කුමන්ත‍්‍රණයක් තියනවා පොලිස් පරීක්ෂණ අපට සැකයි – කාදිනල් තුමා කියයි

164

බොරැල්ලේ දේවස්ථානයෙන් හමුවූ බෝම්බය – කුමන්ත‍්‍රණය කාගෙද…!

රටේ පාලනයේ වෙනසක් විය යුතුයි

පාස්කු ප‍්‍රහාරයේ රහස් දිනපතා හෙළි වෙනවා

‘‘පාස්කු ප‍්‍රහාරයේ කඳුළු කතාව ඉතාම සංවේදීයි. එයින් වින්දිත වූ පිරිස හා මරණයට පත්වූවන් සමග දෙවියන් වහන්සේ ඉන්නවා. මෙයින් මා ගොඩක් දේවල් ඉගෙන ගත්තා’’ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

කාදිනල්තුමා එසේ පැවසුවේ ඊයේ (14 දා) උදේ රාගම, තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ පැවැති ජාතික යැදුම් මෙහෙයේ ප‍්‍රධානත්වය ගනිමිනි.

ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් මෙය සංවිධානය කර තිබිණි. එහිදී තවදුරටත් කතා කළ කාදිනල්තුමා මෙසේ ද කීය.

සමහරුන් සදහමට ආබාධිත වෙලා ඇඳන් මත ඉන්නවා. අද මේ දුක් විඳින ජනතාව සමඟ අපි ඉන්නවා. අන්තිමේ එම ජනතාව දිනන අයුරක් අපට පෙනෙනවා. වේදනාව මැද වුවද ඔවුන් සමග දෙවියන් වහන්සේ ඉන්නවා. පාස්කු ප‍්‍රහාරයේ රහස් දිනෙන් දින හෙළිදරව් වෙමින් පවතින බව අපට පේනවා. මෙහි සත්‍ය කතාව බලධාරීන් යට ගහමින් සිටින බව දකින්නට ලැබෙනවා. ඇත්ත කතාව යටපත් කරන්න හැඳුවත් ජලයේ යටකරපු බෝලයක් වගේ උඩට එනවා.

බුද්ධි අංශ තොරතුරු දැන දැනත් මේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා නොකර දේශපාලන හේතුමත ඔවුන්ගේ ජීවිත නැති වෙන්නට ඉඩ ඇරියා. රටේ පාලනයේ වෙනසක් වියයුතු බව අපට පෙනෙනවා. පාස්කු ප‍්‍රහාර කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් වුණු නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න බැරි ඇයි කියලා මම ප‍්‍රශ්න කරනවා.

බොරැුල්ල සියලූ සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ බෝම්බ හමුවීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ නිසියාකාරව සිදුකරනවා ද යන්න සැකයි.

එදා පාස්කු ප‍්‍රහාරයේදී ජීවිතය පූජා කළ අයගේ රුධිරය පොළොවෙන් මොරගසනවා. දෙවියන් වහන්සේ එයට සවන් දෙනවා. අද මෙතැන මරිය මව් හරහා දෙවිඳුන්ට අපි යදිනවා.

මෙහිදී ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ජේ. ප‍්‍රනාන්දු රදගුරුතුමා ද කතා කළේය.

නෝමන් පලිහවඩන සහ සී. ආර්. ඩික්සන් ඇන්ටනි – රාගම විශේෂ සහ රිචඞ් ජී. සිල්වා – රාගම අතිරේක සහ ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment