කුලරත්න නඩුව සහ ඇනි හර්න් නඩුව කියවා ෂාෆ්ටර්ගේ මරණය කියවමු…

743

පද්මිණී කුලරත්නට ආසනික් දී ඇත්තේ බිලිං අච්චාරුවට කලවම් කිරීමෙන්……
ඇලිස් තෝමස්ට ඇනී හර්න් ආසනික් දුන්නේ සැන්ඩ්විච් පාන්වලට කලවම් කිරීමෙන්…
නඩු දෙකේම විත්තිකරුවන් නිදහස්

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ අභිරහස මේ මොහොත වන විට පත්වී ඇත්තේ සයිනයිඩ් කෑම නිසා සිදුවූ එකක් වශයෙනි. කොටි සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගෙන සිටියේ අත්අඩංගුවට පත් වුවහොත් ඒවා හපා කා සැණෙකින් දිවි තොර ගත හැකි බැවිනි. ඒ අනුව ෂාෆ්ටර් මහතා දිවිතොර කර ගත්තේ නම්, හෝ යමකු සයිනයිඩ් පොවනු ලැබුවේ නම් සියතින්ම ගෙල සිරකර මිය යෑමට හෝ තවකෙකුට එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් පැන නගීද යන ගැටලුව සාමාන්‍ය මිනිසා තුළ පැන නගියි. එවැනි සැක මතුවූ බොහෝ අවස්ථාවල අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් මළ සිරුර යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත් වූ අවස්ථා ගැනද වාර්තා වී ඇත.

කෙසේ වුවද ආරම්භයේ සිටම ඉමහත් ව්‍යාකූලත්වයක් ඇති කරවනු ලැබූ දිනේෂ් ෂාෆ්ටර් මරණය පිළිබඳව බාහිරව සිට ඒ ගැන කතා කිරීමට දැනුමක් අපට නැත.

එහෙත් මෙම සයිනයිඩ් ශරීරගත වී ඇති බවට වූ නිගමනය විසින් අපරාධ ලෝකයේ වස දීමෙන් කළ සුප්‍රකට මිනිස් ඝාතන දෙකක් අපගේ සිහියට නැගේ.

එකක් දැනට දශක පහකට ඔබ්බෙන් සිදුවූ ගාල්ලේ පද්මිණී කුලරත්න ඝාතන සිද්ධියයි. අනෙක 1930 දී එංගලන්තයේදී සිදුවූ ඇලිස් තෝමස් නමැති විවාහක කාන්තාව සහ තම සොහොයුරිය වූ මිනී නමැත්තිය වස දීමෙන් මරණයට පත්කරන ලදැයි චෝදනා ලැබූ ඇනී හර්න් නමැත්තියට එරෙහිව පැවැති ඇනී හර්න් නඩු විභාගයයි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලොව සිටි ප්‍රමුඛතම විද්වතා ලෙස පිළිගැනෙන මහාචාර්ය සිඩ්නි ස්මිත් පැවසුවේ මනුෂ්‍ය ඝාතනය සඳහා බහුල ලෙස භාවිත කරනු ලැබූ විස වර්ගය වූයේ ආසනික් බවය. කුඩු වශයෙන් මෙන්ම දියර වශයෙන්ද භාවිත කළ හැකි එය කිසි ගන්ධයක් මෙන්ම රසයක්ද නැති ද්‍රව්‍යයකි. මෙම විෂ යමකුගේ සිරුරට ඇතුල්වීමෙන් පසුව ක්‍රියාත්මක වීමට පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් ගත වන බැවින් අපරාධයේ සැකය අන් අයෙකුට පැටවෙන පරිදි ඔහුට ඉන් මිදී යෑමට ඇති ඉඩකඩ වැඩිය. වෙනත් ඕනෑම වස විසක් කැවුණු විට ඇතිවන පරිදි වමනය සහ බඩයෑම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරන බැවින් එයද අපරාධකරුවාට පලා යෑමට ඇති ඉඩකඩ වැඩි කරනු ලබයි.

නමුත් ආසනික් වලට ආවේණික සුවිශේෂි ලක්ෂණයක් විසින් අපරාධ කරුවන්ට හරස් වන තත්ත්වයක්ද ඇති කරවයි. සැකකරුවන් වටා තොණ්ඩුව එල්ලීමට ප්‍රයෝජනවත් වන මෙම කාරණය වන්නේ ආසනික් ශරීරගත වූ පසු පුද්ගලයෙකුගේ කෙස් ගසෙහි මුල් වලද, නිය පොතුවල සහ අස්ථී වලද මාස ගණනක් රැඳී පැවතීමයි. මළ සිරුරක නම් කෙතෙක් කල්ගත වුවද ආසනික් සාම්පලයක් ලබා ගැනීමේ අවස්ථාව ඉතිරිව පවතී. ශ්‍රී ලංකාවේ ගාල්ලේ සිදුවූ පද්මිණි කුලරත්න ඝාතනය අප රටේ ඒ ආකාරයට ප්‍රසිද්ධ වූ එකම නඩුව ලෙස හැඳින්විය හැකි අතර, ඊට පසු කලෙක රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවේ ඊට සමාන ආකාරයේ ඝාතනයක් මුල් කරගත් මැතිව් පීරිස් නඩු විභාගයයි.

පළමුවැනි සිද්ධියේදී පද්මිණි කුලරත්න නමැත්තියගේ සැමියා වන වෛද්‍යවරයා විසින් ඇයට පාසානම් හෝ ආසනික් හෝ බිලිං අච්චාරුවකට දමා දෙන ලදැයි ඔහුට චෝදනා එල්ල වූ අතර, මැතිව් පීරිස් නඩුවේදී සිදුවී තිබුණේ දියවැඩියා ඖෂධ භාවිත කිරීමෙන් පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි ප්‍රතිශතය සීමාව ඉක්මවා අඩු කිරීමෙන් ඔහුව මරණයට පත් කිරීමයි.

කුලරත්න නඩු විභාගයේදී හෙළි වූ කරුණුවලට අනුව, වෛද්‍යවරයෙකු වූ ඇගේ සැමියා විසින් තම බිරිඳට වස දී මරා දමා තිබුණේ ඔහුත්, තම පෞද්ගලික සායනයේ සිටි හෙදියත් අතර ඇතිවූ අනියම් සබඳතාවක් මුල් කර ගනිමින් ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ ගැටුමේදී වෛද්‍යවරයා විසින් තම බිරිඳට උඩු මහලේ කාමරයක සිරගත කරන ලදුව, ඇයට ආහාර පාන යවා ඇත්තේ කඹයක ගැට ගසන ලද වේවැල් කූඩයක ආධාරයෙනි. කනගාටුදායකම කාරණය වන්නේ මේ අවස්ථාවේදී වෛද්‍යවරයාගේ මවද, ලේලියට එරෙහිව තම පුත්‍රයාගේ අනිසි පැවැත්මට සහ ඔහු විසින් කරන ලද කෲරකම් වලට සහයෝගය පළ කිරීමයි.

නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණය විසින් වෛද්‍යවරයාගේ මව, සහායිකාව සහ වෛද්‍යවරයා යන චූදිතයන්ට මරණීය දණ්ඩනය නියම කරන ලද නමුත්, ඉක්බිති කරන ලද අභියාචනයේදී විත්තිකරුවන් තිදෙනාම චෝදනාවලින් නිවැරදිකරුවෝ වූහ.

නමුත් මීට වෙනස් ආකාරයකින් කටයුතු සිදුකෙරුණු මැතිව් පීරිස් නඩු විභාගය අවසන් වූයේ එම පූජකවරයාට සහ ඔහුගේ පෙම්වතිය වූ කාන්තාවට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීමෙනි.

දැන් අප මේ සඳහන් කරන සිද්ධියට පසුබිම වන්නේ එංගලන්තයේ කොර්න්වෝල් ප්‍රදේශයේ වූ මේ ආකාර සිදුවීමකි.

මෙම සිද්ධියේදී ඇලිස් තෝමස් නමැති කාන්තාවක් සහ මිනී නමැති තමන්ගේම සොහොයුරිය වස දී ඝාතනය කරන ලදැයි ඇනී හර්න් නමැත්තිය චෝදනා ලැබ සිටියාය.

සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි ඇය අත්අඩංගුවට පත් වූයේ 1931 ජනවාරි මස 18 වෙනිදාය.

එතරම් උගත් කාන්තාවක් නොවූ ඇය තම උපන් දිනයද දැන සිටියේ අනුමාන වශයෙනි. කෙසේ හෝ මේ අවස්ථාව වන විට ඇය අවුරුදු හතළිහකට ආසන්නව සිටියාය. 1919 වසරේදී විවාහ ජීවිතයට ඇතුළු වුවද, දින කිහිපයක් ගත වීමටත් පෙර සැමියා ඇයව අත්හැර දමා ගියේය. ඇය එතැන් සිට ජීවත් වූයේ අවිවාහක කාන්තාවක වූ සිය වැඩිමහල් සොහොයුරිය වන ලීඩීයා එවර්ඩ් සමඟය. මිනී යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලැබූ ඇය නිරන්තරයෙන් පීඩා විඳිනු ලැබුවේ ගැස්ටි්‍රක් ආබාධය හේතුවෙනි.

ඔවුන් කොර්න්වෝල් ප්‍රදේශය බලා පැමිණියේද මිනීගේ අසනීප තත්ත්වය නිසාය. එහිදී ඔවුහු ට්‍රෙන්හෝර්න් නමැති නිවසේ පදිංචිය ආරම්භ කළ අතර, එය පිහිටියේ ට්‍රෙන්හෝන් ගොවිපළට ඉතා නුදුරිනි. කෙටි කලක් තුළ ගොවිපොළ අයිතිකරු වූ ඒ වනවිට විසි වසරක විවාහ දිවියක් ගෙවමින් සිටි විලියම් සහ ඔහුගේ බිරිය වූ ඇලිස් තෝමස් යන දෙදෙනාද හතළිස් ගණන් වයස්වල පසුවූහ. ඔවුහු ඉතා කෙටි කාලයක් තුළ මෙම සහෝදරියන් දෙදෙනා සමඟ ප්‍රබල මිතුදමක් ඇති කර ගත්හ. මේ දෙදෙනා තෝමස් පවුලේ උදවිය සමඟ එකට විනෝද ගමන්වල යෙදුණු අතර, පවුල් දෙක අතර කෑම බීම ද හුවමාරු කෙරිණ.

තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඔවුන්ගේ සන්තෘෂ්ඨිජනක දිවි පෙවෙතට කණා කොකා හඬන්නට පටන් ගත්තේ වසර පහකට පසුවය.

ඒ 1930 පෙබරවාරි මාසයේ සිටය. මේ දිනවලදී දෙසොයුරියන්ගේ පවුලේ අනෙක් සොයුරිය එහි පැමිණ මසක කාලයක් එහි නැවතී සිටියාය. මේ කාලය තුළ ගැස්ටි්‍රක් ආබාධයෙන් පෙළෙන මිනීගේ තත්ත්වය බරපතළ විය. වෛද්‍යවරුන් දෙදෙනකු විසින් ඇයට ප්‍රතිකාර කළ නමුත් පූර්ණ සුවයක් අත්පත් කර ගන්නට ඇය සමත් වූයේ නැත. 1930 ජූලි 30 වෙනිදා ඇය තම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මෙලොවින් සමු ගත්තාය.

තව දිනක තෝමස් දෙමහල්ලන්ගෙන් ලැබුණ ආරාධනාවක් මත ගමනකට එක්වුණ ඇනී විසින් ගමනේදී අනුභවය සඳහා ටින් කරන ලද සැමන් මාළු යොදන ලද සැන්ඩ්විච් පාර්සලයක් පිළියෙල කර ගන්නා ලදී.

ගමන අතරතුරදී පිරිස තේ පානය පිණිස හෝටලයකට ගොඩ වූ අතර, ඇනවුම් කරන ලද කේක් සමඟ කෑමට ඇනී තම සැන්ඩ්විච් පාර්සලයද විවෘත කර මේසය මත තැබුවාය.

හෝටලයේ ඔවුනට සේවය සැපයූ වේටර්වරිය පසුව පැවසූ පරිදි මෙම සැන්ඩ්විච් සියල්ලම ඔවුන් විසින් අනුභව කර තිබේ. පස්වරු හයයි හතළිස් පහට පමණ හෝටලයෙන් පිටවූ අතර යම් අසනීප තත්ත්වයකට ගොදුරු වූ තෝමස් මහත්මිය කීප වාරයක් වමනය කළාය. එහෙත් ඇගේ සැමියා හෝ ඇනී කිසිදු අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකළහ. නමුත් තමන් දෙදෙනාටද මඳක් අපහසු බවක් දැනෙන බව ඔවුන් පවසා ඇත.

ගොවිපළ වෙත පැමිණීමෙන් පසු තෝමස් මහත්මිය ඇඳ වෙත රැගෙන යෑමට ඇනීද උදව් වී ඇත. මේ මොහොත වන විට තෝමස් මහත්මිය වමනය, පාචනය පමණක් නොව, බඩේ කැක්කුම හා කෙණ්ඩා පෙරළීම වැනි ආබාධ වලින් ද පීඩා විඳින්නට පටන් ගෙන තිබුණි.

මේ රෝගී තත්ත්වය නිසා රාත්‍රි නවයයි තිහට පමණ වන විට වෛද්‍ය ග්‍රැහැම් සෝන්ඩර්ස්ව කැඳවා ගෙන ඒමට ඇයගේ සැමියා කටයුතු කළේය.

රෝග විනිශ්චය සඳහා කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා, සවස් භාගයේදී තෝමස් මහත්මිය සැමන් යොදන ලද සැන්ඩ්විච් අනුභව කළ බව පැවසීය. ඒ හේතුකොට ගෙන වෛද්‍යවරයා මෙය ආහාර විෂ වීමක් බවට සැක කර ප්‍රතිකාර නියම කරන ලදී. හර්න් මහත්මිය ගොවිපොළේ නැවතී තෝමස් මහත්මියට සාත්තු සප්පායම් හා ඉවුම් පිහුම් කර දීමටද පොරොන්දු වූවාය.

පසුදින රෝගියා බැලීමට පැමිණි වෛද්‍යවරයාට දක්නට ලැබුණේ ඇය මඳ සුවයක් ලබා ඇති අයුරුය. තවත් දින කිහිපයක් ගත වෙත්ම තෝමස් මහත්මියගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරුන අතර ඔවුන්ගේ ගොවිපළට සැතපුම් පහක් පමණ නුදුරින් සිටි ඇයගේ මවට මෙම අසනීප තත්ත්වය ඇගේ සැමියා විසින් දන්වා නොතිබිණි. කෙසේ හෝ මේ බව ආරංචි වී එහි පැමිණි ඇයට විලියම් පවසා තිබුණේ කරදර කිරීමට වුවමනාවක් නොතිබූ නිසා දුවගේ අසනීපය නොදැන්වූ බවය. එතැන් පටන් රෝගියාට සාත්තු සප්පායම් කිරීම මෙන්ම ඉවුම් පිහුම් කටයුතු ද ඇය තම අතට ගත්තාය. ඇයට උදව් දෙමින් හර්න් මහත්මියද තවදුරටත් ගොවිපොළෙහි රැඳී සිටියාය.

ඇලිස් තෝමස් ගේ තත්ත්වය යහපත් අතට හැරීම නිසා සෝන්ඩර්ස් නමැති වෛද්‍යවරයා ඇයට අංග සම්පූර්ණ ආහාර වේලක් නිර්දේශ කළේය.

ඔහුට ඊළඟ දිනයේ ඇය පරීක්ෂා කිරීමට පැමිණිය නොහැකි විය. ඊට පසු දින පැමිණිවිට ඔහුට දක්නට ලැබුණේ ඇලිස් තෝමස් ඉතාමත් අසාධ්‍යව සිටින අයුරුය. ඇය දෙපා සෙලවිය නොහැකි තත්ත්වයට පත්ව සිටි අතර, සිහිමඳ තත්ත්වයක්ද දක්නට ලැබිණ. යම් දැනුවත් භාවයක් සහිත වෛද්‍යවරයෙකු වූ හෙතෙම එක්වරම මෙය ආසනික් විෂ වීමක් යැයි සැක කළේය. ඒ නිසා ඇයව වහාම විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කළ යුතු යැයි නිර්දේශ කළේය. මේ අනුව ඇයව පරීක්ෂා කර බැලූ විශේෂඥ වෛද්‍ය ලිස්ටර් මහතාද එක්වරම මෙය ආසනික් විෂ වීමක් බව තීරණය කළේය. එදින රාත්‍රියේම රෝහලට ඇතුළත් කරන ලද තෝමස් මහත්මිය පසුදින පාන්දර මිය ගිය අතර, ඇයගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන මෙන් අධිකරණ වෛද්‍යවරයාට නියෝග කෙරණි. එරික් වර්ඩ්ලි නමැති වෛද්‍යවරයා විසින් එය සිදු කරන ලදුව සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාට යොමු කෙරිණ. ඒ පිළිබඳ කෙරුණු පරීක්ෂණයෙන් පසුව හෙළි වූයේ යවනු ලැබූ සිරුරේ කොටස්වල සුදු ආසනික් ග්‍රේන්ස් 0.85ක් තිබූ බවය.

මේ ගැන දැනගත් විලියම් පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ඇනී හර්න්ට පැවසුවේය. ඇලිස් තෝමස් මහත්මියගේ අවමංගල්‍ය දිනයේ ඇයගේ සොහොයුරෙකු ඇනී හර්න් හමුවට පැමිණියේය. තම මස්සිනා වූ විලියම් තෝමස් සහ ඇනී හර්න් අතර අනියම් ඇසුරක් පවතින බවට ඔහු විසින් සැකකර තිබිණි.

ඔහු ඇනීගෙන් කෙළින්ම ප්‍රශ්න කරනු ලැබුවේ ඇය විසින් පෙර දිනක සාදන ලද සැමන් යෙදූ සැන්ඩ්විච් පිළිබඳවය. මන්ද තෝමස් මහත්මිය අසනීප වන්නට පටන් ගත්තේ එම සැන්ඩ්විච් කෑ දිනයෙන් පසුව නිසාය. ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් ඇයට පැවසුවේ අභිරහසක් වූ මෙම මරණය පිළිබඳව තමා සොයන්නට පටන් ගන්නා බවය.

ඉන් පසු මේ පිළිබඳව ඇතිව තිබූ සැක සංකාවලට පණ ලබන්නට ඉඩ ලබා දී ඇනී හර්න් මහත්මිය මේ නිවසින් පලා ගියාය. නමුත් වෙනත් නමකින් ගෘහ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම නඩු විභාගයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු සාක්ෂි අධිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිඩ්නි ස්මිත් වෙත එවන ලද්දේ ඒ පිළිබඳ සාක්ෂි පරීක්ෂා කිරීමේ කටයුතු ඔහුට බාර වී තිබූ හෙයිනි.

එහිදී ඔහුටද ඉතා පැහැදිලිව පෙනී ගියේ තෝමස් ඇලිස් මහත්මිය මිය ගොස් තිබුණේ ආසනික් විෂ වීමෙන් බවය. එමෙන්ම මේ පිළිබඳ ඇනී හර්න් වෙත චෝදනා එල්ලවීමට ඇති ඉඩකඩ ඉතා පුළුල් ලෙස නිර්මාණය වී ඇති බවද සිඩ්නි ස්මිත් මහතාට පෙනී ගියේය.

නමුත් පසු දිනක තෝමස් මහත්මිය විසින් අනුභව කළ සැන්ඩ්විච් වල ආසනික් තිබූ බව පිළිගැනීමට නොහැකි බව ඔහු තීරණය කළේය. එම සැන්ඩ්විච් කෑ දිනයේදී තෝමස් ඇලිස් මහත්මියගේ සිරුරට ආසනික් ඇතුළු බවක් ඔප්පු කිරීම සඳහා සාධක නොමැති බව ඔහුට පෙනී ගියේය. ඒ හැරුනු කළ සැන්ඩ්විච් වල තිබුණා යැයි කියන ආසනික් එක්වරම ඇඟට ඇතුළුවීම නිසා තෝමස් මහත්මිය මිය ගිය බවද ප්‍රකාශ වී නැත. නමුත් ඇලිස් මහත්මිය යන්නට ආසන්න දිනකදී ආසනික් ශරීරගතවී ඇති බව පරීක්ෂණ වාර්තාවෙන් ප්‍රකාශ වී තිබුණි. මේ සියල්ලෙන් ගම්‍ය වී තිබුණේ ඇනී හර්න් විසින් තෝමස් මහත්මියට සැන්ඩ්විච් සමඟ ආසනික් දුන්නා පමණක් නොව, ඉන් පසුව අසනීපව සිටි කාලය තුළද එසේ කළ බවය.

ඒ සමගම මීට කලින් මිය ගිය ඇනීගේ සොහොයුරියගේ මරණයටද ඇනී වගකිව යුතු යැයි චෝදනා එල්ල විය.

එසේම දිගු කලක් ගැස්ටි්‍රක් ආබාධයට ලක්ව සිටි මීට කලින් මිය ගිය ඇනී හර්න්ගේ සොහොයුරිය බඩවැලේ ආබාධ වලින් පෙළුණු අතර ඉන් ප්‍රධාන වී තිබුණේ බඩ වියළීමය. නමුත් ආසනික් විෂ වීමේදී පාචනය ඇතිවේ. ඇගේ බඩ වියළී තිබූ නිසා මිනී මිය ගොස් ඇත්තේ සාමාන්‍ය හේතුන් නිසා බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පවසා තිබිණි.

මහාචාර්ය සිඩ්නි ස්මිත්ද එම වෛද්‍යවරයාගේ අදහස අනුමත කළ නමුත් මියගිය තැනැත්තියගේ මාංශ පේශීවල, නියවල සහ හිසකෙස් මුල්වල තිබී ආසනික් සොයා ගත් බව හෙළිවී තිබීම තත්ත්වය මත ප්‍රශ්නය සංකීර්ණ විය.

මෙහිදී මහාචාර්යවරයාගේ අවධානයට ලක් වූයේ ඇගේ සිරුර මිහිදන් කළ කොන්වෝල් ප්‍රදේශයයි. මෙම පෙදෙස ටින් නම් ලෝහ නිධි බහුල වූවකි. ටින් ලෝහය සහිත බිමක ආසනික් තිබීම සාමාන්‍ය සිද්ධියකි.

ඒ අනුව වළලන ලද පෙට්ටියට ඉහළින් සහ යටින් වූ පස් සාම්පල් දෙකක් රස පරීක්ෂක වෙත යැවිණි. එහිදී මෙම සාම්පල් දෙකෙහිම ආසනික් අඩංගු බව හෙළි විය. එමෙන්ම ඇයගේ සිරුර ගොඩට ගෙන මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ සොහොන් පිටියේ විවෘත ස්ථානයකදීය. පොළොවේ පස් සමඟ ඇති ආසනික් දූවිල්ල මළ සිරුරේ කොටස් සමඟ මිශ්‍ර වීමට තිබූ ඉඩකඩ ගැනද මහාචාර්යවරයා සැලකිල්ල යොමු කළේය.

ඒ හැරුණු කල මියගිය තැනැත්තියගේ සිරුරේ අඩංගුව තිබූ ආසනික් ප්‍රමාණය ගණනය කළ ආකාරය වැරදි බව මහාචාර්ය සිඩ්නි ස්මිත් විසින් විද්‍යානුකූලව පෙන්වා දුන්නේය. එය මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවද හෙතෙම පැහැදිලි කර දුන්නේය. මෙම ගණනය කිරීම් වලදී අදාළ වෛද්‍යවරයා විසින් බරපතළ වරදක් කර ඇති බව මහාචාර්යවරයාට පෙනී ගියේය.

මෙම කාරණාවලට අමතරව මළ සිරුර ගොඩ ගැනීම සඳහා පෙට්ටිය විවෘත කිරීමේදී එය තුළට සොහොන් පිටියේ ආසනික් මිශ්‍රිත පස් ඇතුළුවීමට ඉඩක් ඇති බවද සොහොන්පල්ලාගෙන් ප්‍රකාශ විය. පරීක්ෂණාගාරයට යැවීමට ගත් කොටස් දමන ලද භාජන සොහොන් පිටිය තුළ පැයක් තිස්සේ විවෘතව තිබී ඇති බවද සොයාගනු ලැබිණ. මෙම නඩුවේදී විත්ති පක්ෂය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට නීතිඥයෙකු වූ බ්‍රිකට් සාමිවරයා ඒ සඳහා සාක්ෂි දීමට මහාචාර්ය සිඩ්නි ස්මිත්ට අරාධනා කළේය.

නඩුවේදී තම සොහොයුරිය වූ මිනීගේ මරණය පිළිබඳව සහ තෝමස් මහත්මියගේ මරණය පිළිබඳව ඇනී හර්න්ට එරෙහිව චෝදනා ගොණු කෙරුණේ ඇය විසින් ඔවුන්ට ආසනික් ලබා දෙනු ලැබිණැයි කියමිනි.

නමුත් පෙර සඳහන් කළ පරිදි මාහාචාර්ය සිඩ්නි ස්මිත්ගේ උපදෙස් පරිදි මිනී මහත්මිය මිය ගියේ ආසනික් විෂවීමෙන් නොව සාමාන්‍ය හේතුන් නිසා බව පෙන්වා දීමට නීතිඥ බ්‍රිකට් සාමි සමත් විය. එමෙන්ම ඇයගේ සිරුරට ආසනික් ඇතුළු වූ ආකාරයද, සොහොන් පිටියේ පස් නියැදි පරීක්ෂණ වාර්තා ඇසුරින් හෙතෙම අධිකරණයට පෙන්වා දුන්නේය.

නමුත් තෝමස් මහත්මියගේ මරණයට ආසනික් විෂවීම එක එල්ලේම බලපා තිබුණි. පැමිණිලි පක්ෂය කියා සිටියේ ඇගේ සිරුරට ආසනික් ඇතුළු වී තිබුණේ ඇනී හර්න් විසින් සාදන ලද සැන්ඩ්විච් සමග බවය. ඊට වසර හතරකට පමණ පෙර ඇනී හර්න් විසින් තණ කොළ මැරීම සඳහා ආසනික් මිශ්‍ර තෘණ නාශකයක් ගෙනවිත් තිබූ බවද හෙළිවීම නිසා මෙම චෝදනා තවත් දරුණු විය. ඒ අනුව අවසාන චෝදනාව වූයේ ඇනී හර්න් තෘණ නාශක ග්‍රේන් 14.3 ක් පමණ සැන්ඩ්විච් වලට එකතු කරන්නට ඇති බවය.

නමුත් මහාචාර්ය සිඩිනි ස්මිත් එක එල්ලේම තෘණ නාශක එකතු කිරීමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ආසනික් මිශ්‍රිත තෘණ නාශක සෑම වර්ගයක්ම දම් පාටින් වර්ණ ගන්වා ඇති බැවිනි. එබැවින් ඒවා සැන්ඩ්විච් වැනි තෙත් සහිත පාන් පෙති මත ගැටුණු වහාම එම පාන් පෙතිද දම්පැහැ විය යුතුය. මේ නිසා මහාචාර්ය වරයා අදාළ තෘණ නාශක වර්ගය ග්‍රේන් 14.3ක් ඔහු විසින්ම සාදන ලද සැමන් මිශ්‍රිත සැන්ඩ්විච් වලට යොදා අත්හදා බැලුවේය.

ඒවා දම් පැහැවීමට ගත්තේ පැය බාගයක් තරම් කෙටි කාලයකි. නීතිඥ බ්‍රිකට් සාමිවරයා මහාචාර්ය ස්ඩ්නි ස්මිත්ගේ උපදෙස් පරිදි සැන්ඩ්විච්වලට ආසනික් මිශ්‍රිත තෘණ නාශක මුසු කරන ලදැයි යන තර්කය පහසුවෙන්ම බිඳ දැම්මේය. අනෙක් පැත්තෙන් ආසනික් මිශ්‍රිත පාන් කැබැල්ලම හරියටම තෝමස් මහත්මිය අතට ලැබීම විස්මිත විජ්ජාවක් බවද කියවුනි.

අවසානයේදී රස පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ තෝමස් මහත්මියට ආසනික් ශරීරගත වී ඇත්තේ ඒ සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් දින ගණනාවකට පසුව බවය.

මේ ආකාරයට සියලු විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ තොරතුරු විමසා බැලූ මහාචාර්ය ස්මිත් මෙම ස්ත්‍රියගේ සිරුරට ආසනික් ඇතුළු වී ඇත්තේ මරණයට පැය හතළිස් අටකට පෙර බවට යයි සිය නීතිඥ බ්‍රිකට් සාමිවරයාව කරුණු සහිතව දැනුවත් කළේය. ආසනික් යොදා ගැනීමෙන් සිදු කෙරෙන මිනිස් ඝාතන ඉතා බහුල ඊජිප්තුවේදී මහාචාර්යවරයා ලබා තිබූ අත්දැකීම් ඒ සඳහා ඉතා ප්‍රයෝජනවත් විය.

මෙම කාරණා වලින් ඉතා හොඳින් සන්නද්ධ වූ නීතිඥ බ්‍රිකට් සාමිවරයා පැය ගණනාවක් තිස්සේ විවිධ විශේෂඥයන්ගෙන්ද, විත්තිකාරිය වූ ඇනී හරන්ගෙන්ද හරස් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව සිය දේශනය ඉතා විද්‍යානුකූල ලෙසත් හෘදයාංගම ලෙසත් ඉදිරිපත් කිරීමට සමත් විය. ඉක්බිති විනිශ්චයකාරතුමන්ගේ දේශනයට ද සවන් දුන් ජූරිය පැයක පමණ සාකච්ඡාවකින් අනතුරුව තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ ඇනී හර්න් නිවැරදිකාරිය යැයි ප්‍රකාශ කරමිනි.

මහාචාර්ය ස්මිත්ගේ දැනුමට පින් සිදු වන්නට ඇය නිවැරදිකාරිය වූවේ ඒ ආකාරයෙනි.

එසේ නම් ඇලිස් තෝමස් ඝාතනය කළ වෙනත් පුද්ගලයෙකු සිටිය යුතුය.

ඇය මිය ගියේ සැන්ඩ්විච් කෑමෙන් පසු සෑදුණු ආහාර විෂ වීමෙන් සුවය ලබමින් සිටියදීය. අවසාන කාල වකවානුවේදී, තෝමස් මහත්මිය ළඟට ගිය පුද්ගලයන් වූයේ, ඇගේ මව, වෛද්‍යවරුන් හැරුණු විට ඇගේ සැමියා වන විලියම් පමණි. නමුත් ඇගේ මරණින් අනතුරුව ඈත ගොවිපළක හුදෙකලා දිවි පෙවෙතක් ගත කරමින් සිට ඔහු මියගිය බැවින් මේ රහස සදාකාලිකවම වැළලී ගියේය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment