මහනුවර දෙසින් ඇති නකල්ස් හුළං කපොල්ලෙන් පටන් ගෙන කුඹුක්ගොල්ලට පැමිණි ගමන තරමක් දුෂ්කර වූවකි. අවට මීදුම්බාන කඳු පන්ති සමූහය, “හෙල්ලෙන ගල” නොහොත් “අද්භූත මිනිසාගේ හිස” (ස්පිනික්ස් රොක්), ලකේගල-තුන් හිස් ගල කඳුපන්තිය, ඈතින් නැඟෙනහිර ක්ෂිතිජ ඉමේ වැජඹෙන යහන්ගල කඳු පන්තිය ඇතුළු ලංකාවේ හොඳම කඳු විසිරීම දකින්නට හුළං කපොල්ල කියාපු තැනකි. දුම්බානාගල, තුනිස්ගල නොහොත් තුන්හිස්ගල, කළුපහන, ගොම්බානීය, රත්නගිරිය වැනි දුම්බර නොහොත් නකල්ස් කඳු පන්ති අතර මෙවැනි ප්‍රකට හුළං කපොලු දෙකක් ඇත. එකක් පිහිටන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් “රිවර්ස්ටර්න්” හිය. එහිදී නකල්ස් ප්‍රධාන කඳුවැටිය ලෙස සැලකෙන කරගහතැන්න සිට උඩුදුම්බර දක්වා විහිදෙන කඳුවැටියේ පිහිටන උතුරු දිග පටු කපොල්ලෙන් නිරිතදිග මෝසම් සුළං උතුරු දිගට රිංගා යයි.
ඒ කඳුවළල්ල අභ්‍යන්තරයෙන් සුළං දහරා පැමිණය. මහත් ප්‍රවේගයකින් සුළං මේ තුළින් හමායන බැවින් එහි සුළං පහර සැරය. කොටින්ම මෙහි ඇත්තේ සුළං ගඟකි. ඊට හසුවීමෙන් කෙනෙකු සුළඟේ ගසාගෙන ගොස් පහත ප්‍රපාතයට හෙළන්නට තරම් ප්‍රබලය. වරෙක ඒ ඔස්සේ ගිය ත්‍රිරෝද රථයක් සුළඟේ ගසාගෙන ගොස් පහළ ගසක් මතට වැටී තිබිණි. අප්‍රේල්-ජුනි කාලයේදී අත්විඳිය හැකි මෙම අපූරුව විඳින්නට සංචාරක පිරිස් එහි එති. නමුත් එම සුළං ප්‍රවාහයම සැබැවින්ම දුම්බර කඳු කලාපයට පළමුව කඩා වදින්නේ “රිවර්ස්ටර්න්” ප්‍රදේශයට නොව, අප අද කතා කරන “කොබර්ට්ස් ගැප්” නොහොත් අට්ටලවෙට්ටුව සුළං කපොල්ලටය. අනතුරුව ඒ සුළං ධාරා කඳු වළල්ල මැදින් උතුරු දිග තැනිතලාවට තුනීවේ ගෙන යයි.
අපගේ ‘සංචාරේ’ මෙවර සිදුකරන ලද්දේ මේ කපොල්ල ඔස්සේ බව පසුගිය සතියේ අපි කීවෙමු. සැබැවින්ම හෝරා ගණනාවක් මෙහි රැඳී සිටිමින් මෙහි අපූරුවත්, සුන්දරත්වයත් විඳ ගත හැකිය. එසේම ඇති තරම් ඡායාරූප ගන්නට ද මෙතැන හොඳ තෝතැන්නකි. මේ ගැන අප යළි යළිත් කීවේ අපේ පරිසර ලෝලීන් සියල්ලම පාහේ මේ අසිරිය විඳිය යුතු බවට පසක් කළ යුතු නිසාය. අප එහි ගිය ඔක්තෝබරය සුළංවලින් තොර වුවත්, මේ දිනවල සවස් යාමයට රළු වර්ෂාවක් එහි ඇද හැලේ. මේ නිසාම අප එහි යනවිටත් පැවතියේ අඳුරු බර ගුප්ත වටපිටාවකි. නමුත්, ඈත ලකේගල සහ නැඟෙනහිරින් පෙනෙන යහන්ගල කඳු පන්ති දක්වා ප්‍රදේශය මිහිදුම් රොටුවලින් දැවටී තැනින් තැන මතුවී පෙනෙන දුම්බර කඳු අග්ගිසි කියන්නට බැරි සුන්දරත්වයක් පරිසරයට එක්කරන්නේ අප එහි සමාධිගත කරවමිනි. එතැන් සිට කිලෝමීටර් 5-6 ක් දුරින් ඇති කුඹුක්ගොල්ල හා නාඇල ගම්මාන ගත්ත ද ඒ සිට දකින දර්ශන තලය ද ඊට වෙනස් නැත. එනිසාම වනබද නාඇල සහ කුඹුක්ගොල්ල ගම්මාන මේ මිහිතලය විඳින්නට හොඳම වේදිකාවක් බව අපට පසක් වුණු කාරණයකි. ප්‍රශ්නයකට ඇත්තේ මෙම ගම්මානවලට යන්නට ඇති මාර්ගයේ පවතින දුෂ්කරතාවයි. ගම දක්වා ජීප් රථ මාර්ගයක් ඇති නමුත් එය තරමක් දුෂ්කර වූවකි.
ඒ මදිවාට අඩි 7-8 ක් පළල කොන්ක්‍රීට් සහ ගල් ඇතිරූ මාර්ගයේ බොහෝ තැන්වල ගල් ගැලවී ඇති අතර අප එහි යන දවස්වලම ගමට නළ ජලය ගෙනයෑම සඳහා ඩෝසර් රථයක් දමා කාණු කපමින් තිබිණි. ඒ කැපෙන පස් සියල්ල ගොඩකර තිබුණේ ද පටු පාරටම නිසා අපට නොසෑහෙන අමාරුවක වැටෙන්නට සිදුවුණේ අනෙක් පසෙන් පැවතියේ ගැඹුරු හෙළක් නිසාය. කෙසේ හෝ කම්කරුවන්ගේ උදව්වෙන් පස් මෑත් කරමින් අපේ ඉලක්කය ජයගත් අතර එදින දවස ගෙවී ගියේ කුඹුක්ගොල්ල සහ නාඇල ගම්මාන දෙකේ ය. කුඹුක්ගොල්ලේදී අපට ගම්වැසියන් හා පිළිසඳරක යෙදෙන්නට අවකාශ ලැබුණු අතර, තේ පැන් සංග්‍රහයක් ලබන්නට ද හැකි විය. ඒ අතර ඔරිජිනල් ගමේ බඩු වන කිතුල් හකුරු සමග කහට කෝප්පයක උණුසුම ලැබීම අපට ආශ්වාදයක්ම විය.
තවමත් හිරු එළියක් වැටී නැති, වැහිබර අඳුරේම හීතල කපාගෙන දහවල් අපි නැවත නාඇල සහ කුඹුක්ගොල්ලෙන් පිටවූ අතර, ගම අවසන් වන විට දකින බටහිර දර්ශන තලයේ මීමුරේ යන මාර්ගය අනෙක් කඳුවැටියේ වංගු ගසමින් හරි අපූරුවට සටහන් වී ඇත්තේ දෙමෝදර ජටා හැඩති දුම්රිය මාර්ගය සිහිපත් කරමිනි. එම මාර්ගයේ ඇති අලංකාර කුඩා දිය ඇලි කිහිපයක්ම අප ගමන් කරන මේ කුඹුක්ගොල්ල මාර්ගයට දිස්වේ. ඒ අතර “දෙකිඳ” නම් ඇල්ලක් ද වේ. එසේම, එකල වනයෙන් හා නිල තෘණ පතන්වලින් වැසී තිබුණු ඇතැම් බෑවුම් ඉඩම් දැන් ව්‍යාපාරිකයින් අතට ගොස් ඇත. ඒ වටා කම්බි වැට ගසා ඉදිකිරීම් ලහි ලහියේ සිදුවන අයුරුද අපට දක්නට ලැබිණි. මේ සියල්ලක් පසුකර එනවිට යළිත් කුඹුක්ගොල්ල මාර්ගය මීමුරේ යන ප්‍රධාන මංසන්ධියට සම්බන්ධ වන ස්ථානයට නුදුරෙන් මාර්ගය හරහා ගලායන කුඩා ඔයක් මුණ ගැසේ. මීට කලකට ඉහත මේ ඔය ගලාගෙන ගියේ සපත්තු පාලමක් සහිතව මාර්ගය මතිනි. නමුත්, දැන් එහි පාලමක් තනා ඇත. තරමක් අඳුරු, වන වදුලක් සහිත ස්ථානයක පිහිටි මෙම ඔය අසබඩ කලක් ගමට යන එන උදවිය පඬුරක් දමා කොළ අත්තක් එල්ලන සිරිතක් තිබී ඇත. එසේම තම ගොවිතැන් ආරම්භය, නව නිවාස තැනීම, වාහනයක් මිලදී ගැනීම, වෙළෙඳාමක් කරගැනීම, දරුවන්ගේ ඉඳුල් කටගෑම වැනි සුබ කටයුතුවලදී මෙහි පුද පූජා පැවැත්වීම ගම්මුන්ගේ සිරිතය. ගොවිතැන් නිමාවෙදීද ගම්මු අලුත් සහල්වලින් කිරිබතක් පිස මෙහි දෙවියන් වැඳ පූජා පවත්වති.
කුඹුක්ගොල්ලේ සිට එන ගමනේදී අපට මෙහිදී දක්නට ලැබුණේ එදින ද පූජාවක් පවත්වන කුඹුක්ගොල්ලේ වේලු මුදලාලි සහ තවත් කිහිප දෙනෙකි. ඔවුන්ගේ පුද්ගලික පූජා වුවත් එහිදී ඔවුන් “මුරුතැන් බත්” පිස දෙවියන් නමස්කාරය කරන්නට කටයුතු යොදා තිබිණි. අපගේ වාහන ද එහි නවතා දානය පිළිගැනීමට එන ලෙස වේලු මුදලාලි සහ ගමේ තරුණයා කළ ඉල්ලීමට එහි ගිය අප සිල්ලන්ටම කෙසෙල් කොළවලට උණු-උණු මුරුතැන් බත් බෙදා දෙන්නට ඔවුන් ලෝභ වුණේ නැත. පිටින් එන අයට මෙවැනි පූජාවක් දෙන එක තමන්ට වැඩි පිනක් ලැබෙන වැඩක් හැටියට සැලකූ ඔවුහු අපට මදි නොකියන්න දන් දුන්හ. ඒ ප්‍රණීත දිව්‍ය භෝජනයෙන් කුසගිනි නිවාගත් අපි එතැනින් නික්මුණේ ගම්මුන් එහි තනා ඇති ඉතාම කුඩා දේවාල ආකෘතියට අපගේ පඬුරු පුදා දෙවියන්ද නමස්කාර කරමිනි.
අනතුරුව මීමුරේ-හුන්නස්ගිරිය මාර්ගයට පිවිසි අපි, එතැන් සිට සුළං කපොල්ල දක්වා එක එල්ලේ නගින කඳු හා වංගු සහිත මාර්ගය තරණය කරමින්, පැමිණ අනතුරුව ප්‍රවේශමෙන් බැස යන්නට ඇති වංගු පාර පසුකරමින් හුන්නස්ගිරියට පැමිණියේ හිරු අවරට බැස ගිය යාමයේය. එතැන් පටන් වංගු 18 පාරේ මහියංගණය දෙසට අප ගමන් ගත්තේ උඩදුම්බර නගරය මුණගැසෙන තුරුය. මන්ද එදින රාත්‍රිය අප උඩදුම්බර ලැගුම් ගන්නා නමුත්, අපගේ සන්ධ්‍යාව එදින අඳුර වැටෙන තුරු ගෙවී ගියේ දුම්බර අඩවියේ තවත් සුන්දර කඳුකර ගම්මානයක් වන කළුගල – ගැරඬිඇල්ල පාමුල පිහිටි මූණමල්පැලැස්සේ ය. එය වෙනම ගමනකි. එසේම වෙනම කතාවකි. ඒ ගැන පසුවට කතා කළ යුතු අතර, මේ ගමනේදී අපි 18 වංගුව බැස හසලක නොහොත්, මිණිපේ ද දවසක් ගතකළ බව සිහිපත් කළ යුතුය.
සැරිසර –
ජගත් කණහැරආරච්චි
කැමරාව – තේජන කණහැරආරච්චි