කුස මත ඇඳුණු කතිරය

169

පසුගිය දිනවල තිරිඟු පිටි මිල රුපියල් 12 කින් වැඩි විය. රජය මේ මිල වැඩි කිරීමට විරුද්ධ වූ අතර පිටි මිල වැඩිකර නැතැයි ප‍්‍රකාශයක්ද කළේය.

ඒ මොහොතේ සිට කඩවල පිටි නැත.

පසුගිය දිනවල ගෑස් මිල වැඩිවන බවට ආරංචියක් පැතිර ගියේය. ඒ මොහොතේ සිට කඩවලින් ගෑස් අතුරුදන් විය. සමහරු එක ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීම සඳහා ගෑස් සිලින්ඩර දෙකක වටිනාකමට වාහනවලට පෙට‍්‍රල් ගසාගෙන හැමතැනම ගියහ. මේ රටේ ගෑස් ඒකාධිකාරය පවතින්නේ සමාගම් දෙකක් අතරය. එකක් ආණ්ඩුවට අයිති ලිට්‍රෝ ගෑස් ය. අනෙක පුද්ගලික අංශයේ ලාෆ් ගෑස් ය. ලාෆ් ගෑස් නිසා තමන්ට බිලියන ගණනින් පාඩුවන බවට නිතර නාහෙන් ඇඬූ ලාෆ්ස් සමාගම හිටිහැටියේම ගෑස් ගෙන්වීම නතර කළේය. මේ නිසා ගෙවල්වල ලාෆ් ගෑස් පාවිච්චි කළ ජනී ජනයා සකල අමාරුවකට පත්වූහ. පසුගිය දා ලාෆ් ගෑස් මිල රුපියල් තුන්සිය ගණනකින් වැඩි කිරීමට ආණ්ඩුව ඉඩ දුන්නේය. ඒ සමගම ගෑස් හිඟය අතුරුදන් විය. ලිට්‍රෝ ගෑස් තවමත් පැරණි මිලටම පවතී. එම මිල ලාෆ්ස් සිලින්ඩරයේ නව මිල හා සම වුණොත් එය මේ රටේ ජනයාගේ කාලකණ්ණි කර්ම ශක්තියේ කොටසක් බවට පත්වන්නේය.

පසුගියදා වෙළෙඳ පොළෙන් සීනි අතුරුදන් විය. අතුරුදන් වීමට පෙර අවසන් වරට මේ රටේ ජනයා සීනි දකින විට එහි මිල කිලෝවක් රුපියල් 98 කි. සීනි අතුරුදන්වීමත් සමගම කිලෝවක මිල රුපියල් 225 තෙක් නැග්ගේය. ආණ්ඩුව වහාම මැදිහත් වී පෞද්ගලික ගබඩාවල තිබූ සීනි තොග පවරාගෙන රුපියල් 122 ක සිල්ලර මිලට සීනි නිකුත් කරන්නට පටන් ගත්තේය. ඉහත සඳහන් සෑම සංසිද්ධියකදීම අතුරුදන් වූ බඩු ජනතාව අතට එනවිට තිබුණු මිලට වඩා මිල නැග තිබිණ. එම බඩු යළි වෙළෙඳපොළට එවනු පිණිස රජය කළ මැදිහත්වීම කෙරෙහි අප තුළ කිසිදු අඩු තක්සේරුවක් නොවේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ සීනි මිල ටොන් එකක් ඩොලර් 450 කි. සීනි කිලෝව රුපියල් 100 ට දීමට බැරිකමක් අපට නොපෙනේ.

අවසාන පලයේදී සියලූම දෙනා සියලූම දේ කරන්නේ ජීවත්වීම පිණිසය. ”මොනවා කරන්නේත් බත් ටිකක් කන්න” යනාදී වශයෙන් ගැමි සමාජය මේ කියමන විග‍්‍රහ කරනු ලැබේ. එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම කෙළින්ම වදින්නේ බන්ඩි ගෙඩියටය. මේ රටේ ජනයා ඡුන්ද කතිරය සලකුණු කරගෙන සිටින්නේ සිය බඩ මතය. මේ බව දේශපාලනඥයෝ ඉතා හොඳින් දනිති. මේ නිසා ඡුන්දයක් කිට්ටුවන හැම විටකදීම පාලකයෝ බඩු මිල අඩු කරති. එහි ප‍්‍රතිඵලය ලෙස හෝ බඩු මිල තවත් අඩු කරන බවට විපක්ෂය දෙන පොරොන්දුව මත මීළඟ ආණ්ඩුව පත්වෙයි. ඊළඟට එක්කෝ ගංවතුරක් එයි. එක්කෝ ඇමරිකාව කොහේ හෝ රටකට බෝම්බයක් දමා යුද්ධයක් අවුලයි. එවිට තෙල් මිල නගී. ඊට සාපේක්ෂව ලංකාවේ බඩු මිලත් නගී. මෙවර යුද්ධ නැතත්, ගංවතුර නැතත් වසංගතයක් තිබේ. ආණ්ඩුව කොපමණ මැදිහත් වුණත් මේ මොහොතේදී කන්න බැරි හාල් මිස කන්න පුළුවන් හාලක් රුපියල් 150 කට මෙහායින් ගත නොහැක. මේ රටේ ජනයාගේ දිව තවදුරටත් රළු සහල්වලට පුරුදු නැත. පොලිෂ් කරන ලද කදිම සහල් ගිල දැමීමට ජනයා තුළ මහත් කැමැත්තක් තිබේ. සහල් මෙන් දිව ද පොලිෂ් ය. ඒ නිසා ගොඩ ඒමක් ඇත්තේම නැත.

සීනි මිල නිසා වැඩිම පහර වැදී ඇත්තේ රස කැවිලි කර්මාන්තකරුවන්ට ය. 1975 වනතුරුත් කිලෝව රුපියල් එකයි ශත හතළිස් හතරක් වූ සීනි එදත් රස කැවිලි නිෂ්පාදකයන් විසින් හඳුනාගන්නා ලද්දේ මිල වැඩි භාණ්ඩයක් ලෙසය. සමුපකාර සහ සතොස ශාඛාවලින් පාලන මිලට සීනි චුට්ට චුට්ට අරගෙන රස කැවිලි සෑදීමට කර්මාන්තකරුවන්ට නොහැකිය. ඇතැම් රස කැවිලි නිෂ්පාදකයෝ මසකට සීනි ටොන් 100 ත් 200 ත් අතර ප‍්‍රමාණයක් පාවිච්චි කරති. දැනට පවතින පාලන මිල වූ රුපියල් 122 ට සීනි අරගෙන රස කැවිලි හදන්නට ගියොත් ඒවා හදනවා පමණක් මිස විකිණීමට බැරි වෙයි. එයට හේතුව හදන රස කැවිලිවල මිල බෙහෙවින් වැඩි වීමය. 1980 දීත් ටොෆියක මිල සත පහකි. 1990 දී ටොෆියක මිල සත දහයකි. වසර 2000 දී ටොෆියක් සත පනහකි. අද ටොෆියක මිල රුපියල් 5 කි. අමු ද්‍රව්‍යය මිල ඉහළ යෑම නිසා ටොෆියක් රුපියල් 7.50 ට හෝ 10 ට දෙන්න සිදුවුවොත් මේ රටේ දැවැන්ත රස කැවිලි නිෂ්පාදකයාටත් සීනුවක් හොල්ලමින් පාරේ යන බොම්බයි මොටයිකාරයාටත් සිදුවන්නේ එකම දෙය ය. එනම් වස බෝතලක් ගෙන සම සේ බෙදාගෙන පානය කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment