කුසගින්නට දරුවන් විකුණන ඇෆ්ගන් මිනිස්සු… අවයව විකිණිමත් සරුවටම

806

අසීස් ගුල් ගේ සැමියා ඔවුන්ගේ දස හැවිරිදි දියණියව විකුණා දැම්මේ ඇයට කියන්නේවත් නැතිව. ඇයව විකුණා ඇත්තේද කොටස් වශයෙන් මුදල් ලබා ගන්නටය. ලෝකයේ වෙන කොහේ හෝ තැනක අම්මා කෙනෙකුට මෙවන් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වූවා නම්, ඇයට තම දරුවා වෙනුවෙන් කතා කරන්නට තිබිණ. එහෙත් අසරණ අසීස් ගුල්ට කරන්නට දෙයක් නැත. ඇගේ සැමියා ඒ දෙය නොකළා නම් අසීස්ට සිදු වෙන්නේ තමන්ගේ අනෙක් දරුවන් පස් දෙනා කුස ගින්නේ මියැදෙන අයුරු බලා සිටින්නටය. දැනට දරුවන් පස් දෙනකු ඉතිරිව සිටින ඔවුන්ගේ පවුල ටික කලකට හෝ දිවි රැක ගන්නේ ඔවුන්ගේ දියණියව විකුණා ලැබුණු මුදලෙනි.

තමන්ගේ පවුලේ අයට කුසගින්නේ මැරෙන්නට නොදී බේරා ගනු පිණිස මොහොමඞ් විකුණා දැම්මේ දරුවෙකු නොවේ. තමන්ගේම වකුගඩුවකි. ඔහු තමන්ගේ වකුගඩුව මිල කළේ පවුම් 1150 කට ය.

”මං විතරක් නෙවෙයි, අපේ පවුලේ හතර දෙනෙක්ම වකුගඩුව ගාණේ වික්කා. ඒ සල්ලි වලින් තමයි අපි බඩගින්නේ මැරෙන්නෙ නැතිව යන්තමට හරි ජීවත් වෙන්නේ..” මොහොමඞ් පවසයි.

මේ මොහොමඞ්ලාව, අසීස්ලාව තමන්ගේ දරුවන් පමණක් නොව තම ශරීර කොටස් පවා විකුණන තරමට අසරණ කර ඇත්තේ යුද්ධයත් නියඟයත් විසිනි. යුද්ධය හා නියඟය විසින් අන්තිම සාරයත් සූරාගත් ඒ දේශය අන් කවරක්වත් නොව, පසුගියදා තලේබාන් සංවිධානයේ පාලනය යටතට පත් ඇෆ්ගනිස්තානයයි.

ඔව්. මේ ඔවුන් කියන අයුරින් ”විදේශ හමුදාවන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගත්” ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වයයි. එය, ජාතීන්ගේ සහයෝගිත්වයෙන්, වසර විස්සක් තිස්සේ, ”නැවත ගොඩ නගන්නට” ඩොලර් බිලියන ගණන් යෙදවූ රටකි. එරට භූමිය ආරක්ෂා කර ගනු වස් විදෙස් හමුදාවන්ගේ හා සාමාන්‍ය වැසියන්ගේ ජීවිත දහස් ගණනක් කැප කරන්නට සිදු වූ රටකි. දැන් ඒ රට පවතින්නේ දැවැන්ත විනාශයක අභිමුව ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවසන්නේ, මෙම කලාපය වේගයෙන්, ලෝකයේ දරුණුම මානවවාදී ව්‍යසනය වෙත ළඟා වෙමින් සිටින බවය. පසුගිය අගෝස්තුවේදී, විදේශීය හමුදාවන් ඉවත් වෙන්නට පෙරත් ඇෆ්ගනිස්තානය දුප්පත්ය. වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ රටක් වන එහි දුෂ්කරතාවන්ගෙන් හිඟයක් නොවීය. එහෙත් දැන් එහි තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.

වර්තමානයේදී ඇෆ්ගනිස්තානය පාලනය වෙන්නේ තලේබාන් සංවිධානය යටතේය. එහෙත් සෙසු ලෝකය තවමත් තලේබාන් රජය නීත්‍යනුකූලව පිළිගෙන නැත. පසුගිය විසි වසර පුරා තලේබාන් සංවිධානය විසින් කළ දරුණු ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා හේතුවෙන් ඔවුන්ගේ රජය සමග ගනුදෙනු කරන්නට කිසිදු විදේශ රටක් කැමති නැත. ඒ නිසාම මේ වන විට ඇෆ්ගනිස්තානයට අනෙකුත් රටවල් වලින් ලැබෙන ආධාර මුළුමනින්ම වාගේ නැවතී ඇත. ඒ තත්ත්වයෙහි බිහිසුණුම ප‍්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ එරට සිවිල් වැසියන්ටය.

කුසගින්නට දරුවන් විකුණන ඇෆ්ගන් මිනිස්සු… අවයව විකිණිමත් සරුවටම

දශක හතරක යුද්ධයෙන් බැට කෑ ඇෆ්ගනිස්තානයට, නියඟයත්, කොරෝනා වසංගතයත් විසින් එල්ල කළේ ඊටත් වැඩි පීඩාවකි. මේ කාරණාවන්ගෙන් එරට ආර්ථිකය කොතරම් දුරට කඩා වැටුණේද යත්, වෛද්‍යවරුන්, නීතිවේදීන් ඇතුළු එරට සියලූ රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් තිස්සේම වැටුප් පවා අහිමිව ඇත. මේ වන විට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ආධාරක කණ්ඩායම් පවසන්නේ දැනටමත් එහි ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විඳින බවය.

”දවසින් දවසම මේ රටේ තත්ත්වය නරක අතට හැරෙනවා. මේ තත්ත්වය යටතේ වැඩියෙන්ම දුක් විඳින්නේ පුංචි දරුවෝ. ‘‘හෙරා’’ නගරයේ බටහිර පෙදෙසේ අවතැන්වූ මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වාගෙන යන, ඇෆ්ගනිස්තානයේ වර්ල්ඞ් විෂන් සංවිධානයේ අධ්‍යක්ෂකවරයා වන අසුන්තා චාර්ල්ස් පවසයි. ”පවුලේ අයට ආහාර සපයා ගන්න තමන්ගේ පුංචි දරුවන්ව විකුණන තරමට අසරණ වුණු මිනිස්සු දැක්කාම හදවත කම්පා වෙනවා. ඉතින් ලෝකයේ මානවවාදී ප‍්‍රජාවට ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දැන් වෙලාව ඇවිත්..”

ළමා විවාහ ඇෆ්ගනිස්තානයට අලූත් අත්දැකීමක් නොවේ. මනාලියක් ලබා ගන්නට මනාල පාර්ශ්වයෙන් මනාලියගේ දෙමාපියන්ට යම් මුදලක් ගෙවීමද ඔවුන්ගේ චාරිත‍්‍රයකි. එහෙත් දැන් සිදුව ඇත්තේ මුදල් ලබා ගැනීම පිණිසම තමන්ගේ දියණියන්ව විකුණන්නට ඇෆ්ගන් දෙමාපියන්ට සිදුව තිබීමය. පවුලේ අයගේ කුසගින්න නිවන්නට වෙනත් ක‍්‍රමයක් නැතිම තැන, විවාහය පිළිබඳ සිතන්නටවත් නොහැකි තරම් ළාබාල දැරියන්ව පවා විකුණන්නට ඔවුන් පෙළඹී ඇත. දැන් දැන් ඔවුහු තම ගැහැනු දරුවන්ව පමණක් නොව, පිරිමි දරුවන්ව පවා විකුණා ගන්නට ක‍්‍රම සොයති.

සිවුදරු පියෙකු වන හමීඞ් අබ්දුල්ලා තමන්ගේ දියණියව විකුණා දැමුවේ, තම රෝගී ගැබිනි බිරිඳට ඖෂධ මිලදී ගන්නට මුදල් සොයා ගන්නටය. ඔහු තම වැඩිමල් දියණිය වූ සත් හැවිරිදි හොස්රාන්ව, ළමා මනාලියක ලෙසින් දහ අට හැවිරිදි මනාලයෙකුට විකුණා දැමුවේය. දැන් එයින් ලද මුදල් සියල්ල ඉවර වී ඇති බැවින් ඔහු තම දෙවැනි දියණිය වූ හය හැවිරිදි නසීයාව විකුණන්නට කෙනෙකු සොයමින් සිටී. ”නසීයාව අඩුගාණේ ඇෆ්ගානි විසිදාහකටවත් දෙන්න ඕන..” ඔහු කියයි. ”අපට කෑම බීමත් නෑ. ඒ මදිවාට මගේ බිරිඳට සැත්කමක් කරන්නත් සිද්ධ වෙලා. මේ කිසිම දෙයක් කරගන්න එකම එක ඇෆ්ගානියක්වත් මගේ අතේ නෑ..”

ඔවුන්ට යාබද බාග්දිස් පළාතේ තවත් දුගී පවුලක දෙමාපියෝ තමන්ගේ අට හැවිරිදි පුතණුවන් වූ සලාහුදීන්ව විකුණන්නට ගැණුම්කරුවෙකු සොයමින් සිටිති.

කෑමට කිසිම දෙයක් නැතිව ගෙවී ගිය දවස් ගණනකට පසුව, සලාහුදීන්ගේ මව තම සැමියා අමතා, කඩ පිළට ගොස් පුතාව විකුණා දමා එන ලෙසින් ඔහුගෙන් ඉල්ලූවාය. ”දරුකමට හදා ගන්න හරි.. එහෙමත් නැතිනම් වැඩකාරකමට හරි මේ ළමයාව විකුණ ගන්න පුළුවන් නම් හොඳයි.. එතකොට අඩු ගාණේ ළමයාට හරි කෑමක් බීමක් ලැබෙයිනේ..” සලාහුදීන්ගේ පියා පවසයි. ඇතැම් දෙමාපියෝ තම ශරීර අවයව විකුණමින් දරුවන්ව නොවිකුණා රැක ගන්නට උත්සාහ කරති. 25 හැවිරිදි ෆාතිමා එවැන්නියකි. තම දරුවන්ට ආහාර සපයා ගනු පිණිස ඇයත් ඇගේ සැමියාත් දෙදෙනාම දැනටමත් වකුගඩුව බැගින් විකුණා හමාරය. දැන් ඔවුන් දෙදෙනාම රෝගීන් ය. දෙදෙනාටම විකුණන්නට වෙනත් දෙයක් නැත. දැන් ඔවුන්ද තම දරුවන්ව විකුණා දැමීම ගැන කල්පනා කරමින් සිටිති.

”මාස කීපයකට කලින්, අවුරුදු තුනක් වයස මගේ පුතා බඩගින්න නිසාම මැරිලා ගියා. අපේ අනිත් දරුවන්ටත් ඒ දේ වෙනවා බලාගෙන ඉන්න අපට බෑ.” ෆාතිමා කියන්නීය.. ”හැම දේකම මිල ඉහළ ගිහින්. පිටි හරිම ගණන්. තෙල්, මස් එළවළු මේවා අපට ගන්න හිතන්නවත් බැරි තරමට මිල ගිහින්.. දරුවන්ට ඒ දේවල් අරන් දෙන්න අපට සල්ලි නෑ. ඉතින් මේ දරුවන්ව කාට හරි දුන්නාම දරුවන්ට කෑම බීමවත් ලැබෙයිනේ..”

ඇය කියන අයුරින්ම මේ වන විට එරට ආහාර මිල අහස උසට නැග ඇත. රෝහල්වල ඖෂධ නැත. බරපතළ සැත්කම් වලට තබා සාමාන්‍ය තුවාලයක ආසාදනය වළක්වා ගන්නට ප‍්‍රමාණවත් බෙහෙත්වත් එරට රෝහල් සතුව නැත.

මේ තත්ත්වය යටතේ මිනිසුන් තම වකුගඩු විකිණීමත් ඉතා අවදානම් දෙයකි. ඔවුන් ඒ අවදානමට මුහුණ දෙන්නේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. මෙසේ විකුණන වකුගඩු මිලදී ගන්නේ ඉරාන දේශ සීමාවෙන් පිටත සිටින ගැනුම්කරුවන් ය. ඔවුන් වකුගඩුවක් මිලදී ගන්නේ ඇමරිකානු ඩොලර් 1000ත් 1500ත් අතර මුදලකටය.

තම ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස තමන්ගේම ශරීරයේ කොටසක් හෝ තමන්ගේ දරුවන් විකුණන්නට සිදුවීම මනුෂ්‍යයෙයකුට අත්විය හැකි බිහිසුණුම ඛේදනීයම ඉරණමක් බවත්, මේ තත්ත්වයෙන් ඇෆ්ගනිස්තාන ජනතාව මුදා ගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව ඒකරාශීි විය යුතු බවත් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරිය වන ලිස් ටෲස් පවසන්නීය.

එහෙත් තලේබාන් සංවිධානය පවසන්නේ නම් මේ තත්ත්වය, තම පාලනය අවමානයට පත් කරනු පිණිස බටහිර මාධ්‍ය වලින් මවා පෙන්වන මිථ්‍යාවක් බවය.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment