නීති විරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනකු එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඊයේ (08 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත්, ඉතිරි පිරිසද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයකු පැවසීය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ. එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන් සඳහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබාදීමටද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි. මෙම ගෘහ සේවිකාවන් පිරිස ඊයේ උදෑසන 07.05 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
කටුනායක – ටී. කේ. ජී. කපිල