කුරුඳු විහාරයෙන් මතුවන – උතුරුකරයේ බෞද්ධ උරුමය

914

උතුරු පළාතේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ නැදුන්කර්නි හි පිහිටි කුරුන්දන්මලේ නම් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානය 1933 මැයි මස 12 වෙනි දින දී රක්ෂිතයක් ලෙසට රජයේ ගැසට් පත‍්‍රයේ (අංක 7981) පළ කර තිබේ. කුරන්දි අට්ඨ කතාව රචනා කරන ලද ස්ථානය යයි දැක්වෙන හෙයින් කුරුන්දපාසාක විහාරය යන නාමය එයට ඇති වන්නට අතැයි කියති. ක‍්‍රි.පූ. 109- 103 රජ කළ ඛල්ලාටනාග රජු විසින් මෙම විහාරය කරවා තිබේ. පසුකාලයේ දී මහ ඝන වනයට යටවුණු මෙම ස්ථානය විසිවන සියවස මුල් භාගයේ දී නැවත සොයා ගන්නට යෙදිණ. මෑත කාලයේදී මෙම ස්ථානය ප‍්‍රසිද්ධියට පත් වූයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් එහි මුර කුටියක් ස්ථාපනය කිරීමට ගිය අවස්ථාවේ දීය. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි මෙම ස්ථානය මත කෝවිලක් සංවර්ධනය කරන්නට ගත් උත්සාහය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. පසුව පූජ්‍ය රාජගිරියේ ශන්තබෝධි හිමියන්ගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන්නට යෙදුණි.

කුරුඳු විහාරයෙන් මතුවන - උතුරුකරයේ බෞද්ධ උරුමය

කුරුන්දි විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින් පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස් ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කර ගැනීමට හැකි වී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර, දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු ආරම්භ කරන්නට යෙදුණි. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙනහිර දිශාවෙහි කැණීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

කුරුඳු විහාරයෙන් මතුවන - උතුරුකරයේ බෞද්ධ උරුමය

නැගෙනහිර අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට අදාළ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලූ සමඟ දැනට දාගැබේ සම්පූර්ණ උස මීටර් 03යි සෙන්ටි මීටර් 50ක් පමණ වන බවට පුරාවිද්‍යා කැණීම් නිලධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී මල් ආසනයක් තබා ඇති බවට තහවුරු වී තිබේ. එය කැබලි කිහිපයකට පුපුරා හැර තිබේ. ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. යූප කැබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ තොරතුරු ද අනාවරණය වෙමින් පවතී.

 මහාචාර්ය සෙනරත් පරණවිතානශූරීන් සිය ලංකාවේ ස්ථූප නම් ග‍්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත. කණ්ඨකචේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහා වංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ. මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි. යූප ගල ඉන්ද්‍රකීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹුල්දෙණිය විසින් රචිත පෞරාණික චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින් භූගත වේ.

කුරුඳු විහාරයෙන් මතුවන - උතුරුකරයේ බෞද්ධ උරුමය

 මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි. ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය ව්‍යවහාරයක් වූ පසුව ස්ථූපයන්හි භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක‍්‍රමයෙන් සංවර්ධනය වී තිබේ. යූපයේ අටපට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග‍්‍රහණය කර ගැනීමටයි.

 කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ. කුරුන්දන්මලේ යනු දෙමළ ජනතාව වැඳුම් පිඳුම් කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිලධාරීන් එම අයිතියට බාධා කරන බවද දක්වා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සුමන්තිරන් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ද පවරා තිබේ. කුරුන්දි විහාරයට බලෙන් ඇතුළු වී එහි පැවති ස්ථූපයට හානි කරමින් කොන්ක‍්‍රීට් යොදා ත‍්‍රිශූලයක් සවි කළ ආකාරය වාර්තාකර ඇත්තේ මීට වසර හතළිකට පමණ පෙරදීය. අසූව දශකයේදී කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ ඇමැතිවරයාව සිටි සිරිල් මැතිව් මහතා මෙම විහාරය නැවත ප‍්‍රකෘතිමත් කිරීමට උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. 1980 ජූලි 30 දාතම යටතේ එවකට සංස්කෘතික කටයුතු ඇමැතිවරයාව සිටි ඊ. එල්. බී. හුරුල්ලේ මහතා වෙත ලියන ලද ලිපියට අදාළව පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතා වෙත 1981 මාර්තු 12 දින යවන ලද ලිපියක්ද රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් 1981 සැප්තැම්බර් මස 01 දාතමින් යුක්තව නැවත සංස්කෘතික ඇමැතිවරයා වෙත යවන ලද ලිපියක්ද 1983 දී යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු කර ඇත. දෙවනුව කියන ලද ලිපිය ආරම්භයේ දීම මෙම කෝවිල ගැන දක්වා ඇත. එ් මෙසේය.

 ‘පැරණි නෂ්ඨාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රමානුකූලව ලබා  ගන්නා ලද අවසරය පරිදි පුරාවිද්‍යා නිලධාරි මහතෙකුගේ ප‍්‍රයෝජනය සඳහාද මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහාද අර්ධ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීමට අප සම්මේලනය ක‍්‍රියාකරගෙන යන කාලය ඇතුළත එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුළත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප‍්‍රතිමා ගෘහයේ ගල් කුලූනු මත දැව කඳන් යොදා වහලයක් ඉදි කොට රට උළු සෙවිලි කොට දේවාලයක් තනා ඇත. එම ප‍්‍රතිමා ගෘහය තුළ තිබුණු පත්මාසනය සහ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදන්ව ඇති අතර එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක‍්‍රීට් ලෑල්ලක් ඉදි කොට එ් මත ත‍්‍රිශූලයක් සවි කොට ත‍්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා එ් මත පහන් කපුරු දල්වා යූපස්ථම්බයේ කොටසක් ලෙස සැලකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා එ් තුළම ඔප මට්ටම් කරන ලද ගලින් ලිපක් බැඳ ගිනි මොලවා තිබුණි. එසේම මෙම ස්ථානයට යාබදව තිබුණු නටබුන් චෛත්‍යයේ ගර්භය හාරා සමතලා කොට එ් මත ත‍්‍රිශූලයක් සවි කොට තිබේ.

 උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි පවතින සියලූම බෞද්ධ පුරාවස්තුවල ත‍්‍රිශූල සවි කරමින් කෝවිල් ඉදි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායාත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්යවරුන්ය. එ් අතර පුරාවිද්‍යාව කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යාව මහාචාර්යවරයෙකුද සිටී. විශ්වවිද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන්ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිධාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊළාම් ඉතිහාසයයි. එවැනි තත්ත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කනගාටුවට කරුණක් වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිවල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්යවරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත‍්‍රීයව පහර ගැසීමට ඉදිරිපත් නොවීමයි.

 එම තත්ත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊළාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ. සුමන්තිරන් වැනි දෙමළ ක‍්‍රිස්තියානි ජාතිවාදීන් උත්සාහ දරනුයේ හින්දුත්වය පෙරට දමා බෞද්ධයන්ට පහරගසා මූලධර්මවාදී එවන්ජලිස්ත කල්ලි වලට උතුර බිලිදීමට ක‍්‍රියා කිරීමයි. එම ක‍්‍රියාව මනස්ගාතයකට වඩා එහා යන්නකි.

 x මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment