කුරුමිණියා

731

1983 යනු ලෙබනනයේ සිවිල් යුද්ධය හරියාකාරව පටන් ගෙන දෑ අවුරුද්දකි. ඊට අවුරුද්දකට පමණ පෙර ඇමරිකාව මූලික කර ගත් සාම හමුදා භට පිරිසක් ලෙබනනයට පැමිණ සිටියහ. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බීරූට් නගරයේය. මේ සාම හමුදා කඳවුර තුළ ප්‍රංශ ජාතිකයෝ ද, ඇමරිකානුවෝ ද විශාල ප්‍රමාණයක් සිටියහ. ඒ අය ලෙබනනයේ සිවිල් යුද්ධය මර්දනය කිරීම සඳහා නාවික හමුදා භට ඛණ්ඩයන් ලෙස උපරිම මෙහෙයුමක නිරත වූහ. මේ අතර 1983 ඔක්තෝබර් 23 වැනිදා උදේ වරුවේ දී සාම හමුදා මූලස්ථානයට ට්‍රක් රථයක් කඩා වැදී පිපිරී ගියේය. එය සිදු කරන ලද්දේ ඉස්ලාමීය ගිහාඩ් සංවිධානය නමැති අලුත් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමකි. පසු කාලයේදී හිස්බුල්ලා යනුවෙන් නම වෙනස් කරගෙන මැද පෙරදිග දෙවනත් කරන්නේ මේ කණ්ඩායම ය. එදා එල්ල වූයේ මරාගෙන මැරෙන මෙහෙයුමකි. මෙහිදී නාවික හමුදා සෙබළුන් 307 ක් මිය ගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. පසු කාලයේ දී හෙළිවූ පරිදි බීරූට් ප්‍රහාරය ගැන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිට ඇත. එහෙත් ඔවුන් ඇමරිකාවට ඒ ගැන නිකමටවත් කියා නැත. ඊශ්‍රායලය කිසියම් අනතුරු ඇඟවීමක් කළේ නම් එය ද ඉතාම අඩු ලන්සුවෙනි. මේ බව ලොව පුරා සිටින යුද විශේෂඥයන්ගේ පිළිගැනීම වුවද ඊශ්‍රායලය එය ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන් කියන්නේ බීරූට් ප්‍රහාරය මේ තරම් දරුණු එකක් බව ඔවුන් දැන නොසිටි බවයි. එහෙත් ඊශ්‍රායලයට ත්‍රස්ත තර්ජනයක් එන හැම මොහොතකදීම ඇමරිකාව විසින් ඊශ්‍රායලය දැනුවත් කරනු ලැබ ඇත. ඒ ගැන කතා කිරීම පසෙක තබා අපි අපේ මාතෘකාවට බසිමු.

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට විරුද්ධව ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලියක් මගින් ප්‍රහාරයක් එල්ල කිරීමට යන බව ඔත්තු සේවාවක් මේ මාසයේ 7 වැනිදා අපේ ආරක්‍ෂක අංශවලට වාර්තා කළේය. අප දන්නා පරිදි මේ ප්‍රහාරයට එන පුද්ගලයන්ගේ නම් ද, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක ද, ඔවුන්ගේ ලිපිනයන් ද, ඔවුන්ගේ දුරකථන අංක ද සොයාගෙන තිබිණ. ඔවුන් කළ අනාවරණය නිසා ආණ්ඩුව ඔක්තෝබර් 7 වැනිදා සිට මුළු රටේම ආරක්‍ෂාව තර කරන්නට පටන් ගත්තේය. ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාර එල්ල වේ යැයි සැක කෙරෙන අරුගම්බේ, ඇල්ල, වැලිගම, හික්කඩුව ඇතුළු සංචාරක ගමනාන්තයන් රැසක ආරක්‍ෂාව උපරිම මට්ටමින් ඉහළ දමන ලදි. හැබැයි මහජනතාව බියට පත්වනු ඇතැයි කල්පනා කළ රජය මේ ප්‍රහාරය ගැන ප්‍රසිද්ධ කළේ නැත. අදාළ ඔත්තු සේවයේ වාර්තාවට අනුව ඉස්ලාමීය ප්‍රහාරය එල්ල වීමට තිබුණේ මේ මාසේ 20 වැනිදායින් පසු සහ 25 වැනිදාට පෙරය. ඇමරිකාව මේ ගැන දැනගත් වහාම, එනම් මීට දින තුනකට පෙර ශ්‍රී ලංකා සංචාරක ගමනාන්තවල නොගැවසෙන ලෙස තම වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ඊළඟට ඇමරිකාව අනුව යමින් එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවල් ද ලංකාවේ සිටින තම වැසියන්ට අනතුරු හැඟවීම් නිකුත් කළේය. ඉහත සඳහන් ප්‍රහාරයට පැමිණි දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති. මේ සිද්ධිය හරියාකාරව පත්තු වුණා නම් එය දෙවන පාස්කු බෝම්බය වීමට ඉඩ තිබුණු අතර, ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද මරු පහරක් වීමට ඉඩ තිබිණ. ලංකාව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී මෙවැනි උදව් ලැබී තිබේ. පාස්කු බෝම්බයේදී ද එම ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීමක් අපේ ආරක්‍ෂක අංශවලට කල් තියාම ලැබිණි. එහෙත් එවකට සිටි අපේ ආරක්‍ෂක කට්ටිය තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇති කරගෙන තිබීම නිසා හෝ මන්දමානසික තත්ත්වයකින් පෙළීම නිසා හෝ පෙර කී අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැත. අන්තිමට පාස්කු බෝම්බය පුපුරා ගිය අතර විශාල පිරිසකගේ ජීවිත අහිමි වී තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ බවට පත්වූහ. අද වන විට පාස්කු බෝම්බය දේශපාලන බෝම්බයක් බවට පත්ව තිබේ. පසුගියදා උදය ගම්මන්පිල විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පාස්කු බෝම්බ වාර්තාවේ අතුරුදන් වූ පිටු යනුවෙන් හැඳින්වෙන පිටු කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමෙන් මළ කෙළියක් සිදු විය. අද වන විට ආණ්ඩුව සහ උදය ගම්මන්පිල අතර පාස්කු බෝම්බයට අදාළව දේශපාලන ආරවුලක් හටගෙන තිබේ. මෙවැනි ආරවුල් බොහෝ විට නිම වන්නේ හිරගෙවල්වලිනි. හිරේ යන මිනිහා එළියට එන්නේ ජාතික වීරයකු ලෙසය.

ලංකාවේ බුද්ධි අංශ ඉතා කනගාටුදායක ලෙස පරිහානියට පත්ව ඇතැයි දැන ගන්නට තිබේ. කොටි සංවිධානය සමග යුද්ධය පැවැති කාලයේ දී අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත් විය. එහෙත් මේ මොහොතේ දී විවිධ ආණ්ඩුවලින් කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියා නිසා බුද්ධි අංශය දේශපාලන කුරුමිණියෙක් බවට පත්ව තිබෙන බව අපගේ වැටහීමය. වෙන රටකින් අපට ඔත්තුවක් නොදුනහොත් උඩ බලාගෙන සිට වෙඩි කෑමට හෝ බෝම්බ පහර කෑමට අපට සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment