කුෂාන්ගේ කර ඇඹිය යුත්තේ ඇයි? (2)

715

(යළි මතක් කරගත යුතු රිසානා පිළිබඳ පාඩම)

Job Permit නැතිව ශ්‍රී ලාංකික කාන්තාවන් රවටා සංචාරක වීසා හරහා ඔවුන් මැදපෙරදිග රටවල්වලට යවා ගණිකා මඩම්වලට ගාල් කරන නීචයන් ගැන අප විසින් ඊයේ ලියන ලද කතුවැකිය සැර වැඩි බවට චෝදනාවක් තිබේ. එහෙත් අපේ අදහස වන්නේ එය සැර මදි බවය. ඕමානයේ තිබෙන ගණිකා නිවාස 17ක සිටින සිංහල හා ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියන් ගැනත් එම රටේම safe house එකක හෙවත් ආරක්ෂක නිවස්නයක රඳවාගෙන සිටින යන එන මං නැති ලාංකික ගෘහ සේවිකාවන් 105 දෙනකු මුහුණ දී සිටින භයානක ඛේදවාචකය ගැනත් අපි ඊයේ විස්තර කළෙමු. මේ අසරණ කාන්තාවන්ට කෑම බීම පවා නැත. ඒ අතර ඕමානයේ සිටින මෙරට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් යැයි කියන කුෂාන් නමැති අධමයා එම තරුණියන් ලිංගිකව අපහරණය කරන බවත් කායික ප්‍රයෝජන ගැනීම සඳහා ලංකාවට නොඑවා රඳවා තබන හැටිත් අපි ඊයේ විස්තර කළෙමු. අපගේ යෝජනාව වූයේ කුෂාන් කර ඇඹිය යුතු බවය. කර ඇඹීම කුමක්ද යන කාරණය ඊයේ කතුවැකිය මගින් විස්තර කරදී තිබේ.

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා මීට අවුරුදු දෙකකට පෙර ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය එක්ව ඕමාන බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණ ක්‍රියා පිළිවෙතක් හඳුන්වාදෙන ලදී. කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස රට පැටවීමේදී ලොකුම හොරකම කරන එකා වූකලී ඒජන්සිකාරයාය. මේ ඒජන්සිකාරයා පිටුපස ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීහුත් මැදපෙරදිග තානාපති කාර්යාලවල වැඩ කරන ඇතැම් නිලධාරීහුත් සිටිති. ඒ අනුව සියලුම වංචා සිදුකරන්නේ මේ පාර්ශ්ව තුනය. මේ පාර්ශ්ව එකතු කරගෙන, ගෘහ සේවිකාවන්ගේ සුබ සිද්ධියට වැඩ කිරීමට කල්පනා කිරීම අංක එකේ විහිළුවකි. ගෘහ සේවිකාවන්ට කිසියම් ප්‍රශ්නයක් ඇතිවූ විට පිහිට පැතීමට සිදුවන්නේත් ඒ සම්බන්ධයෙන් ලක් රජයට කරුණු විමසීමට සිදුවන්නේත් ඉහත සඳහන් පාර්ශ්ව තුන වෙතිනි. මෙය, අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීම හා සමානය. මෙයට දෑවුරුද්දකට පෙර හඳුන්වාදෙන ලද අලුත් රැකියා ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළේ ඕමාන රජයේ පැත්තෙන් පමණි.

එම රැකියා ප්‍රතිපත්තියට අනුව හොර ඒජන්සිකාරයන්ට කාන්තාවන් රට යැවීම තහනම්ය. එහෙත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අනුදැනුම ඇතිව හෝ නැතිව හොර ඒජන්සිකාරයෝ හොර පාස්පෝට් හදා බාල වයස්කාර තරුණියන් පවා ගෘහ සේවය පිණිස අදටත් රට පටවනු ලැබේ. මේ අය අසුවූ සැණින් ඕමානය කරන්නේ ඔවුන්ගේ කවරාකාර හෝ වීසාවන් අත්හිටුවා නීති මගින් කටයුතු කර පුළුවන් නම් හිරෙත් යවා එලියට ආපසු තානාපති කාර්යාලයට භාරදීමය. එම ඉරණම්වලට ලක්වන ගෘහ සේවිකාවෝ අදෝ සංසාරයක් නැතිව ආත භූත වෙමින් සිටියදී ඇතැම් ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් ඩැහැගෙන safe house වලට භාරදෙනු ලැබේ. මේ අනුව සංසාර චක්‍රය තවදුරටත් භ්‍රමණය වී තරුණියන් ගණිකා සේවයට යොමුවී මැද පෙරදිග සිටින ශ්‍රී ලංකා විදේශ රැකියා නිලධාරීන්ටත් බිලිවී තාත්තලා නැති ළමයිනුත් හදාගෙන ඊට අමතරව සමාජ රෝගත් හදාගෙන ලංකාවට එති. ගෘහ සේවයට යන මව්වරුන්ද, සහෝදරියන්ද, දියණියන්ද ඉමහත් කැපකිරීමක යෙදෙන බව අප මතක තබාගත යුතුය.

1973 සිට ඔවුන් මෙම ගමන යන්නේ නන්නත්තාර වූ සිය පවුල්වල අභිවෘද්ධිය පිණිසය. අතේ සල්ලි නැති විට සමහරුන් නොකරන දෙයක් නැත. බාලවයස්කාරියන් වැඩි වයස් සහිත පාස්පෝට් හදාගෙන මැද පෙරදිග යෑමේ අවදානම ගන්නේ පිස්සුවට නොවේ. මෙහිදී රිසානා නෆීක් පිළිබඳ සිද්ධිය මතක් කර දෙමු. දාහත් හැවිරිදි තරුණියක වූ රිසානා වැඩි වයසක් දමාගෙන හදාගත් පාස්පෝට් එකකින් 2005 මැයි 4 දා ගෘහ සේවිකාවක ලෙස සෞදියට ගියාය. ඇය රට යවන්නේත් වයස් වෙනස්කර පාස්පෝට් එක හැදීමට අනුබල දෙන්නෙත් මේ රටේ සිටින ඒජන්සිකාරයා විසිනි. රියාද් නුවර ආසන්නයේ පිහිටි නිවසක ගෘහ සේවිකාවක ලෙස ඇයට රැකියාවක් ලැබේ. රැකියාව කරන අතරතුර ඇය වැඩකරන නිවසේ සිටි මාස 4 ක දරුවෙක් මිය යයි. උසාවියේදී කියන්නේ රිසානා විසින් දරුවා මරණ ලද බවය. උසාවිය ඇයට මරණ දණ්ඩන තීන්දුවක් දෙයි. එහෙත් සිද්ධිය වන අවස්ථාවේදී රිසානා බාල වයස්කාරියක නිසා ඇයට මරණ දඬුවම නොව හිර දඬුවමක් පමණක් හිමි බව නීතිඥයෝ තර්ක කරති. එවිට සෞදි උසාවිය කියන්නේ ඇගේ පාස්පෝට් එකේ තිබෙන පරිදි ඇය බාල වයස්කාරියක නොවන බවකි. මේ අනුව ලංකා ආණ්ඩුවත්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයත්, තවත් ජාත්‍යන්තර සංවිධාන බොහොමයකුත් රිසානාගේ මරණ දණ්ඩනය අවලංගු කරන ලෙස සෞදි ආණ්ඩුවට දැන්වූහ.

ඇය වෙනුවෙන් දැඩිව පෙනී සිටි සංවිධානයක් ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම දැක්විය හැකිය. දරුවා මැරූ බව පිළිගනිමින් සෞදි පොලිසියට රිසානා කට උත්තරයක් දී ඇති බව සෞදි අධිකරණය කියන විට වහා නැගී සිටි එම කොමිසමේ නීතිඥවරු එම කට උත්තරය බාල වයස්කාරයකුගෙන් ලබාගත් කටඋත්තරයක් බව කියමින් උසාවියට විරුද්ධ වූහ. ඉන්පසු රිසානාගේ මරණ දණ්ඩනය ඉවත් කරන බවට කටකතාවක් පැතිර ගියේය. ඇය දිගටම හිරගෙදර තබන ලදී. මරණ දඬුවම ප්‍රකාශයට පත්කිරීමෙන් දෑවුරුද්දකට පසු දවසක, එනම් 2013 ජනවාරි 09 දා පාන්දර හෙමින් සීරුවේ රිසානා රැගෙන වධක භූමියකට ගිය සෞදි අධිකරණ දෙපාර්තමේන්තුව ඇගේ ගෙල කඩුවකින් කපා ඇය මරා දැමීය. රිසානා පිළිබඳ සිද්ධියට පළමු වගකිවයුත්තා වූකලී හොර ඒජන්සිකාරයාය. ඔහු ඇගේ වයස වැඩි කොට හොර පාස්පෝට් එකක් හදා ඇය රට පැටවීමෙන් ඇගේ මරණයට ආරම්භයක් ලබා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඉතා හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන බව අපගේ වැටහීමය. එම සම්බන්ධකම් ප්‍රයෝජනයට ගෙන ඕමානයේ දුක්විඳින ශ්‍රී ලාංකික කාන්තාවන් බේරාගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. විදේශ රැකියා ක්ෂේත්‍රය යනු
ශ්‍රී ලංකාවේ ඩොලර් උල්පත් දෙක තුනෙන් එකකි. එම උල්පත් වැසී යෑමට දිය නොහැක. එහෙත් එම උල්පත් උතුරා ගොස් ගංවතුරක් හටගෙන මිනිසුන් මැරෙන්නේ නම් එම උල්පත් වලින් වැඩක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment