කුරුන්දි විහාරයේ සැඟව තිබූ බොදු උරුමය මතුවෙයි

1875

ලොව එකම විශාල ම පද්මාකාර කබොක් සෑය කුරුන්දි චෛත්‍ය වහන්සේ…

මේ වසර අවසාන වෙන්න පෙර කුරුන්දි විහාරයේ සියලූ සංරක්‍ෂණ කටයුතු අවසන් කරනවා…

අක්කර 420ක් පුරාම නටබුන් විසිරී තිබෙන බව හඳුනාගැනේ…

මුලතිව්, කුරුන්දි සිද්ධස්ථානය ඉපැරැණි බෞද්ධ විහාරස්ථානයක් බව යළි යළිත් තහවුරු වී තිබේ. ඒ එම ස්ථානයේ සිදු කරන පුරාවිද්‍යා කැණීම්වලදී තවත් බෞද්ධ නටබුන් රාශියක් සොයාගැනීමත් සමගය. එම පුදබිමේ පිළිමගෙයි කැණීම් සිදුකරගෙන යන අතරේ මාබල් බුදු පිළිමයක් සොයාගෙන තිබේ. එහි ශිර්ෂය, අත් පා විනාශ වී ඇත. එමෙන්ම බෝධිසත්ත්ව ප‍්‍රතිමා කිහිපයක්, කැටයම් සහිත ශිලා කුලූනු, ඉපැරැණි ගඩොල් නිර්මාණ, කොරවක්ගල ආදිය තවත් බෞද්ධ නටබුන් රාශියක්ම ඒ සමග සොයාගෙන තිබිණි. මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයකින් මෙන්ම ස්වභාවික හේතූන් මත එම ස්මාරක බොහෝමයක් විනාශ වී ඇති බව ද වාර්තා වේ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ව්‍යාපෘති භාර නිලධාරී සම්පත් ගුරුසිංහ සහ සංවර්ධන නිලධාරී වී. මනිමාරන් යන මහත්වරුන් ක්‍ෂේත‍්‍ර කටයුතු සඳහා පූර්ණ දායකත්ව ලබාදී තිබේ. එමෙන්ම රජ දවසෙ අපේ මුතුන් මිත්තන් උතුරේ නිර්මාණය කළ, මේ වනවිට පුරාවෘතයක් බවට පත්ව තිබෙන කුරුන්දි විහාරය නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට ආරක්‍ෂක අංශ විසින් ලබාදෙන දායකත්වය ද විශේෂයෙන්ම අගය කළ යුතුය.

‘‘රජ දවසෙ මේ වෙහෙර, විහාර ඉදිකරන්න රජවරුන්ගේ අණින් රාජ්‍ය සේවකයෝ අප‍්‍රමාණ වෙහෙස මහන්සි වෙන්න ඇති. අපේ මුතුන් මිත්තන් රාජ්‍ය සේවයෙන් ඔබ්බට ගිහින් ශ‍්‍රද්ධාවන්ත සිතින් ඒ කටයුතු කරපු නිසා තමයි මේ වෙහෙර විහාර මෙපමණ දියුණු තත්ත්වයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ ළමයි මෙතැන වැඩ කරන්නෙත් පුදුමාකාර ශ‍්‍රද්ධාවකින්…’’ මුලතිව් කුරුන්දි විහාරයට නැවත ජීවය ලබාදීමට පෙරමුණ ගත් උතුරු පළාත් ප‍්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ පෙළගැසෙන කතාවට එසේ ප‍්‍රවේශයක් ලබාගත්හ.

කුරුන්දි විහාරයේ සැඟව තිබූ බොදු උරුමය මතුවෙයි

‘‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය හඳුනාගෙන 2013 වර්ෂයේ අගෝස්තු මස 13 වැනිදා ස්මාරක විදිහට ගැසට් කරලා තිබුණා. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුන්දි විහාරය ගැන වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ නෑ. මට මේ ස්ථානය ගැන දැනගන්න ලැබුණේ 2018 වර්ෂයේදී. එවකට වව්නියා දිස්ත‍්‍රික්කය භාරව සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා, ජනක, අනුරාධ යන පුරාවිද්‍යා නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව අපි මේ පුදබිම සොයාගෙන පැමිණියා. ඒ වගේම එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන් විසින් රචිත ‘උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය’ ග‍්‍රන්ථයේ මේ ස්ථානය ගැන සටහන් කර තිබුණු ලිපිය බැලූවට පස්සේ මගේ සිතේ කුරුන්දි විහාරය ගැන තිබුණු උනන්දුව තවත් වැඩි වුණා. ඒ සමග මේ ස්ථානය කැණීම් කර සංරක්‍ෂණය කිරීමට අවසර ඉල්ලා එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මණ්ඩාවල මහතාට ලිඛිතව දැනුම් දුන්නා. කැණීම්, සංරක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය සියලූ පිරිවැය අපි විසින් දරන බවත් දැනුම් දුන්නා. කෙටි කාලයකින් අපේ ඉල්ලීමට මණ්ඩාවල මහත්තයා අවසර ලබා දුන්නා…’’

‘‘ප‍්‍රථමයෙන්ම කුරුන්දි පුදබිමේ ආරක්‍ෂක මුර කුටියක් ස්ථාපිත කර පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙක් නතර කරන්න සැලසුම් කළා. අනතුරුව තාවකාලික මුර කුටියක් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍යයත් රැගෙන 2018 සැප්තැම්බර් මාසේ දවසක අපි කුරුන්දි පුදබිමට පැමිණියා. ඒත් සැලසුම් කරපු විදිහට එදා මුර කුටිය හැදීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබුණේ නෑ. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලූව නිරාකරණය කරගැනීමේ අදහසින් ආපසු පැමිණෙනවිට දෙමළ සන්ධානයේ ආධාරකරුවන් මඟ හරස්කර ලොකු ආරවුලක් ඇති කළා. ඔඞ්ඩුසුඩාන් පොලිසිය විසින් බී වාර්තාවක් යටතේ සාමය කඩවීමේ සිද්ධියක් විදිහට මුලතිව් දිසා අධිකරණයේ නඩු පැවරුවා. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු නීතිඥ මහත්වරු කිහිපදෙනෙක් නොමිලේම ඒ නඩුව වෙනුවෙන් පෙනී සිටියා. ඒ මහත්වරු කොළඹ ඉඳලා පැමිණි ගමන් ගාස්තුවවත් අය කළේ නෑ. ටික කාලයක් නඩුව ඇඳිලා ගියා. පසුව මම මේ අවනඩුව සහ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය ගැන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පැමිණිලි කරලා උපකාර ඉල්ලූවා. එම සම්මේලනයේ එවකට සිටි සභාපති ජගත් සුමතිපාල, උප සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ යන මහත්වරු මගේ ඉල්ලීමට අවධානය යොමු කරලා නඩුවට අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දුන්නා. කාලයක් විභාග වෙච්ච නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර කිසිදු බාධාවකින් තොරව පුරාවිද්‍යා කටයුතු කරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා…’’

‘‘වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙලා බුද්ධ ශාසන, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්තයා පත් වුණාට පස්සේ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා මහත්තයා විසින් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වටිනාකම ගැන ලේකම්වරයා දැනුවත් කළා. අනතුරුව මමත් කපිල ගුණවර්ධන මහත්තයාව මුණගැහිලා ඒ ගැන සාකච්ඡා කළා. මගේ කතාවත් අහගෙන හිටිය ලේකම්වරයා කුරුන්දි විහාරය නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරන්න කැමති වුණා. එම පින්කමේ මූල්‍යමය දායකත්වය දැරීමට ජගත් සුමතිපාල මහත්තයා එකඟ වුණා. ඒ මහතාගේ පෞද්ගලික ධනයෙන් තමයි මේ මහා පින්කමට දායකත්වය ලබා දෙන්න තීරණය කළේ. ඒ අනුව 2020 නොවැම්බර් මාසේ කුරුන්දි පුරාවිද්‍යා භූමියේ මුර කුටියක් ඉදිකිරීමට අවසර ලබා ගත්තා. 2021 අවුරුද්දේ ජනවාරි මාසෙ විධුර වික‍්‍රමනායක ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගත්තා. ප‍්‍රථමයෙන් ස්ථූපයේ කැණීම් කටයුතු පටන්ගෙන එම වර්ෂයේ අපේ‍්‍රල් 05 වැනිදා අවසාන කළා. අනතුරුව එහි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළා. ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු සිදු කරගෙන යන අතරේ පුරාවිද්‍යා නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීමට අවශ්‍ය ගොඩනැඟිලි කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය අපේ දායකයො ලබා දුන්නා. කුරුන්දි විහාරයේ කැණීම් සහ සංරක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය සියලූ ම මූල්‍යමය දායකත්වය ලබාදෙන්නේ මෑතක ආරම්භ වූ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහත්තයා…’’

‘‘ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය වෙන්නේ මේ වෙනකොට ලෝකයේ සොයාගෙන තියෙන විශාලතම පද්මාකාර එකම චෛත්‍ය වහන්සේ. විශාලත ම කබොක් සෑය. ඒ වගේම කැණීම්වල දී හතරවෙනි උදය රජුගේ ශිලා ලේඛනයත් සොයාගෙන තියෙනවා. ස්ථූප කෑණීමේදී ඉපැරැණි යූපගල ඇතුළුව පුරාවස්තු රාශියක් ම සොයාගෙන තියෙනවා. කැණීම් කරගෙන යන අතරතුර එම පුරාවිද්‍යා භූමිය තවත් පුළුල් කරන්න අවශ්‍ය බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තියෙනවා. අක්කර 420ක් පුරාවට විහිදුණු බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කරනවා. ඇස් පනා පිට බෞද්ධ ඉතිහාසය ඉස්මතු වෙමින් තිබියදීත්, හින්දු ජනතාවගේ උරුමය නැති වුණා කියලා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරම් මන්ත‍්‍රිවරයා නැවත අපිට විරුද්ධව අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුවත් විභාග වෙමින් පවතිනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය සහ එම ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මේ සංරක්‍ෂණ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට නොයෙක් අයුරින් අපට බාධා කරනවා. අපට තියෙන කනගාටුව කුරුන්දි පුදබිම සමීපයෙහි නාගචෝල රක්‍ෂිතය දෙමළ අන්තවාදීන්ගේ ග‍්‍රහණයට නතු කරගෙන මේ වෙනකොට අක්කර දහසකට වැඩි භූමි ප‍්‍රමාණයක් විනාශ කරලා තියෙන එක දෙමළ ජාතික සන්ධානයට නොපෙනීමයි. ඔවුන්ට පෙන්නේ කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු පමණයි. ඒ තුළින් ඉස්මතු වෙන්නේ ඔවුන්ගේ තියෙන ආත්මාර්තකාමී කුහක ගති පැවතුම්. අපි ඒ කුහක මිනිසුන්ට අනුකම්පා කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු සාර්ථකව කරගෙන යනවා…’’

කුරුන්දි විහාරයේ සැඟව තිබූ බොදු උරුමය මතුවෙයි

‘‘පිළිමගෙයි කැණීම් කටයුතු පටන් ගත්තේ මේ මාසේ. සති දෙකක් යන්න පෙර මාබල් බුද්ධ ප‍්‍රතිමාවහන්සේ ඇතුළු පුරාවස්තු රාශියක්ම සොයාගන්න පුළුවන් වුණා. දෙමළ අන්තවාදීන් කුරුන්දි පුරාවිද්‍යා භූමිය ඉපැරැණි කෝවිල් භූමියක් කියන්නේ පිළිමගෙය මුල් කරගෙනයි. ඒත් පිළිමගෙයි කැණීම් තුළින් මේ වෙනකොට බුදුපිළිම වහන්සේ ඇතුළු බෞද්ධ පුරාවස්තු රාශියක් මතුවී තිබෙනවා. මැයි මාසයේ මුලවෙන කොට පිළිමගෙයි කැණීම් කටයුතු අවසාන කරනවා. පිළිමගෙයි කැණීම් කටයුතුවලට පමණක් බෞද්ධාලෝක පදනමෙන් මිලියනයක මුදලක් වෙන් කරලා තියෙනවා. චෛත්‍ය කැණීම් කටයුතුවලට මිලියන එකයි දශම හයක මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා. චෛත්‍ය සංරක්‍ෂණ කටයුතු සඳහා මිලියන හයක පමණ මුදලක් වැය වෙතැයි අපි ගණන් බලා තියෙනවා. ඒ සියලූ මුදල් බෞද්ධාලෝක පදනමෙන් ලබාදෙනවා. ඒ වගේම කුරුන්දි පුදබිමේ සංරක්‍ෂණ කටයුතුවලට සමගාමීව කෙරෙන සෙසු කටයුතු සඳහා මිලියන පහක පමණ මුදලක් දෙස්, විදෙස් අපේ දායකයෝ ලබාදීලා තියෙනවා. අපගේ බලාපොරොත්තුව මේ වසර අවසාන වෙන්න පෙර කුරුන්දි විහාරයේ සියලූ සංරක්‍ෂණ කටයුතු අවසාන කර බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍ර කිරීමට පූජා කිරීමයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කැප කිරීමකින් යුක්තව විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒ පින්වන්ත මහත්වරුන්ගේ දායකත්වයෙන් දෙමළ අන්තවාදීන් විසින් ඉපැරණි හින්දු පුදබිමක් කියාගෙන අඬබෙර ගැසූ කුරුන්දි විහාරයේ සැඟ වී තිබුණු බෞද්ධ ඉතිහාසය ඉස්මතු කරගැනීමට ලැබීම අපි ලැබූ විශාල ජයග‍්‍රහණයක්. අනාගතයේදී බැතිමතුන් වන්දනා කරන සෑම මොහොතකම කුරුන්දි පින්බිම යථාවත් කිරීමට වෙහෙසන ළමයින්ටත් මූල්‍යමය දායකත්වය ලබාදෙන ජගත් සුමතිපාල මහතා ප‍්‍රධාන සියලූදෙනාට පින් පිරෙනවා. ඒ වගේම තවදුරටත් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අවධානයත්, ආශිර්වාදයත්, උපකාරයත් කුරුන්දි විහාරය කෙරෙහි ලැබෙයි කියා අපි විශ්වාස කරනවා…’’ ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ ඒ වචන ටික ප‍්‍රකාශ කරනවිට හදවතේ ඉපැදුණු සතුට මුහුණේ විකසිත වූ අයුරු දැනුදු මට මැවී පෙනේ. කුරුන්දි විහාර භූමිය සහ සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරය සොයාගත් කාලයේ සිට එම බොදු බිම් සංරක්‍ෂණය කර පුදබිම් බවට පත්කිරීමට උන්වහන්සේ දරන වෙහෙස මහන්සිය අප‍්‍රමාණය. කුරුන්දි විහාරයේ බෞද්ධ උරුමය ඉස්මතු වී ලෝකයට නිරාවරණය වන මොහොතේ උන්වහන්සේ විඳින නිරාමිස සතුට දෑසින් දැකීමට ලැබීම ද භාගයයකි.

එමෙන්ම මෙපණ කාලයක් අප බලා සිටියේ ද උරුමයක් නැති දෙමළ අන්තවාදීන් විසින් කොල්ලකෑමට උත්සාහ දැරූ කුරුන්දි විහාරයේ බෞද්ධ ඉතිහාසය ඉස්මතුවන තෙක්ය. කාලකණ්ණි අන්තවාදීන් විසින් උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය විනාශ කරන ආකාරය ගැන නිරන්තරයෙන් සමාජය දැනුවත් කළේ අපේ උරුමය ආරක්‍ෂා කරගැනීමටය. උතුර, නැෙඟනහිර සිංහල මිනිසුන්ගේ දුක අකුරු කර ‘උතුර, නැෙඟනහිර සිංහල දුක’ ග‍්‍රන්ථය එළිදැක්වූවේ ද ඒ මිනිසුන්ට සරණක් වීමටය. එහෙත් එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවෝ, අරිසිමලේ නායක හාමුදුරුවෝ, ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ, පිළියන්දල අමිතඝෝෂ හාමුදුරුවෝ උතුර, නැෙඟනහිරට වඩින්නෙ නැති වෙන්න එම ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ වෙහෙර විහාරයක ගල්කණුවක් හෝ අපට දකින්නට නොලැබෙන බව සැබෑය. යහපාලන ආණ්ඩුව කාලයේදී උතුර, නැෙඟනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ දෙමළ, මුස්ලිම් අන්තවාදය එතරම්ම ප‍්‍රබලය. බිහිසුණුය. එහෙත් දැන් ඒ කාලය අවසානය. මේ උදා වී ඇත්තේ උතුර, නැෙඟනහිර බොදුබිම් නැවත පුදබිම් බවට සංරක්‍ෂණයවන කාලයයි.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ, මුහුදුබඩ පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තන්නිමුරුප්පු ග‍්‍රාමසේවා වසමේ පිහිටි කුරුන්දි පුරාවිද්‍යා භූමිය උතුරු පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධාස්ථානය බව මේ වනවිටත් තහවුරු වී අවසානය. ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව, පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග‍්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව ඉතිහාසයේ සඳහන් වේ. ඛල්ලාඨනාග රජු (ක‍්‍රි.ව. 100 -103) ‘කුරුන්දපාසක’ නමින් මේ ස්ථානයේ විහාරයක් ගොඩනැඟූ බවත් I වන අග්ග බෝධි රජු (කි‍්‍ර.ව. 571 – 604) විසින් ‘කුරුන්ද’ නම් සර්ව සාංඝික විහාරයක් කරවා ඒ නමින් වූ වැවක් ද යොදුන් තුනක් පමණ විශාල පොල් වගාවක් ඇතුළු පූජාවන් සිදු කර බව ද ඉතිහාසයේ සඳහන්ය. ෂ වන විජයබාහු රජු (කි‍්‍ර.ව. 1055 – 1110) කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම බුදුන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කර ඇති බව ද ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේය. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ ෂෂෂ වන මිහිඳු රජුගේ ජල ගැටලූවක් විසඳීම සම්බන්ධයෙන් බවත් සඳහන්ය. එමෙන්ම මේ ස්ථානයේ ඇති සෑය ‘වට දාගයක්’ බව එම පාලන වාර්තාවේ ද සඳහන්ව ඇත. ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට එකම සෑය කුරුන්දි ස්තූපය බව ද ඉතිහාසයේ ද සඳහන් වේ. කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ඉතිහාස තොරතුරු තවත් බොහෝය.

එවැනි ඉතිහාසයක් සහිත කුරුන්දි විහාරයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම ගැන නම් ජාතියක් වශයෙන් අප කම්පා විය යුතුය. කුරුන්දි විහාරය බෞද්ධ උරුමයක් බව යළි යළිත් තහවුරු වෙමින් තිබියදී අධිකරණයේ නඩු ගොනු කරන කුහක බෙදුම්වාදීන් සහිත මේ රටේ ජීවත්වීමට ලැබීම අභාගයකි. එහෙත් බාධක පිට ශක්තිමත්ව ඉදිරියට යමින් අන්තවාදයට කිසිලෙසකින් නොනැමෙන ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ වැනි බුද්ධ පුත‍්‍රයන් ශාසනයේ දියුණුවට කරගෙන යන මෙහෙවර දකිනකොට සිතේ පුංචි සතුටක් ඇති විය. උතුරේ බුදු උරුමය සංකේතවත්වන ජීවමාන සාක්‍ෂි කුරුන්දි විහාරයෙන් මතු වෙන සැටි දකිනවිට ඒ සතුට දෙගුණ, තෙගුණ විය. එමෙන්ම නැවත ප‍්‍රතිසංස්කරණයවන උතුරේ අතීත බෞද්ධ උරුමය දැකබලාගෙන වන්දනා කිරීම මෙන්ම සන්තබෝධි හාමුදුරුවෝ ඇතුළු ශ‍්‍රද්ධාවන්ත ගිහි දැහිතකාමීන් ඉස්මතු කරදී තිබෙන සිංහල බෞද්ධ උරුමය අනාගතයට සුරක්‍ෂිත කරදීම සියලූ බෞද්ධයන්ගේ වගකීම බව ද සිහිපත් කළ යුතුය.

කුරුන්දි විහාරයේ සැඟව තිබූ බොදු උරුමය මතුවෙයි

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment