ඉරණමත් අත්වුණේ විශ්ව නිසා යැයි සිතනා ඇය ඔහුගෙන් වෙන් වෙනවා.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

මේ අතර නිවසින් පලායන යශෝරා කොළඹට පැමිණෙනවා. එහිදී විවිධ පීඩනයන්ට ලක්වන ඇයට මමා නම්වූ ගැහැනියක් පිහිට වනවා. ඇය විවිධ නීති විරෝධී ක්‍රියාවන් මගින් ජීවිකාව ගෙනයන්නියක්.

ජීවිතය පිළිබඳව කලකිරෙන විශ්ව තම උපන් ගම වන ගාල්ලට යන අතර මන්දාරා තනිවම තම ජීවිතය පටන්ගන්නවා. ඒ දුෂ්කර ප්‍රදේශයක පාසලකට ලබාගන්නා ස්ථාන මාරුවක් සමග.

තමන් අතින් ඉනෝකාගේ මරණය සිදුවනවා දුටු යශෝරාව සොයමින් ඇය විනාශ කරන්නට භාරත සැලසුම් කරනවා. විවිධ හෝඩුවා ඔස්සේ ඇය සොයා යන භාරතට කොළඹදී යශෝරා ගැන තොරතුරු දැනගන්නට ලැබෙනවා.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

මේ අතර කොළඹ පැමිණෙන විශ්වගේ පසුම්බිය ගාලුමුවදොර පිටියේදී මමා විසින් යශෝරා ලවා උපක්‍රමශීලීව පැහැර ගන්නවා. නිවසට පැමිණි පසු තම පසුම්බිය නැති බව දැනගන්නා විශ්ව, මිතුරකු වන කැළුම්ට සිද්ධිය විස්තර කරනවා. ඔහු පොලිස් අපරාධ අංශයේ ප්‍රධානියා. මමාගේ නිවසට විශ්ව සමග යන කැළුම් ඔහුගේ පසුම්බිය සොයා දෙනවා. එහිදී යශෝරා දකින විශ්ව ඇය මහුණ දෙන බිය, චකිතය, වේදනාව වටහා ගන්නවා.

මේ අතර යශෝරා සායමින් පැමිණෙන භාරත ගාලුමුවදොර පිටියේදී ඇය හඳුනා ගන්නවා. එහිදී භාරත දකින යශෝරා දිවගොස් වාහනයක සැඟවෙනවා. එහි හිමිකරු වන්නේ විශ්ව. ඇයත් රැගෙන තම නිවසට යන විශ්ව තම දරුවකු සේ ඇතිදැඩි කරමින් පාසලකට ඇතුළත් කරනවා.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී භාරත මමා සමග එකතු වී යශෝරා සොයාගැනීමට සැලසුම් කරනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට මමා විසින් යශෝරා භාරත හමුවට ගෙන එනවා. එහෙත් එහිදී භාරත අතින් මමා මියයනවා. මේ අතර කිසිවකු නොසිතූ ලෙස විශ්ව සහ මන්දාරා යශෝරා සොයා භාරතගේ නිවහනට පැමිණෙනවා.

විශ්ව, මන්දාරා ඇයි යශෝරා සොයන්නේ?. මේ සටනින් භාරත ජයගනීද?. එය නරඹන ඔබට භාරයි.

මේ කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව ‘මන්දාරා’.

බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, චුලක්ක්‍ෂි රණතුංග, සහේලි සිදත්මා සතරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ලක්‍ෂමන් මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ, දිනක්‍ෂි ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, මාදනී මල්වත්තගේ, මුතූ තරංගා, කීර්ති රත්නායක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ප්‍රියංකර රත්නායක, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, නයන හෙට්ටිආරච්චි, චින්තක වාස්, ෆර්නි රෝෂණී, හර්ෂිකා රත්නායක සහ රාජා ගනේෂන් චරිත මවන ‘මන්දාරා’ පිටපත ප්‍රියන්ත කොළඹගේ සහ වජිරා කස්තුරි විසිනි.

කුතුහලය සහිත ආදරය සොයා යන සිනමා චාරිකාව - මන්දාරා

කැමරා අධ්‍යක්‍ෂණයෙන් රුවන් කොස්තා, සංස්කරණයෙන් මේඝ කාවින්ද කොළඹගේ, වේශ නිරූපණයෙන් නලින් ප්‍රේමතිලක සහ රුචිර සංජීව, කලා අධ්‍යක්‍ෂණයෙන් මංගල ප්‍රනාන්දු සහ ලෙස්ලි වීරසිංහ, ඇඳුම් නිර්මාණයෙන් ජනක උල්ලන්දුපිටිය දායක වන ‘මන්දාරා’ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්‍ෂණයකි.

මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment