රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර පෝලිම් යුගය අවසන් කරනවා
කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතියද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ සඳහා වන වැඩපිළිවෙළ තමා සතු බවද පවසන ඒ මහතා ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අන්තර්ගත බවද පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ හලාවත, ආරච්චිකට්ටුවේ දී පසුගියදා පැවැති ජනරැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,
“අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය වගේ බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා.
එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.
තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ.
මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආණ්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විෂෙන් තොර වෙන්න ඕන කියලා.
ආයෝජකයන් ගේනවා වගේම දේශීය හා විදෙස් රැකියා වෙළඳපොල තුළ ඊළඟ වසර 10 කාලයේ දී අපි රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කරන්න පියවර ගන්නවා.
ඒ තුළින් සෘජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ලබාගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමඟ දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැසුවා කියා පලක් නෑ. රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා.
අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු 10 තුළ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ
අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි.
ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නැහැ කියනවා. නමුත් රැස්වීම්වලට යනවිට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහපොලවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 දාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.
හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක නවදන්කුලමේ මේධානන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක යූ. කේ. ඩී පාලිත, හලාවත ආසනයේ සම සංවිධායක සමන්ත පෙරේරා මහත්වරු සහ නීතීඥ චමරී පෙරේරා මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
හලාවත – ස්වර්ණ ශ්‍රී මහවත්ත